Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“ඇමරිකාවේ සෑම අවුරුද්දක් පාසාම වැඩියෙන්ම අළෙවි වන පොත බයිබලය වීම පුදුමයට කරුණක්. එහි වෙසෙන පවුල්වලින් සියයට 90කට පමණ බයිබලයක් තිබුණත් සෑම වසරකම එහි පිටපත් මිලියන 25ක් පමණ අළෙවි වන බව ගණන් බලා තිබෙනවා.”—THE WALL STREET JOURNAL, UNITED STATES.

“ලොව පුරා සෑම වසරකම සර්පයන් දෂ්ඨ කිරීම නිසා මිලියන 4.5ක් පමණ ජනයාට කිනම් හෝ ආකාරයකින් එය බලපානවා. ඉන් මිය යන සංඛ්‍යාව අවම වශයෙන් 1,00,000ක් පමණ වන අතර 2,50,000ක් පමණ සදාකාලික ආබාධවලට ගොදුරු වෙනවා.—UNIVERSITY OF MELBOURNE, AUSTRALIA.

“වර්ෂ 2008 තුළදී සෑම දිනකම හුවමාරු වූ ඊ-මේල් සංඛ්‍යාව බිලියන 210ක්” පමණ වෙයි.—NEW SCIENTIST, BRITAIN.

මතකයට බාධා කරන ශබ්ද

“මහා මාර්ග, දුම්රිය මාර්ග හෝ ගුවන් තොටුපළවල් අසල පදිංචි වී සිටින ජනයා එම ශබ්දවලට හුරු වී ඇති බවක් පෙනෙන්න තිබුණත් එය ඔවුන්ගේ මතක ශක්තියටත් ඉගෙනීමටත් අහිතකර ලෙස බලපානවා” කියා නෙදර්ලන්තයේ ස්බ්‍රාන්ඩ් වැන් ඩර් වර්ෆ් නමැති පුද්ගලයා පැවසුවා. ප්‍රමාණවත් නින්දක් නොලැබීම කෙනෙකුගේ මතක ශක්තියට මෙන්ම ඉගෙනීමේ හැකියාවටද අහිතකර ලෙස බලපානවා. එපමණක් නොව ‘ගැඹුරු නින්දේ සිටින විට එය සුළු වශයෙන් හෝ කැඩුණොත් එයද ඉහත කී තත්වයට බලපාන’ බව එක් පුවත්පතක වාර්තා වුණා. අපගේ මොළයේ මතක ශක්තිය හා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කොටසේ මනා ක්‍රියාකාරීත්වය සඳහා ‘ශබ්දය හා ආලෝකයෙන් සිදු වන බාධාවලින් තොර ගැඹුරු නින්දක් අත්‍යවශ්‍යයි’ කියාද එහි සඳහන් වුණා.—de Volkskrant.

මල්වෙඩිවල සැඟවුණ අනතුරු

මල්වෙඩි සංදර්ශන නෙතට ප්‍රිය දෙයක් වුණත් ඒවායින් වාතයට එකතු වන අංශු සෞඛ්‍යයට ඉතා අහිතකර බව සොයාගෙන තිබෙනවා. විවිධ වර්ණයන්ගෙන් යුත් මල්වෙඩි සෑදීමට රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා. උදාහරණයකට රතු පැහැය ගැනීමට ස්ට්‍රොන්ටියම්ද කොළ පැහැය ගැනීමට බේරියම්ද යොදාගන්නවා. ඒ පිළිබඳව ඔස්ට්‍රියානු ජාතික පර්යේෂකයන් පිරිසක් අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමට පෙර වැටුණු හිම සහ උත්සව සමයෙන් පසු වැටුණු හිම පරීක්ෂා කළා. උත්සවයට පසුව ලබාගත් හිමවල පෙරට වඩා 500 ගුණයක් පමණ බේරියම් අඩංගු වී තිබූ බව සොයාගත්තා. බේරියම් කියන්නේ අපගේ ස්වසන මාර්ගයේ අවහිරතා ඇති කරන විෂ ද්‍රව්‍යයක්. ඒ නිසා පර්යේෂකයන් පවසන්නේ ඇදුම වැනි ස්වසන රෝග තිබෙන අයට මල්වෙඩි වැනි ගිනිකෙලිවලින් නිකුත් වන දුම ආශ්වාස කිරීමෙන් ඔවුන්ගේ තත්වය තවත් දරුණු විය හැකි බවයි.

සුළං ටර්බයින වවුලන්ට තර්ජනයක්

කැනඩාවේ ඇල්බටා ප්‍රදේශයේ තිබෙන සුළං ටර්බයින අසල වවුලන් මැරී වැටී ඇති බව වාර්තා වෙනවා. ඉදිරියේ යම් වස්තුවක් ඇත්නම් එය හොඳින් හඳුනාගැනීමේ විශේෂ හැකියාවක් සතු වවුලාට මෙය සිදු වන්නේ කෙසේද යන්න පර්යේෂකයන්ට විශාල ප්‍රහේළිකාවක් වුණා. හමු වූ මළ සිරුරුවලින් සියයට 92කම අභ්‍යන්තර ලේ ගැලීම් සිදු වී ඇති බව ඔවුන් සොයාගත්තා. ඉන් ඔවුන් පැමිණි නිගමනය වූයේ සුළං පෙති පැයට කිලෝමීටර් 200ක වේගයෙන් කරකැවෙන නිසා ඒ අවට සිදු වන වායු පීඩනයේ වෙනස්කම්, සියුම් ස්වසන පද්ධතියක් සතු වවුලන්ට ඔරොත්තු නොදෙන බවයි. මෙය වැඩියෙන්ම බලපාන්නේ කෘමීන්ව ආහාරයට ගන්නා සංක්‍රමණික වවුලන්ටයි. ඒ නිසා සුළං ටර්බයින පරිසර පද්ධතියට තර්ජනයක් වෙයි කියා පර්යේෂකයන් බියෙන් පසු වෙනවා.