Skip to content

පටුනට යන්න

ඔවුන් ගැන අන් අය පවසන දේ

ඔවුන් ගැන අන් අය පවසන දේ

ප්‍රංශය

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හරිම නීති ගරුක පිරිසක්. ඔවුන්ගෙන් සමාජයට කිසිම තර්ජනයක් නැහැ. නියමිත වෙලාවට බදු ගෙවනවා. කඩිසරව වැඩ කරන ඔවුන් රටේ දියුණුවටත් දායක වෙනවා. ඒ වගේම සමාජ සේවය වැනි කටයුතුවලටත් සහය වෙනවා. ඔවුන්ගේ ආගමික රැස්වීම්වලදී විවිධ ජාතීන්ට අයත් අය එකමුතුව කටයුතු කරන ආකාරය බලන් ඉන්න ආසයි. මේ රටේ හැම කෙනෙක්ම සාක්ෂිකරුවෙක් වුණා නම් පොලිසියේ ඉන්න අපිට කරන්න වැඩක් නැති වෙයි.”—ප්‍රංශයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෙක්.

යුක්‍රේනය

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තම දරුවන්ට උසස් සදාචාර ප්‍රමිති හොඳින් උගන්වනවා. ඒ වගේම අද සමාජයේ සාමාන්‍ය දේවල් ලෙස සලකන නමුත් තමන්ටත් අන් අයටත් ඉතා හානිකර හැසිරීම්වලින් මෙන්ම ආකල්පවලිනුත් වැළකී සිටීමට ඔවුන් දරුවන්ට උගන්වනවා. මත්ද්‍රව්‍ය, මත්පැන් සහ දුම්පානය වැනි දේවල ඇති භයානකකම ගැන ඔවුන් දරුවන්ට අනතුරු අඟවන්නේ ඒ නිසයි. අවංකව හා වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ඇති වැදගත්කම දන්නා ඔවුන් ආණ්ඩු බලධාරීන්ට, සෙසු මිනිසුන්ට වගේම අන් අයගේ දේපොළවලටත් ගරු කරන නීතිගරුක පුරවැසියන් වීමටත් දරුවන්ට උගන්වනවා.”—මහාචාර්යය පෙට්‍රො යරොට්ස්කි විසින් සංස්කරණය කරන ලද The History of Religion in Ukraine.

ඉතාලිය

රෝමයේ පැවති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවක් ගැන එක් පුවත්පතක මෙසේ වාර්තා වුණා. “ඊයේ දවසේ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ 30,000ක් පමණ රැස්ව සිටියත් ඔවුන් සියලුදෙනාම ඉතාමත් සන්සුන්ව අසුන්ගෙන සිටියා. කවුරුවත් අශීලාචාර ලෙස හැසිරෙනවාවත් ඔවුන් අසල කුණු කසළ, සිගරට් කොට හෝ හිස් බීම බෝතල් තිබෙනවාවත් දකින්න ලැබුණේ නැහැ. හැමෝම තමන්ගේ බයිබල් පෙරළමින් කෙටි සටහන් ගනිමින් හිටියා. ඒ වගේම ඔවුන්ගේ දරුවනුත් හරිම නිශ්ශබ්දව ඇහුම්කන් දුන්නා.”—L’Unità.

 

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තම දරුවන්ට උසස් සදාචාර ප්‍රමිති මෙන්ම නීතිගරුක පුරවැසියන් වීමට උගන්වනවා”

බ්‍රිතාන්‍යය

“‘එංගලන්ත සභාවටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වගේ කැප වීමෙන් සේවය කරන අය අවශ්‍යයි’ කියා චෙල්ටන්හම් නගරයේ ප්‍රධාන පූජකවරයෙක් පැවසුවා.”—ග්ලොස්ටර් වසමට අයත් The Gazette නම් පුවත්පත.

නෙදර්ලන්තය

ලේවෝඩන් නගරයේ තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානය අවට සිටින අයගෙන් ඔවුන්ට මෙවැනි ලිපියක් ලැබුණා. “අපේ පාර ලස්සනට තියාගන්න ඔයාලාගෙන් ලැබෙන දායකත්වය අපි හුඟක් අගය කරනවා. ඔයාලාගේ ආගමේ අය හරිම පිළිවෙළට අඳින පළඳින, අන් අය ගැන සැලකිලිමත් පිරිසක්. ඔයාලාගේ දරුවන්ගේ හැසිරීමත් හරිම හොඳයි. ඔයාලා කවදාවත් අනික් අයට කරදරයක් වෙන විදිහට වාහන නතර කරන්නේවත් පාරේ කුණු විසි කරලා යන්නේවත් නැහැ. ඔයාලාගේ ශාලාව අවටත් හරිම ලස්සනයි. ඔයාලා වගේ අසල්වාසීන් ඉන්න එක අපිට ලොකු සතුටක්.”

මෙක්සිකෝව

මානව විද්‍යාව සහ ඉතිහාසය පිළිබඳ ගවේෂකයෙකු වන මහාචාර්යය එලියෝ මාස්ෆෙර එක් පුවත්පතකට මෙසේ පැවසුවා. “අතවරයට හා පහර කෑම්වලට ලක් වූ, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පවුල් සාමාජිකයන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උපකාර කර තිබෙනවා.” එමෙන්ම ඔවුන් බයිබලයෙන් උගන්වන දේවල් නිසා “තමන් වටිනාකමක් නැති කෙනෙක් කියා සිතන අයට තමන් ගැන විශ්වාසය ගොඩනඟා ගැනීමටත් දෙවිව සතුටු කරන දේවල් කිරීම නිසා බරපතළ ප්‍රශ්න මඟහරින්නත් බොහෝදෙනෙකුට හැකි වී තිබෙනවා.”—Excélsior.

‘විවිධ ජාතීන්ට අයත් අය සාමයෙන් එකට සිටින ආකාරය’

බ්‍රසීලය

එක් පුවත්පතක් මෙසේ වාර්තා කළා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හරිම පුදුමාකාරයි. ඔවුන් එක්රැස් වන ස්ථාන හැමවිටම පිරිසිදුයි. හැම දෙයක්ම හරිම පිළිවෙළයි. ඔවුන්ගේ සමුළු අවසන් වුණාට පස්සේ ඔවුන් කුලියට ගත් ස්ථාන පෙරටත් වඩා පිරිසිදුයි. රැස්වීම් අතරතුර හැමදෙනාම හරිම නිශ්ශබ්දව අසාගෙන සිටිනවා. කිසි කෙනෙක් ආසනවලට පොරකන්නේවත් පෝළිම් පනින්නේවත් නැහැ. ඇත්තටම ඔවුන් හරිම සංවිධානාත්මක ආගමක්. දෙවිට නමස්කාර කරනවා කියන්නේ කුමක්ද කියා ඔවුන් හොඳින්ම තේරුම්ගෙන සිටිනවා.”—Comércio da Franca.

මිනිසුන් අනුගමනය කළ යුතු හොඳම නීති හා ප්‍රතිපත්ති සපයන්න පුළුවන් මිනිසුන්ගේ නිර්මාතෘ වන දෙවිට පමණයි කියා සාක්ෂිකරුවන් තරයේ විශ්වාස කරනවා. (යෙසායා 48:17, 18) ඔවුන් ඒවා අනුගමනය කරන විට ඔවුන් අන් අයගේ ප්‍රශංසාවට පාත්‍ර වෙනවා. නමුත් එය යා යුත්තේ දෙවිට බව යේසුස් පැවසූ මේ වදන්වලින් ඔවුන් තේරුම්ගෙන තිබෙනවා. “ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි.”—මතෙව් 5:16.