Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනයේ වර්ගීකරණයට අනුව සමේ වර්ණය වෙනස් කරගැනීම සඳහා පාරජම්බුල කිරණවලට නිරාවරණය වීම “සමහරවිට පිළිකාවලට හේතු විය හැකි” බව කලින් පැවසුවත් දැන් එම ආයතනය පවසන්නේ එම කිරණ “පිළිකාවලට හේතු වෙනවා” කියායි.—THE LANCET ONCOLOGY, BRITAIN.

ආජන්ටිනාවේ ගැබිනි මව්වරුන් දසදෙනෙකුගෙන් නවදෙනෙක්ම ගැබ්බර වී තිබෙන්නේ තම කැමැත්තෙන්ම නොවෙයි.—CLARÍN, ARGENTINA.

“නව ජීවී විශේෂ සොයාගැනීම් පිළිබඳව නිතර නිතර අසන්න ලැබෙනවා. එය සාමාන්‍යයෙන් දිනකට ජීවී විශේෂ 50ක් පමණ වෙනවා. වර්ෂ 2006දී පමණක් අලුතින්ම සොයාගත් ශාඛ හා සත්ව විශේෂ සංඛ්‍යාව 17,000කට ආසන්නයි. එය මේ වන තෙක් හඳුනාගෙන තිබෙන මිලියන 1.8න් සියයට එකක් පමණයි.”—TIME, U.S.A.

තුවක්කුවලින් ආරක්ෂාව ලැබෙනවාද?

හදිසි අවස්ථාවකදී තුවක්කුවක් සතු කෙනෙකුට ඉන් ආරක්ෂාවක් ලැබෙනවාද? බොහෝවිට එය එසේ නොවන බව ඇමරිකාවේ, පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය මගින් කළ අධ්‍යයනයකින් හෙළි වුණා. ජීවිතයට තර්ජනයක් ඇති වූ අවස්ථාවකදී තුවක්කුවක් ඇති කෙනෙක් “වෙඩි පහරකට ලක් වීමේ ප්‍රවණතාව, තුවක්කුවක් නැති කෙනෙකුට වඩා හතර ගුණයකින් වැඩි” බව එහි සඳහන් වුණා. සමහරුන් තම ආයුධය භාවිත කර භයානක තත්වයන්ගෙන් ආරක්ෂා වී තිබෙන බව ඇත්තයි. නමුත් එසේ කිරීමට නොලැබෙන අවස්ථා බොහොමයි. “භයානක අවස්ථාවලට මුහුණ දීම සඳහා තුවක්කුවක් භාවිත කිරීම ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් කියා කවුරුන් හෝ සිතනවා නම් දැන් ඒ ගැන දෙවරක් කල්පනා කර බැලීම සුදුසුයි” කියාද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වුණා.

තොල් රතු කරන භික්ෂූන්

බැංකොක් නුවරින් ලැබෙන වාර්තාවක සඳහන් වෙන්නේ තායිලන්තයේ අලුතින් පැවිදිවූවන් නිසා “බුදු දහමේ කීර්තිමත් නාමයට කැළලක් ඇති වී තිබෙන” බවයි. ඊට හේතු ලෙස එහි විස්තර කරන්නේ සමහර සාමනේරවරු විසින් තොල් රතු කරන ආලේපන භාවිත කරන බවත් කාන්තාවන් රැගෙන යන බෑග් අතැතිව සිවුරු සිරුරට තද වන ලෙස ඇඳ අනවශ්‍ය ලෙස උකුල ප්‍රදේශය පද්දමින් ඇවිදින බවයි. එමෙන්ම සමලිංගික ක්‍රියාවල යෙදෙන සාමනේරවරුන්ට සදාචාර නීති සම්බන්ධයෙන් යම් පුහුණුවක් ලබා දීමටද ආගමික බලධාරීන් තම අවධානය යොමු කර තිබෙනවා.

කාන්තාවන්ට පමණයි

වසර ගණනාවක් පුරා ඉන්දියාවේ දුම්රියවල ගමන් කළ කාන්තාවන්ට නානාප්‍රකාර කරදර හිරිහැරවලට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. බොහෝවිට පුරුෂ පක්ෂය විසින් ඔවුන්ව අතපතගෑම, කෙනිත්තීම, අනවශ්‍ය ලෙස ඔවුන් දෙස බලා සිටීම වැනි දේවලට ඔවුන් මුහුණ දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ යෑම නිසා සමහර අවස්ථාවලදී පිරිමි පාර්ශ්වය දුම්රියෙන් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා කියා ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කළා. ඒ නිසා ඉන්දියාවේ නව දිල්ලිය, මුම්බායි, චෙන්නායි හා කල්කටා යන විශාලතම නගර හතරෙහි “කාන්තාවන්ට පමණක්” ගමන් කිරීමට දුම්රිය කිහිපයක් වෙන් කර තිබෙනවා. එම තීරණය ගැන මගීන් ඉමහත් සතුට ප්‍රකාශ කර තිබෙනවා.