Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසයන් ගැන ඔබ දන්නවාද?

ඔවුන්ගේ විශ්වාසයන් ගැන ඔබ දන්නවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන ඕනෑම කෙනෙකුට දැනගත හැකි ලෙස ඒවා ඇතුළත් ප්‍රකාශන භාෂා සිය ගණනකින් මුද්‍රණය කර තිබෙනවා. ඔවුන් විශ්වාස කරන දේවල් කිහිපයක් කෙටියෙන් පහත දැක්වෙයි.

1. බයිබලය.

‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළින්’ බව ඔවුන් විශ්වාස කරනවා. (2 තිමෝති 3:16) ආගම් පිළිබඳව අධ්‍යයනය කිරීමේ මහාචාර්යවරයෙකු වන ජේසන් ඩී. බිඩූන් ඔවුන් ගැන මෙසේ පවසනවා. “ඔවුන් තම විශ්වාසයන් සහ වත්පිළිවෙත් පදනම් කරගෙන තිබෙන්නේ සම්පූර්ණයෙන්ම බයිබලයේ තිබෙන අදහස් මතයි.” ඔවුන් තමන්ට ගැළපෙන ආකාරයට බයිබල් ප්‍රතිපත්ති සකස් කරගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් නිතරම බයිබල් ප්‍රතිපත්තිවලට අනුව සකස් වෙනවා. එමෙන්ම බයිබලයේ ඇති සමහර අදහස් සංකේතාත්මක අර්ථවලින් ඉදිරිපත් කර ඇති බවත් ඔවුන් සැලකිල්ලට ගන්නවා. උදාහරණයකට මැවීමේ දින හත පැය 24 දින නොවන බවත් ඉන් යම් දීර්ඝ කාල පරිච්ඡේදයක් අදහස් කරන බවත් ඔවුන් තේරුම්ගෙන තිබෙනවා.—උත්පත්ති 1:31; 2:4.

2. සියල්ලේ නිර්මාතෘ වන දෙවි.

“යෙහෝවා” යනු සියලු දේ නිර්මාණය කළ එකම සැබෑ දෙවිගේ නාමයයි. ඒ නාමය මිනිසුන්ට දැනුම් දුන්නේ දෙවිමයි. (සමහර විශාරදයන් එම නාමය “යාවේ” ලෙස උච්චාරණය කරන අතර සමහර බයිබල් පරිවර්තනවලද එසේ සඳහන් වෙනවා.) * (ගීතාවලිය 83:18) බයිබලයේ මුල් පිටපත්වල හෙබ්‍රෙව් භාෂාවෙන් එම නම 7,000 වාරයක් පමණ සඳහන් වෙනවා. දෙවිගේ නාමයේ වැදගත්කම දැන සිටි යේසුස් “ඔබගේ නාමයට ගෞරව වේවා” කියා තම ආදර්ශ යාච්ඤාවෙන් පෙන්නුම් කළේ ඒ නිසයි. (මතෙව් 6:9, නව අනුවාදය) මිනිසුන්ගේ නමස්කාරය ලැබිය යුතු එකම තැනැත්තා ඔහු නිසා සාක්ෂිකරුවන් නමස්කාර කටයුතුවලදී රූප හෝ පිළිම භාවිත කරන්නේ නැහැ.—1 යොහන් 5:21.

“පියාණන් මට වඩා උතුම්.”—යොහන් 14:28

3. යේසුස් ක්‍රිස්තුස්.

“දෙවිගේ පුත්‍රයා” හා “දෙවිගේ කුලුඳුල් නිර්මාණය” වන ඔහු ගැලවුම්කරුයි. (යොහන් 1:34; කොලොස්සි 1:15; ක්‍රියා 5:31) යේසුස් දෙවිගේ නිර්මාණයක් වන නිසා ඔහු ත්‍රිත්වයේ කොටසක් නොවෙයි. “පියාණන් මට වඩා උතුම්” කියා ඔහු පැවසීමෙන්ද ඒ බව පැහැදිලියි. (යොහන් 14:28) යේසුස් පොළොවට පැමිණීමට පෙර ස්වර්ගයේ ජීවත් වූ අතර පොළොව මත ඔහුගේ ජීවිතය පූජා කිරීමෙන් පසුව නැවතත් ස්වර්ගයට ගියා. “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි” කියා ඔහු පැවසුවා.—යොහන් 14:6.

4. දෙවිගේ රාජ්‍යය.

එය ස්වර්ගයේ පිහිටුවා තිබෙන සැබෑ ආණ්ඩුවක්. යේසුස් එහි රජු වන අතර ‘මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන’ තවත් 1,44,000ක් ඔහු සමඟ පොළොව පාලනය කිරීමෙහි හවුල් වෙනවා. (එළිදරව් 5:9, 10; 14:1, 3, 4; දානියෙල් 2:44; 7:13, 14) එම පාලනය යටතේ මේ පොළොවෙන් සියලුම දුෂ්ටකම් ඉවත් වීමට නියමිත අතර දෙවිට නමස්කාර කරන මිලියන ගණනක් මේ පොළොවේ ජීවත් වීමට නියමිතයි.—හිතෝපදේශ 2:21, 22.

5. පෘථිවිය.

‘පොළොව සදහටම පවතින’ බව බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 1:4) මේ පොළොවෙන් දුෂ්ට මිනිසුන්ව ඉවත් කළ පසු ධර්මිෂ්ඨ මිනිසුන් පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට නියමිතයි. (ගීතාවලිය 37:10, 11, 29) එවිට “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යාච්ඤාවෙන් යේසුස් පැවසූ දේ ඉටු වෙයි.—මතෙව් 6:10.

6. බයිබලයේ සඳහන් අනාවැකි.

‘දෙවි කිසි බොරුවක් පවසන්නේ නැහැ.’ (තීතස් 1:2) ඒ නිසා අද සිටින දුෂ්ට මිනිසුන්ගේ අවසානය ඇතුළු බයිබලයේ සඳහන් අනිකුත් අනාවැකි ඉටු වන බව ස්ථිරයි. (යෙසායා 55:11; මතෙව් 24:3-14) දෙවි ගෙනෙන විනාශයෙන් බේරී “සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන” අය පමණයි.—1 යොහන් 2:17.

7. ආණ්ඩු බලධාරීන්.

“සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න” කියා යේසුස් පැවසුවා. (මාක් 12:17) ඒ අනුව දෙවිගේ ප්‍රමිති නොකැඩෙන තාක් කල් ඔවුන් රටේ නීතියට කීකරු වෙනවා.—ක්‍රියා 5:29; රෝම 13:1-3.

“රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”​—මතෙව් 24:14

8. ශුභාරංචිය ප්‍රකාශ කිරීම.

අද පවතින දුෂ්ට සමාජයේ විනාශයට පෙර ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ ලොව පුරා ප්‍රකාශ කරන බව යේසුස් පැවසුවා. (මතෙව් 24:14) ජීවිත ගලවාගන්නා එවැනි කාර්යයක හවුල්වීමට ලැබීම සාක්ෂිකරුවන් සලකන්නේ මහත් වරප්‍රසාදයක් ලෙසයි. එම පණිවිඩයට සවන් දීම හෝ නොදීම කෙනෙකුගේ පෞද්ගලික තීරණයක්. නමුත් සෑම කෙනෙකුටම බයිබලයේ ඇති ආරාධනය මෙයයි. “කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.”—එළිදරව් 22:17.

9. බව්තීස්මය.

කෙනෙකුට බව්තීස්ම විය හැක්කේ ඔහු හෝ ඇය බයිබලය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දෙවිට සේවය කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණොත් පමණයි. (හෙබ්‍රෙව් 12:1) ඒ පුද්ගලයා දෙවිට කරන කැප වීම බව්තීස්මය මගින් සංකේතවත් කරනවා.—මතෙව් 3:13, 16; 28:19.

10. පූජක පක්ෂයක් නැහැ.

“ඔබ සියලුදෙනාම සහෝදරයෝ” කියා යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවා. (මතෙව් 23:8) යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ කාලයේ සිටම ඔවුන් අතර පූජක පක්ෂයක් සිටියේ නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද අනුගමනය කරන්නේ එයයි.

^ 4 ඡේ. එය සාක්ෂිකරුවන් විසින් සාදාගත් නාමයක් නොවෙයි. මීට ශත වර්ෂ ගණනාවකට පෙර සිටම ඉංග්‍රීසි සහ ජර්මන් ඇතුළු තවත් හෙබ්‍රෙව් නොවන භාෂා ගණනාවකම එම නාමය “ජෙහෝවා” ලෙස සඳහන් කර තිබෙනවා. නමුත් වර්තමාන බයිබල් පරිවර්තනවලින් එම නම ඉවත් කර ඒ වෙනුවට “දෙවියන් වහන්සේ” හෝ “ස්වාමීන් වහන්සේ” යන වචන භාවිත කර තිබෙනවා. එය බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවිට කර ඇති බරපතළ අගෞරවයක්.