Skip to content

පටුනට යන්න

අක්මාවට වින කරන හෙපටයිටීස් B

අක්මාවට වින කරන හෙපටයිටීස් B

අක්මාවට වින කරන හෙපටයිටීස් B

“ඒ වෙනකොට මම වයස අවුරුදු 27ක විවාහකයෙක්. පෙනුණ විදිහට මට කිසිම අසනීපයක් තිබුණේ නැහැ. කොහොමවුණත් මගේ රැකියාව නිසා මම හිටියේ ලොකු පීඩනයකිනුයි. ඒ අතරම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් හැටියට අපේ ආගමේ වැඩවලටත් මම හවුල් වුණා. නමුත් ඒ වෙනකොටත් මට හෙපටයිටීස් B වැලඳිලා කියලා මම දැනගෙන හිටියේ නැහැ.”—ඩක් යුං.

අපගේ අක්මාව මගින් අඩුම තරමින් විවිධ කාර්යයන් 500ක්වත් සිදු කරනවා. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ රැධිරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමයි. නමුත් ඊට හානි කරන හෙපටයිටීස් හෙවත් අක්මාව ඉදිමීම කෙනෙකුගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් ඇති කරයි. ඊට මූලිකවම බලපාන්නේ වෛරසයක් වුණත් අධික මත්පැන් පානය හෝ විෂකාරක ද්‍රව්‍යයන්වලට නිරාවරණය වීමෙන්ද එය වැලඳිය හැකියි. එම රෝගයට හේතු වන වෛරස් වර්ග පහක් දැනටමත් සොයාගෙන තිබෙන අතර තවත් වෛරස් තුනක්වත් තිබිය හැකි බව වෛද්‍ය මතයයි.— පහත සඳහන් කොටුව බලන්න.

එම වෛරස් වර්ග පහ අතරින් හෙපටයිටීස් B වෛරසය (HBV) නිසා වර්ෂයකට 6,00,000ක්වත් මිය යනවා. එය මැලේරියාවෙන් මිය යන සංඛ්‍යාවට සමානයි. එමෙන්ම ලෝක ජනගහනයෙන් තුනෙන් එකකටත් වඩා වැඩි පිරිසක් මෙම රෝගයට ගොදුරු වන අතර ඉන් වැඩි පිරිසක් මාස කිහිපයක් තුළදී සුවය ලබනවා. නමුත් මිලියන 350කට පමණ එම වෛරසය දිගටම ඔවුන්ගේ ශරීරයේ තිබෙන අතර එහි රෝග ලක්ෂණ මතු වුණත් නැතත් අන් අයටත් එම රෝගය පැතිර යෑමේ අවදානමක් තිබෙනවා. *

මෙම රෝගය වැලඳී ඇති බව දැනගත හැක්කේ විශේෂ රුධිර පරීක්ෂාවකින් පමණයි. නමුත් අක්මාව සම්බන්ධයෙන් කරන සාමාන්‍ය රුධිර පරීක්ෂාවකට වුණත් එය හසු නොවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා නොදැනුවත්වම එය මාරාන්තික විය හැකියි. සමහර අයට එහි රෝග ලක්ෂණ මතු වන්නේ දශක ගණනාවකට පසුවයි. ඒ වන විටත් සිරෝසියාව හෝ පිළිකා වැනි තත්වයන් ඇති වී තිබිය හැකියි. මෙම වෛරසය වැලඳී ඇති සෑම හතරදෙනෙකුගෙන් එක් අයෙක් මිය යන්නේ එම හේතු නිසයි. නමුත් කල් ඇතුව ප්‍රතිකාර ගැනීමෙන් අක්මාවට විය හැකි බරපතළ හානි වළක්වාගන්න පුළුවන්.

“මට ඒක වැලඳුණ විදිහ”

“රෝග ලක්ෂණ මතු වෙනකොට මට අවුරුදු 30යි. දවසක් මට පාචනය හැදිලා මම මුලින්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාරත් පස්සේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් වැඩක් වුණේ නැහැ. ඒකට හේතුව ඔවුන් ප්‍රතිකාර කළේ මගේ බඩවැල් හා ආමාශයටයි. ඒත් මට හෙපටයිටීස් තියෙනවාද කියලා නම් පරීක්ෂා කළේ නැහැ. සුවයක් ලැබුණේ නැති නිසා මම ආයෙත් මුල් වෛද්‍යවරයා ළඟට ගියා. * එදා ඔහු මගේ බඩේ දකුණු පැත්තට ටිකක් තට්ටු කළාම මට ලොකු වේදනාවක් දැනුණා. ඊටපස්සේ කළ රුධිර පරීක්ෂාවෙන් හෙළි වුණේ මට HBV වැලඳිලා කියලයි. මම කවදාවත් රුධිරය ශරීරගත කරලාවත් වැරදි විදිහේ ලිංගික සම්බන්ධකම් පවත්වලාවත් නැති නිසා ඒ ගැන මට පුදුම හිතුණා.”

ඒ බව දැනගත් ඔහුගේ භාර්යාව, දෙමාපියන් සහ සහෝදර සහෝදරියනුත් ඉක්මනින් රුධිරය පරීක්ෂා කළා. ඉන් තහවුරු වුණේ ඔවුන්ගේ ශරීරය විසින් එම වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවා එම වෛරසය විනාශ කර ඇති බවයි. නමුත් ඒ සියලුදෙනාටම HBV වැලඳුණ ආකාරය තවමත් ප්‍රහේලිකාවක්. එම වෛරසය වැලඳී ඇති අයගෙන් සියයට 35කටම එය වැලඳුණේ කෙසේද යන්න මෙතෙක් සොයාගෙන නැහැ. නමුත් HBV පාරම්පරිකව උරුම වන රෝගයක් නොවෙයි. එමෙන්ම රෝගියෙකු සමඟ ආශ්‍රය කිරීමෙන් හෝ එකට ආහාර ගැනීමෙන් එය බෝ වන්නේ නැහැ. එය බෝ වන්නේ රෝගියෙකුගේ රුධිරය, ශුක්‍රාණු හෝ යෝනියෙන් පිට වන ශ්‍රාවයන් සහ කෙළ, වෙනත් කෙනෙකුගේ රුධිරයට හෝ ශ්ලේෂ්මල පටල මගින් ශරීරගත වුණොත් පමණයි.

බොහෝදෙනෙකුට HBV වැලඳෙන්නේ එම වෛරසය අඩංගු රුධිරය ශරීරගත කිරීම නිසයි. එය විශේෂයෙන්ම දකින්න ලැබෙන්නේ එම වෛරසය තිබේද කියා පරීක්ෂා කිරීමට පහසුකම් අඩු හෝ කොහෙත්ම නැති රටවලයි. එමෙන්ම එය බෝ වීමේ ප්‍රවණතාව HIV වෛරසයටත් වඩා සිය ගුණයකින් වැඩියි. රේසරයක තැවරුණු පුංචි ලේ බිඳුවකින් පවා වෛරසය බෝ විය හැකි අතර වියළි ලේ පැල්ලමක වුණත් එම වෛරසයට සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් පැවතිය හැකියි. *

ඒ ගැන දැනුවත් වන්න

ඩක් යුං මෙවැනි දෙයක් මතකයට නඟනවා. “මට HBV තියෙනවා කියලා මගේ ආයතනයේ අය දැනගත්තාම ඉක්මනින්ම මාව වෙනම කාමරයකට දැම්මා.” බොහෝදෙනා එසේ කරන්නේ රෝගය පැතිරෙන ආකාරය ගැන හරි අවබෝධයක් නැති නිසා විය හැකියි. නමුත් හොඳ අවබෝධයක් තිබෙන අය පවා හෙපටයිටීස් B වර්ගය A වර්ගය සමඟ පටලවාගත හැකියි. හෙපටයිටීස් A බෝ වීමේ වැඩි ප්‍රවණතාවක් තිබුණත් එය B තරම් භයානක නැහැ. කෙසේනමුත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන්ද HBV බෝ වන නිසා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන කෙනෙකු දෙස පවා අන් අය වපර ඇසින් බැලීමට ඉඩ තිබෙනවා.

රෝගය ගැන ඇති වරදවා වටහාගැනීම් හා සැකය නිසා බරපතළ ප්‍රශ්න පවා ඇති විය හැකියි. උදාහරණයකට බොහෝවිට ඔවුන් කොන් වෙනවා. රෝගී දරුවන් සමඟ සෙල්ලම් කිරීමට අසල්වාසීන් තම දරුවන්ට ඉඩ දෙන්නේ නැහැ. එවැනි දරුවන්ව පාසැල්වලට භාරගන්න, වැඩිහිටියන්ට රැකියා දෙන්න සමහරුන් බියක් දක්වනවා. සමහර අය එය පරීක්ෂා කරගැනීමට හෝ එවැනි තත්වයක් තිබෙනවා නම් එය හෙළි කිරීමටත් බිය වන්නේ ඒ නිසයි. තවත් අය තමන්ගේත් පවුලේ අයගේත් සෞඛ්‍ය අනතුරේ හෙළමින් එය දිගින් දිගටම වසන් කරනවා. ඉන් සිදු වන්නේ මෙම මාරාන්තික වෛරසය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වීමයි.

විවේකය අවශ්‍යයි

ඩක් යුං තවදුරටත් මෙසේ පවසනවා. “විවේක ගන්න කියා වෛද්‍යවරයා කිව්වත් මාස දෙකකට පස්සේ මම ආයෙත් වැඩට ගියා. සිරෝසියාවේ රෝග ලක්ෂණ නැති බව පරීක්ෂණවලින් තහවුරු වුණ නිසා මම හිතුවේ මට සනීපයි කියලයි.” ඊට වසර තුනකට පසුව ජනාකීර්ණ නගරයකට ඔහුට ලැබුණ මාරුවීම නිසා ඔහුගේ ජීවිතය තවත් කාර්යබහුල වුණා. එමෙන්ම ගෙදර දොරේ වියහියදම් පිරිමසන්න ඔහුටවෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වුණා.

නමුත් මාස කිහිපයක් ඇතුළත නැවතත් වෛරසය වේගයෙන් හිස ඔසවන්න පටන්ගත්තා. ඔහුට දැඩි වෙහෙසක් දැනුණා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “අන්තිමට මට රැකියාවෙන් අයින් වෙන්න වුණා. මම වෙහෙසුණා වැඩියි කියලා මට දැන් හිතෙනවා. මුල ඉඳලාම වැඩ කරන එක ටිකක් අඩු කළා නම් රෝගය මේ තරම් භයානක වෙන්නේ නැහැ.” එයින් පාඩමක් ඉගෙනගත් ඔහු වැඩ කරන එක අඩු කළා. වියහියදම් පාලනය කරන්නත් පටන්ගත්තා. ඒ වගේම ඔහුගේ භාර්යාව සුළු රැකියාවක් කරන්න පටන්ගත් නිසාත් පවුලේ අයගේ සහයෝගය නිසාත් වියදම් පිරිමසාගන්න ඔවුන්ට හැකි වී තිබෙනවා.

ඊට සාර්ථකව මුහුණ දීම

පසුව ඩක්ට යම් සුවයක් ලැබුණත් ඔහුගේ අක්මාවෙන් රුධිරය පෙරීම නිසි ලෙස සිදු නොවූ නිසා රුධිර පීඩනය ඉහළ ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊට අවුරුදු 11කට පසුව ඔහුගේ ගලනාලයේ නහරයක් පිපිරී ගිය නිසා සතියක් පමණ ඔහුට රෝහල් ගත වීමට සිදු වුණා. එමෙන්ම අක්මාවේ ආබාධය නිසා ඔහුගේ මොළයේ ඇමෝනියා රැඳෙන්න පටන්ගත්තා. ඒ නිසා තවත් අවුරුදු හතරකට පසු ඔහු මානසික වියවුල් තත්වයක්ද අද්දැක්කා. නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් නිසා දින කිහිපයකින් ඔහු යථා තත්වයට පත් වුණා.

දැන් ඩක්ට වයස අවුරුදු 54යි. ඔහුගේ තත්වය තවත් දරුණු අතට හැරුණත් ඉන් එහාට කළ හැකි දෙයක් නැහැ. වෛරසය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් කිරීමට ඖෂධවලට නොහැකි අතර එයින් භයානක අතුරුඵලවලටද මුහුණ දීමට සිදු විය හැකියි. ඒ සඳහා කළ හැකි එකම දේ වන්නේ අක්මාවක් බද්ධ කිරීමයි. නමුත් ඒ සඳහාද කාලයක් බලා සිටීමට සිදු වෙනවා. තමා සිටින තත්වය ගැන ඩක් මෙසේද පැවසුවා. “මම තව වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ කියලා මම දන්නවා වුණත් ඒ ගැනම හිතහිතා ඉන්න එකේ තේරුමක් නැහැ. මම තාමත් ජීවත් වෙන එක ලොකු දෙයක්. අනික මට ඉන්න තැනක් තියෙනවා. හොඳ පවුලක් තියෙනවා. එක අතකින් මං ඉන්න තත්වයෙන් හොඳකුත් වෙලා තියෙනවා. මට පවුලේ අයත් එක්ක ඉන්න වගේම බයිබලය අධ්‍යයනය කරන්නත් වැඩි කාලයක් තියෙනවා. ඒ නිසා කොයි වෙලාවේ මැරුණත් මට ඒ ගැන භයක් නැහැ. අසනීප නැති ඒ ලස්සන අනාගතය ගැන බලාගෙන ඉන්න ඒක මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා.” *

ඩක් යුං ජීවිතය ගැන දරන යහපත් ආකල්පය නිසා ඔහුත් භාර්යාවත් දරුවන් තිදෙනාත් දෙවිට පූර්ණකාලීනව සේවය කරමින් ප්‍රීතියෙන් කාලය ගත කරනවා.

[පාදසටහන්වල]

^ 4 ඡේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් එම වෛරසය මාස හයක් තුළ ඉවත් නොකළොත් එය දිගු කාලීනව පවතින රෝගයක් බවට පත් වෙයි.

^ 7 ඡේ. පිබිදෙව්! සඟරාව මගින් යම් නිශ්චිත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ.

^ 9 ඡේ. රෝගියෙකුගේ ලේ තැවරුණු ඕනෑම දෙයක් පිරිසිදු කළ යුත්තේ විෂබීජ නාශක (household bleach) කොටස් එකකට ජලය කොටස් දහයක් මිශ්‍ර කර අත්වැසුම් භාවිත කරමිනුයි.

^ 18 ඡේ. අසනීප නැති කාලයක් ගැන බයිබලයේ සඳහන් පොරොන්දුව ගැන දැනගැනීමට එළිදරව් 21:3, 4 යන වගන්ති සහ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත බලන්න.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කල් තියා ප්‍රතිකාර ලබාගැනීමෙන් බරපතළ හානි වළක්වාගත හැකියි

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සමාජයෙන් කොන් කරයි යන බිය නිසා සමහර අය එම රෝගය තිබෙනවාද කියා පරීක්ෂා කරගැනීමට හෝ එය තිබෙනවා නම් ඒ ගැන හෙළි කිරීමට බිය වෙනවා

[12, 13වන පිටුවේ කොටුව]

 එය කුමන ගණයට අයත්ද?

දැනටමත් හෙපටයිටීස් හේතුකාරක වෛරස් වර්ග පහක් හඳුනාගෙන තිබෙනවා. ඉන් බොහෝවිට බලපාන්නේ A, B හා C ලෙස වර්ග කර ඇති වෛරස් තුනයි. ඊට අමතරව තවත් වර්ග ඇති බවට සැක කරනවා. හෙපටයිටීස් රෝග ලක්ෂණ, උණ වැලඳුණ විට ඇති වන ඒවාට සමානයි. එයින් සමහරවිට සෙංගමාලය පවා ඇති විය හැකියි. බොහෝදෙනෙකුට විශේෂයෙන්ම දරුවන්ට එම රෝග ලක්ෂණ කිසිවක් මතු වන්නේ නැහැ. හෙපටයිටීස් B හා C ආසාදිත තත්වයන්වල රෝග ලක්ෂණ බොහෝවිට මතු වන්නේ අක්මාවට බරපතළ හානි වූ පසුවයි.

හෙපටයිටීස් A වෛරසය (HAV)

මෙම වෛරසය රෝගියාගේ අසූචිවලද තිබෙනවා. ඊට අමතරව ලුණු ජලයේ, සාමාන්‍ය ජලයේ මෙන්ම අයිස් කැටවල පවා එයට නොනැසී පැවතිය හැකියි. පහත සඳහන් ක්‍රම තුළින් කෙනෙකුට HAV වැලඳිය හැකියි

● පානීය ජලයට අසූචි මිශ්‍ර වී තිබීම හෝ එවැනි ජලයේ වෙසෙන මසුන් අමුවෙන් ආහාරයට ගැනීම

● ආසාදිත පුද්ගලයෙකුව ස්පර්ශ කිරීම, ඔහු සමඟ හවුලේ ආහාර ගැනීම හෝ ඔහු කන බොන භාජන හවුලේ භාවිත කිරීම

● ආසාදිත දරුවෙකුව පිරිසිදු කිරීමෙන් පසු, වැසිකිලි යෑමෙන් පසු හෝ ආහාර පිසීමට පෙර නිසි ලෙස අත් පිරිසිදු නොකිරීම

මෙම රෝගී තත්වය දරුණු විය හැකි වුණත් එය වැඩි කල් පවතින්නේ නැහැ. බොහෝවිට සති හෝ මාස කිහිපයකින් ශරීරය විසින් එම වෛරසය විනාශ කර දමයි. ඊට විශේෂිත ඖෂධ නැති අතර පෝෂ්‍යදායි ආහාර සහ නිසි විවේකය ගැනීමෙන් එය සුව වෙයි. අක්මාව සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් වී ඇති බව වෛද්‍යවරයෙකු විසින් පවසන තෙක් මත්පැන් හෝ අක්මාවට බලපාන සමහර වේදනා නාෂක (acetaminophen) ඖෂධවලින් සම්පූර්ණයෙන්ම වැලකිය යුතුයි. මෙම රෝගය වරක් වැලඳුණු පසු නැවත එය ආසාදනය නොවුණත් අනිකුත් වෛරස් ආසාදනය විය හැකියි. එන්නතක් මගින් HAV වැලඳීම වළක්වාගත හැකියි.

හෙපටයිටීස් B වෛරසය (HBV)

මෙම වෛරසය වැලඳෙන්නේ රෝගියාගේ රුධිරය, ශුක්‍රාණු හෝ යෝනියෙන් පිටවන ශ්‍රාවයන් වැනි දේවල් මගිනුයි. මෙය සිදු විය හැකි ක්‍රම පහත දැක්වෙයි.

● උපතේදී (මවගෙන් දරුවාට)

● නිසියාකාරයෙන් ජීවානුහරණය නොකළ වෛද්‍ය උපකරණ හෝ පච්ච කෙටීමට හා ආභරණ පැළදීම සඳහා ශරීරය විදින උපකරණ මගින්

● එන්නත් කටු, රේසර්, නියපොතු කපන උපකරණ හෝ දත් බුරුසු වැනි ඕනෑම උපකරණයක් පොදුවේ භාවිත කිරීම මගින්

● ලිංගික සම්බන්ධකම්වලින්

වෛද්‍යවරුන් පවසන්නේ කෘමීන්ගෙන්, කැස්සෙන්, අත් ඇල්ලීමෙන්, වැලඳගැනීමෙන්, දෙකම්මුල් සිපගැනීමෙන්, මව්කිරිවලින්, ආහාර පාන හවුලේ ගැනීම හෝ රෝගියා කන බොන භාජන භාවිත කිරීමෙන් HBV ආසාදනය නොවන බවයි. බොහෝ වැඩිහිටියන්ට HBV වරක් වැලඳුණු පසු නැවත එය වැලඳෙන්නේ නැහැ. නමුත් කුඩා කාලයේදී එය වැලඳුණහොත් බොහෝ කාලයක් පුරා එය ශරීරය තුළ තිබීමේ ප්‍රවණතාව වැඩියි. නිසි ප්‍රතිකාර නොලැබුණොත් එමගින් අක්මාව අක්‍රිය වීමට සහ මරණයට පවා පත් විය හැකියි. මෙයද එන්නතක් මගින් වළක්වාගත හැකියි.

හෙපටයිටීස් C වෛරසය (HCV)

මෙය වැලඳෙන්නේද HBV වැලඳෙන ආකාරයටමයි. නමුත් මෙය වැඩි හරියක් බෝ වන්නේ රෝගියෙකු භාවිත කළ එන්නත් කටු මගිනුයි. එය වළක්වාගැනීම සඳහා එන්නතක් නැත. *

[පාදසටහන]

^ 46 ඡේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙපටයිටීස් රෝගය පිළිබඳව භාෂා කිහිපයකින් ඉදිරිපත් කර ඇති තොරතුරු www.who.int යන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

[14වන පිටුවේ කොටුව]

හෙපටයිටීස් B මර්දනය

මෙම රෝගීන්ගෙන් සියයට 78ක් පමණ සිටින්නේ ආසියාව හා පැසිෆික් දූපත්වලයි. එම ප්‍රදේශ බොහොමයක වෙසෙන සෑම දහදෙනෙකුගෙන් එක් අයෙක් HBV ආසාදිතයෙක්. ඔවුන්ගෙන් වැඩි හරියකට එම වෛරසය ආසාදනය වන්නේ උපතේදීමයි. තවත් අයට කුඩා කාලයේදී එය ආසාදනය වෙන්නේ ආසාදිත දරුවන්ගේ රුධිරය මාර්ගයෙනුයි. නමුත් ළදරුවන් හා අනික් අය වෙනුවෙන් නිපදවා ඇති එන්නත් නිසා එය මර්දනය කිරීමට හැකි වී තිබෙනවා. * එම එන්නත ලබා දෙන ප්‍රදේශවල වෛරසය පැතිර යෑම සැලකිය යුතු මට්ටමකින් වළක්වා තිබෙනවා.

[පාදසටහන]

^ 51 ඡේ. එම එන්නත නිපදවීමට සමහර අවස්ථාවලදී රුධිරයේ අනු කොටස් භාවිත කරනවා. එමනිසා ඒවා ලබාගැනීමට පෙර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන වන 2000 ජූනි 15 හා 1994 ඔක්තෝබර් 1 යන මුරටැඹ කලාපවල පළ වූ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති ලිපි සහ“දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” යන ප්‍රකාශනයේ 246වන පිටුවේ සඳහන් තොරතුරු කියවීම ඔබට ප්‍රයෝජනවත් වෙයි.

[15වන පිටුවේ පින්තූරය]

ඩක් යුං තම බිරිඳ හා දරුවන් තිදෙනා සමඟ

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Sebastian Kaulitzki/Alamy