Skip to content

පටුනට යන්න

“අපි මෙහේ” කියලා එයාලාට කියන කල් මට නම් ඉවසුමක් නැහැ

“අපි මෙහේ” කියලා එයාලාට කියන කල් මට නම් ඉවසුමක් නැහැ

“අපි මෙහේ” කියලා එයාලාට කියන කල් මට නම් ඉවසුමක් නැහැ

පැවසුවේ අබිගායිල් ඔස්ටින්

වර්ෂ 1995 අප්‍රියෙල් මාසයේ හරිම ලස්සන දවසක සභාවේ කිහිපදෙනෙක් එක්ක අපි විනෝද ගමනක් යන්න ලෑස්ති වුණා. අම්මයි, තාත්තයි, ලොකු අක්කයි, දෙබොරා කියලා අපේ හොඳ යාළුවෙකුයි මමයි එක කාර් එකකට නැග්ගා. අනික් අය වෙනම ආවා. අපිට වැඩි දුරක් යන්න හම්බවුණේ නැහැ. අපේ ඉස්සරහින් කාර් එකක් වේගයෙන් ඇවිල්ලා අපේ කාර් එකේ හැප්පුණා. ඒ වෙන කොට මට වයස අවුරුදු නවයයි.

ඒ අනතුර වෙලා මට සිහිය ආවේ සති දෙකකට පස්සෙයි. අනතුරෙන් මගේ හිස්කබලට ගොඩක් හානි වෙලා තිබුණ නිසා ලොකු ශල්‍යකර්මයක් කරලා තිබුණා. ඒ වුණත් මට ඉක්මනින්ම සනීප වුණා. මාත් එක්ක කාර් එකේ හිටිය එක් කෙනෙක්වත් ජීවතුන් අතර නැහැ කියලා මගේ නෑදෑයන් මට කිව්වේ එතකොටයි. ඒත් මම ඒක විශ්වාස කළේ නැහැ. මම හිතුවෙම මට සිහිය නැති වෙලා ඉන්නකොට එයාලා මාව බලන්න එන්න ඇති කියලයි. ඇත්තටම වෙලා තියෙන දේ මම හරියට තේරුම්ගත්තේ ගෙදර ගියාට පස්සෙයි. ඒ වෙලාවේ මට දැනුණ දුක වේදනාව කියලා නිම කරන්න බැහැ.

ඒ වුණත් ඒක මම දරාගත්තේ කොහොමද කියලා කියන්නම්.

දෙමාපියන්ගෙන් ලැබුණු වටිනා දායාදය

අපේ පවුලේ මාත් එක්ක ළමයි පස්දෙනයි. මම තමයි බාලයා. අනතුර වෙනකොට සාරාට වයස අවුරුදු 22යි, ෂේන්ට 20යි, ජෙසිකාට 17යි, ලූක්ට 15යි. මගේ අම්මයි තාත්තයි හරිම හොඳයි. තාත්තගේ නම ස්ටීව්. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ යොක්ෂියර් බටහිර සභාවේ වැඩිමහල්ලෙක් විදිහට සේවය කළා. තාත්තා අනික් අයව හොඳින් තේරුම්ගන්න, ඕනෙම වෙලාවක උපකාර කරන්නත් ලෑස්ති වෙලා හිටිය කෙනෙක්. අම්මගේ නම කැරල්. අනික් අයට ආදරෙන් සැලකුව නිසා සභාවේ වයසක අය අම්මව සැලකුවේ හරියට දුවෙක්ට වගෙයි. අපිට සභාවෙන් හොඳ යාළුවෝ හොයාගන්න අම්මා නිතරම වගේ පුංචි සුහද හමුවන් සැලසුම් කළා. කොයි කාටත් අපේ ගෙදර දොර ඕනේ වෙලාවක ඇරලයි තිබුණේ. අසල්වාසීන්ටත් කරුණාවෙන් සලකන්න කියලා අම්මයි තාත්තයි අපිට නිතරම ඉගැන්නුවා.

හැම බදාදා හවසකම අපි පවුලක් හැටියට බයිබලය අධ්‍යයනය කළා. සමහර වෙලාවට අපි බයිබල් නාට්‍ය රඟපෑවා. ඒ වගේම අපේ පුංචි කාලේ ඉඳලාම රැස්වීම්වලට සූදානම් වෙන විදිහ විතරක් නෙවෙයි, ශුභාරංචිය දේශනා කරන විදිහත් අම්මයි තාත්තයි අපිට ඉගැන්නුවා. දරුවන් පස්දෙනෙකුව බලාගන්නවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ වුණත් යෙහෝවා දෙවි සමඟ හොඳ බැඳීමක් ඇති කරගන්නත් අම්මයි තාත්තයි අපිට හුඟක් උදව් කළා.

සාරායි, ෂේනුයි, ජෙසිකයි ඉස්කෝලේ ගිහින් ඉවරවුණාට පස්සේ පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න පටන්ගත්තා. සාරායි මමයි හොඳ යාළුවෝ. එයා මාව බලාගත්තේ හරියට අම්මා වගෙයි. මට ඉස්කෝලේ නිවාඩු හම්බවුණාම අපි දෙන්නා එකතුවෙලා තවත් අයට බයිබලය ගැන උගන්වන්න යනවා. ඒ කාලේ මතක් වෙනකොටත් මට හරි ආසයි. පුරෝගාමි සේවයේ හවුල් වුණ අයගේ මුහුණු සතුටින් පිරිලා තියෙන විදිහ මම දැක්කා. ඒ වගේම ඒ අයගේ ආශ්‍රයටත් මම හුඟක් ආසා කළා. ඒ නිසා මමත් ආසාවෙන් බලාගෙන හිටියේ ඉස්කෝලේ ගිහින් ඉවර වුණාම සාරාත් එක්ක එකතුවෙලා පුරෝගාමි සේවය කරන්නයි.

නිවාඩු දවස්වලට අපි සභාවේ අයත් එක්ක එකතු වෙලා හුඟක් දේවල් කළා. බාල මහලු හැමෝටම යාළුවෝ හොයාගන්නත් ඒක හොඳ අවස්ථාවක් වුණා. මගේ ජීවිතයේ ඉස්සරහට මුහුණ දෙන්න තියෙන තත්වයන්වලදී මේ යාළුවෝ මට කොයි තරම් උදව් කරයිද කියලා ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ.

අනතුරෙන් පසු

මම රෝහලෙන් ගෙදර ආවට පස්සේ ෂේනුයි ජෙසිකයි පුරෝගාමි සේවය කරන ගමන්ම ගෙදර වියදම් පිරිමහන්න පොඩි පොඩි රස්සාවල් කළා.

ඒ වගේම අපේ සභාවේ සහෝදර සහෝදරියනුත් පුදුමාකාර විදිහට අපිට උදව් කළා. අපිට කෑම ගෙනත් දුන්නා, නිවස පිරිසිදු කළා, කඩේ ගිහින් බඩු ගෙනාවා විතරක් නෙවෙයි අපිට අපේ වැඩ තනියම කරගන්න පුළුවන් වෙන කල් අපේ ඇඳුම් පවා හෝදලා දුන්නා. ඒ අය කළ උදව්වලට ස්තුති කරන්න අපිට වචන නැහැ. දුර ඈත සභාවලින් පවා අපිට හුඟක් තෑගි වගේම අවශ්‍ය උපකාර ලැබුණා. අපි මොන තරම් ප්‍රේමණීය සහෝදර සංගමයකින් වට වෙලා ඉන්නවාද කියලා ඒකෙන් අපිට හොඳටම තේරුණා.

මට තවමත් දෙමාපියන්ගේ රැකවරණය අවශ්‍යයි කියලා අයියටයි අක්කටයි තේරුණ නිසා ඊට අවුරුද්දකට විතර පස්සේ ඒ දෙන්නා තීරණයක් ගත්තා. සභාවේ හුඟක් අය අපිට උදව් කරන්න කැමැත්තෙන් හිටියා. අම්මයි තාත්තයි හිටියා නම් මගේ අනාගතය වෙනුවෙන් ඒ දෙන්නා මොන වගේ තීරණයක් ගනියිද කියලා අපි සාකච්ඡා කළා. අන්තිමේදී සභාවේ වැඩිමහල්ලෙක් වන සහෝදර බිලී සහ එයාගේ බිරිඳ ඩෝන් මාව භාරගන්න කැමති වුණා. එයාලා අපේ පවුලට හුඟක් කිට්ටුවෙන් හිටිය පවුලක්. එයාලාට ලොයිස් කියලා අවුරුදු පහක දුවෙකුත් හිටියා. එදා ඉඳන් එයාලා මාව බලාගත්තේ එයාලාගේම දුවෙක් විදිහටයි. ලොයිස්ට එයාගේ අම්මයි තාත්තයි දෙන අවධානයෙන් කොටසක් මටත් දෙන්න වුණ එක ගැන එයා කවදාවත් ඊර්ෂ්‍යා කළේ නැහැ. අදටත් අපි දෙන්නා එක කුසේ උපන් සහෝදරියෝ දෙන්නෙක් වගෙයි.

වේදනාකාරී අද්දැකීමට මුහුණ දුන් විදිහ

යෙහෝවා දෙවිටත් අනික් මිනිසුන්ටත් මේ තරම් ප්‍රේමයකින් වැඩ කරලත් අපේම පවුලට මේ වගේ දෙයක් සිද්ධ වුණේ ඇයි කියන එක මට මුල් දවස්වල ලොකු ප්‍රශ්නයක් වුණා. නමුත් යෝබ්ට එයාගේ දරුවන් හැමදෙනාම නැති වුණත් යෝබ් දෙවිට විශ්වාසවන්තව සේවය කළ විදිහ මට මතක් වුණා. (යෝබ් 1:19, 22) ඒ නිසා මම මෙහෙම හිතුවා. ‘මිනිස්සුන්ට දුක, වේදනාව, මරණය ඇති කරන්නේ සාතන්. මේ සිද්ධිය නිසා අපි යෙහෝවා දෙවිට කරන සේවය නතර කළොත් සාතන් හුඟක් සතුටු වෙයි.’ (උත්පත්ති 3:1-6; එළිදරව් 12:9) ඒ වගේම නැවත නැඟිටීමේ ප්‍රීතිමත් බලාපොරොත්තුවත් යෙහෝවා දෙවි අපිට දීලා තියෙනවා කියන එකත් මට මතක් වුණා. (යොහන් 5:28, 29) ළඟඳීම අපිට අපේ පවුලේ අයවත් දෙබොරවත් ආයේ දකින්න ලැබෙනවා. මේ දේවල් ගැන හිතනකොට යෙහෝවා දෙවිට තියෙන මගේ ප්‍රේමය තවත් වැඩි වෙනවා.

මම වගේ වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දීලා තියෙන අයව මට මුණගැහෙනවා. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන එයාලා දන්නේ නැහැ කියලා දැනගත්තාම මට හුඟක් දුක හිතෙනවා. ඒ නිසා එයාලාට ඒ ගැන කියන්න මට ලොකු උනන්දුවක් ඇති වෙනවා. අපිට වුණත් මේ දුක දරාගන්නත් අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගෙන ජීවත් වෙන්නත් පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා දෙවි සහ ඔහුගේ සෙනඟ නිසා විතරමයි කියන එක මට හොඳටම විශ්වාසයි.

අපේ අද්දැකීම ගැන දැනගත්තාට පස්සේ සමහර දෙමාපියන්ටත් මෙහෙම හිතෙන්න පුළුවන්. ‘කවදා හරි අපිට මොනවා හරි වුණොත් දිගටම යෙහෝවා දෙවිට සේවය කරන්න තරම් හොඳ පුහුණුවක් අපි අපේ දරුවන්ට දීලා තියෙනවාද?’

මම හැම තිස්සෙම උත්සාහ කරන්නේ අම්මයි තාත්තයි ජීවතුන් අතර හිටියා නම් ඔවුන් මගෙන් බලාපොරොත්තු වෙන විදිහට කටයුතු කරන්නයි. අම්මටයි තාත්තටයි ඕනේ වුණේ මමත් ඒ දෙන්නා වගේ මහන්සි වෙලා අනික් අයට දෙවි ගැන උගන්වනවාටයි. ඒ නිසා ඉස්කෝලේ ගිහින් නතර වුණ දා ඉඳලා මමත් පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න පටන්ගත්තා. ලොයිසුත් මාත් එක්ක පුරෝගාමි සේවය කරනවා. ඒ වගේම මගේ අයියලා දෙන්නයි අක්කයි විවාහ වෙලා යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් සේවය කරනවා.

මම හරිම ආශාවෙන් බලාගෙන ඉන්නේ පාරාදීස පොළොව වගේම නැවත නැඟිටීම ගැනත් දෙවිගේ පොරොන්දු ඉටු වෙන කාලය එන තුරුයි. (එළිදරව් 21:3, 4) ආයෙත් අපේ ඒ ලස්සන පවුලට එකට ඉන්න ලැබෙනවා කියන සිතුවිල්ලම මගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න මට ලොකු ශක්තියක්. එදාට, “අපි මෙහේ” කියලා දුවලා ගිහින් මගේ අම්මටයි තාත්තටයි සාරටයි දෙබොරටයි කියලා එයාලාව ආදරයෙන් වැලඳගන්නකල් මට නම් ඉවසුමක් නැහැ!

[23වන පිටුවේ පින්තූරය]

අබිගායිල්, (වම්පස සිට දෙවෙනියා) ඇයව රැකබලා ගන්නා පවුලේ සාමාජිකයන් සමඟ