Skip to content

පටුනට යන්න

ඔබේ රැකියාව අහිමි වුණොත්

ඔබේ රැකියාව අහිමි වුණොත්

ඔබේ රැකියාව අහිමි වුණොත්

රැකියා ස්ථානයේ නිලධාරීන් කෙවින්ව සැලකුවේ ඉතාමත් දක්ෂ සේවකයෙක් ලෙසයි. * මෙම සමාගමට පසුගිය අවුරුදු හය පුරා ඔහු කළ සේවය එහි දියුණුවට විශාල පිටුවහලක් වුණා. දිනක් මේ සමාගමේ උසස් නිලධාරියෙක් තම කාර්යාලයට එන්න කියා ඔහුට පැවසුවා. කෙවින් නම් සිතුවේ තමන්ට උසස් වීමක් හෝ පඩි වැඩි කිරීමක් ලැබේවි කියායි. නමුත් ඒ නිලධාරියා ඔහුට පැවසුවේ මෙයයි. “අපිට තවදුරටත් ඔයාව මෙහේ තියාගන්න අමාරුයි.”

කෙවින්ට නම් ඒ ගැන හිතාගන්නවත් බැරි වුණා. “මම රැකියාව කළේ හරිම සතුටින්. මට හොඳ පඩියකුත් ලැබුණා. ඒත් එක මොහොතකින් ඒ ඔක්කොම කණපිට පෙරළුණා” කියා ඔහු පැවසුවා. පසුව ඔහු ඒ ගැන තම බිරිඳ වන ඈන්ට පැවසූ විට ඇය ගල්ගැසී බලා සිටියා. ඒ ගැන ඇය මෙසේ පැවසුවා. “මට දැනුණේ හරියට මගේ මුළු ඇඟම පණ නැතුව යනවා වගෙයි. මට හිතුණා ‘දැන් අපි මොනවාද කරන්නේ’ කියලා.”

ලොව පුරා සෑම වසරකම මිලියන ගණන්දෙනා කෙවින් හා සමාන අද්දැකීමකට මුහුණ දෙන බව පහත සඳහන් සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වෙනවා. ඒ වුණත් රැකියාව අහිමි වූ පුද්ගලයෙකුට එය මොන තරම් මානසිකව බලපානවාද කියා සංඛ්‍යා ලේඛනවලින් දැනගන්න බැහැ. ඒ බව පේරූ ජාතික රාඋල්ගේ අද්දැකීමෙන් පැහැදිලියි. ඔහු අවුරුදු 18ක් පුරා නිව් යෝක් නගරයේ සුපිරි හෝටලයක සේවය කළත් ඔහුගේ රැකියාවත් හදිසියේම අහිමි වුණා. ඔහු රැකියාවක් සෙව්වත් ඉන් පලක් වුණේ නැහැ. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “අවුරුදු 30ක් විතර මම මගේ පවුලේ අයට හොඳට කන්න බොන්න දුන්නා. ඒත් දැන් නම් මට හිතෙන්නේ මම කිසිම වැඩකට නැති කෙනෙක් කියලයි.”

රැකියාව අහිමි වීමෙන් වැටුපට වඩා වැඩි දෙයක්ද අහිමි වෙනවා. එය නම් කෙනෙකුට තමන් ගැන තිබූ හොඳ හැඟීමයි. එය දැඩි මානසික වේදනාවක් ගෙන දෙනවා. ඒ ගැන රැකියාව අහිමි වූ මැතිව්ගේ බිරිඳ වන මිෂෙල් මෙසේ පැවසුවා. “ඒක මටත් හුඟක් බලපෑවා. මොකද, කෙනෙක්ට රස්සාවක් නැත්නම් අනික් අය එයාලාව ගණන් ගන්නේ නැහැ. ඒ නිසා වැඩි කල් යන්න කලින් එයාටත් ඒ විදිහටම හිතෙන්න පටන්ගන්නවා.”

දැඩි මානසික වේදනාවට අමතරව රැකියාව අහිමි වූ අය තවත් අභියෝගයකට මුහුණ දෙනවා. එය නම් අතේ ඇති මුදලින් ජීවිතය ගැටගසාගැනීමයි. කෙවින් ඒ ගැන මෙසේ පවසනවා. “අපිට හොඳට සල්ලි තිබුණ කාලේ හිතේ හැටියට වියදම් කළා. ඒත් දැන් එහෙම කරන්න සල්ලි නැති නිසා වියදම් අඩු කරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.”

රැකියාවක් සොයන කාලයේදී විශාල මානසික පීඩනයකට මුහුණ දීමටත් අතේ ඇති මුදලින් ජීවත් වීමට ඉගෙනගැනීමටත් සිදු වෙනවා. ඒ නිසා ඔබ මුහුණ පාන මානසික පීඩනය අවම කරගැනීමට කළ හැකි දේවල් දෙකක් ගැන අපි මුලින්ම සලකා බලමු.

[පාදසටහන]

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[3වන පිටුවේ ප්‍රස්තාරය]

(මුද්‍රිත පිටපත බලන්න)

2008දී රටවල් තුනක පමණක් රැකියා අහිමි වූ සංඛ්‍යාව

ජපානය 26,50,000

ස්පාඤ්ඤය 25,90,000

ඇමරිකා එක්සත් ජනපදය 89,24,000