Skip to content

පටුනට යන්න

බටාක් වැසියන් හමු වෙමු

බටාක් වැසියන් හමු වෙමු

බටාක් වැසියන් හමු වෙමු

දේශ ගවේශකයෙක් වූ මාකෝ පෝලෝ 13වන සියවසේදී ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ සංචාරයක යෙදුණා. එහේ ඉන්න සමහර ‘කඳුකර ජනයා මිනී මස් කන’ බව ඔහු පැවසුවා. සමහර අය සිතන්නේ ඒ බටාක් වැසියන් කියායි. නමුත් අපිට නම් ඔවුන් ගැන තියෙන්නේ ඊට වඩා වෙනස්ම අදහසක්. ඒ අයව දැනගන්න ඔබත් කැමතිද?

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන මමත් මගේ බිරිඳත් පූර්ණකාලීන දේවසේවකයන්. අපේ අලුත් පැවරුම ලැබුණේ උතුරු සුමත්‍රාවටයි. අපි එහේ ගිය මුල්ම දවසේ බටාක් ජාතික අපේ යාළුවෝ අපිව පිළිගත්තේ “හෝරාස්” කියා ඔවුන්ගේ භාෂාවෙන් ආචාර කරලයි. බටාක් ජනයාගේ පණ නළ හා සමාන අලංකාර ටෝබා විල පිහිටා තිබෙන්නේත් අපි ඉන්න තැනට කිට්ටුවමයි.— පහත සඳහන් කොටුව බලන්න.

බටාක් කියන්නේ ඉන්දුනීසියාවේ සිටින විශාලතම ආදිවාසී ගෝත්‍රික කණ්ඩායම්වලින් එකක්. මිලියන අටක් පමණ වන ඔවුන් විවිධ වාර්ගික කණ්ඩායම් හයකට බෙදී සිටියත් ඔවුන් කිට්ටු නෑයන්. ටෝබා, සිමාලන්ගන්, කාරෝ, ඩයිරි, ඇන්කෝලා, සහ මැන්ඩෙයිලිං එම ගෝත්‍රික කණ්ඩායම් හයට අයත් වෙනවා. එම සෑම කණ්ඩායමක්ම විශාල පවුල් කිහිපයකින් සමන්විතයි. ඔවුන් කොහේදී මුණගැසුණත් මුලින්ම අසන්නේ “ඔයා මොන ගෝත්‍රයේද” කියලයි. ඒකෙන් ඔවුන් ඉක්මනින්ම නෑකම සොයාගන්නවා.

විවාහ චාරිත්‍ර වාරිත්‍ර

සාමාන්‍යයෙන් ඔවුන්ගේ විවාහයක් සිදු වන විට එය දෙදෙනෙකුගේ පමණක් නොව පවුල් දෙකක එකතුවීමක් වෙයි. සහෝදරියන් දෙදෙනෙකුගේ දරුවන් විවාහ වීම ඉතාමත් යෝග්‍යයි කියා ඔවුන් සලකනවා. නමුත් සහෝදරයන් දෙදෙනෙකුගේ හෝ එකම පවුලේ දරුවන් විවාහ වීම ඔවුන් අතර තහනම් දෙයක්. සාමාන්‍යයෙන් ඔවුන් අතර විවාහයක් සිදු වන ආකාරය අපිට මේ ආකාරයෙන් තේරුම්ගන්න පුළුවන්. උදාහරණයකට A පවුලේ පුරුෂයන්, B පවුලේ ස්ත්‍රීන්ව විවාහ කරගන්නවා. ඒ වගේම B පවුලේ පුරුෂයන්, C පවුලේ ස්ත්‍රීන්ව විවාහ කරගන්නවා. එමෙන්ම C පවුලේ පුරුෂයන් A පවුලේ ස්ත්‍රීන්ව විවාහ කරගන්නවා. මෙම ක්‍රමය නිසා පවුල් අතර තිබෙන බැඳීම වඩා ශක්තිමත් වන අතර අලුත් යුවළ අප්‍රමාණ නෑ පරපුරකට නෑකම් කියන්න පටන්ගන්නවා.

බටාක් යුවළක් නීත්‍යනුකූලව විවාහ වී ඔවුන්ට දරුවන් ලැබුණත් එම පවුල් අනික් අය විසින් පිළිගන්නේ ඔවුන් සාම්ප්‍රදායික විවාහ උත්සවයක් පැවැත්වුවහොත් පමණයි. එවැනි විවාහ උත්සවයක් පැය ගණනක් පැවැත්වෙන අතර ඊට නෑදෑයන් සිය ගණනක් සහභාගි වෙනවා.

කාරෝ ගෝත්‍රික විවාහයකදී මුලින්ම සිදු වන්නේ අඹුවැද්ද හා පිළිබඳ කටයුතුයි. ඉන්පසුව ගෝත්‍රයේ මූලිකයන් විසින් විවාහ ජීවිතය ගැන යුවළට දීර්ඝ උපදෙස් ලබා දෙනවා. උත්සවය අවසන් වන්නේ හැමෝම කා බී ප්‍රීති වීමෙන් පසුවයි.

ගොවීන්ගේ පාරාදීසය

අතීතයේදී බටාක් පවුල් කිහිපයක් විශාල නිවසක එකට ජීවත් වුණා. සමහර නිවෙස් ඉදි කර තිබෙන්නේ ලී, උණබට සහ උක්කෙඳි වැනි දේවල් යොදාගෙන ඉතා අලංකාරවත් ලෙසයි. ඒවායෙහි ලී දඩු එකට සවි කිරීමට ඔවුන් ඇණ භාවිත කරන්නේ නැහැ. එම නිවෙස්වල දක්නට ලැබෙන තවත් සුවිශේෂත්වයක් වන්නේ වහල දෙකෙළවර ඉහළට එසවී තිබීමයි. සමහර නිවෙස්වල පවුල් 12ක් පමණ එකට ජීවත් වී ඇති අතර අදටත් අවුරුදු 300ක් තරම් පැරණි නිවෙස් දකින්න ලැබෙනවා. ඔවුන් තම නිවෙස් තනන්නේ උස් ලී කඳන් මතයි. ඒ නිසා නිවස හා පොළොව අතර තිබෙන හිඩස ඔවුන් කුකුලන්, ඌරන්, බල්ලන් විතරක් නෙවෙයි හරකුන් හා මීහරකුන් වැනි සතුන් ඇති කිරීමටද යොදාගන්නවා.

ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ බෝග වගාව, ධීවර කර්මාන්තය, සත්ව පාලනය හා සංචාරක කර්මාන්තයයි. මනරම් ටෝබා විල ධීවරයන්ට කදිම තෝතැන්නක් වී ඇති අතර එය වට කරගෙන ඇති අලංකාර මෙන්ම ඉතා සශ්‍රීක කඳු වළල්ල ගොවීන්ට නම් පාරාදීසයක්. කඳු පාමුල සිට ඉහළට හෙල්මලු ක්‍රමයට වගා කළ ගොයම නිලට නිලේ දිස්වෙනවා. ඊට අමතරව කෝපි, පලතුරු වර්ග හා සුළු අපනයන බෝගද සරුවට වැවී තිබෙනවා.

දවස අවසානයේදී දරුවන් ටෝබා විලට පැන කෙළි සෙල්ලම් කරන ආකාරයත්, වැඩිහිටියන් කඩමණ්ඩිවලට ගොඩ වී සතුටු සාමිච්චියේ යෙදෙන ආකාරයත් මෙහි නුහුරු දසුනක් නොවෙයි. ඒ අතරම අඳුර වැටීගෙන එන විට හමන සිසිල් සුළං සමඟ මුසු වී එන මියුරු සංගීතයද ඔවුන්ට නම් සාමාන්‍ය දෙයක්. ඉතා හැඟීම්බර ගීත ගැයීමට බටාක් ගෝත්‍රිකයන් හරිම ප්‍රසිද්ධයි. එමෙන්ම නර්තනයටත් ඔවුන් ඉතා කැමතියි. නමුත් ඔවුන් එසේ කරන්නේ ගැහැනු පිරිමි වෙන වෙනමයි.

අමිහිරි අතීතයක්

මාකෝ පෝලෝගේ සංචාරයේ සිට 19වන සියවස දක්වා තිබූ සමහර වාර්තාවල සඳහන් වන්නේ බටාක් ගෝත්‍රිකයන් තම සතුරු ජාතීන්ගේ හා අපරාධකරුවන්ගේ මස් අනුභව කළ කෲර ජාතියක් බවයි. කෙසේනමුත් ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක් වන ලෙනාඩ් වයි. ආන්ඩායා මෙවැනි දෙයක් පවසනවා. “ආක්‍රමණිකයන්ව බිය වැද්දීම සඳහා මිනී මස් කෑම පිළිබඳ තොරතුරු සමහරවිට බටාක් ගෝත්‍රිකයන් විසින්ම ප්‍රසිද්ධ කළා විය හැකියි.” කෙසේනමුත් “19වන සියවසේදී තම පාලනය යටතේ තිබූ රටවල් තුළ මිනී මස් කෑම ලන්දේසීන් විසින් තහනම් කළ බව” එක් පොතක වාර්තා වෙනවා.—The Batak—Peoples of the Island of Sumatra.

බටාක් ගෝත්‍රිකයන් දෙවි දේවතාවන්ට වගේම ගස් ගල්වලටත් නමස්කාර කරනවා. පුද පූජා පැවැත්වීම, පේන කීම, මළවුන්ගෙන් විචාරීම හා මන්තර ගුරුකම් වැනි දේවලද ඔවුන් හවුල් වෙනවා. අනවින, ශාස්ත්‍ර හා යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධ තොරතුරු අඩංගු ලියවිලි, ගස්වලින් ලබාගත් දීර්ඝ පොතුවල ලියා තිබෙනවා. සමහර ඒවා අඩි 50ක් තරම් දිග වන අතර සර්පිනාවේ රැලි හා සාමාන හැඩයට ඒවා නවා තිබෙනවා. විවිධ හැඩවැඩ දැමූ රෙදි ඔවුන් වියන අතර ඒවා භාවිත කරන්නේ භූතයන්ගෙන් ආරක්ෂා වීමට හා අනාගතය ගැන දැනගැනීමටයි.

වාර්තාවලට අනුව බටාක් ගෝත්‍රිකයන්ගේ ප්‍රදේශයට පැමිණි මුල්ම මිෂනාරිවරුන් වූයේ බැප්ටිස් ආගමට අයත් ආර්. බර්ටන් සහ එන්. වෝඩ් යන අයයි. ඒ 1824දීයි. ඊට අවුරුදු දහයකට පසු ලන්දේසීන් ආක්‍රමණය කළ කාලයේදී එච්. ලයිමන් හා එස්. මන්සන් යන ඇමරිකානු ජාතික මිෂනාරිවරුන් දෙදෙනාද එහි පැමිණි අතර වැඩි කල් යන්න කලින් ඔවුන්ව ඝාතනය කර තිබෙනවා. තවත් කතෝලික මිෂනාරිවරුන් දෙදෙනෙක් ඒ ප්‍රදේශයට පැමිණි අතර ඔවුන්ද එම තත්වයටම මුහුණ දෙන්න ඇති.

කෙසේනමුත් 1862දී පැමිණි ජර්මානු ජාතික ලුඩ්විග් නොමෙන්සන්ගේ ජීවිතයට තර්ජනයක් නොවූ අතර ඔහු බටාක් ජනයා සමඟ සහයෝගයෙන් කටයුතු කළා. බටාක් ජනයා අදටත් ඔහුව ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරන්නේ ඒ නිසයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් මුල් මිෂනාරිවරුන් ගෙනා ආගම් වැලඳගෙන තිබෙනවා. අනික් අය ඉස්ලාම් භක්තිකයන් වන අතර ගස් ගල්වලට නමස්කාර කරන අයද සිටිනවා. ඔවුන් කුමන ආගමක් වැලඳගත්තත් බොහෝදෙනෙක් තවමත් ඔවුන්ගේ පාරම්පරික ආගමික සිරිත් විරිත් අත්හැර නැහැ.

බටාක් වෙත ශුභාරංචිය පැමිණෙයි

දේවරාජ්‍ය පිළිබඳ ශුභාරංචිය “ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබන” බව යේසුස් පැවසුවා. (මතෙව් 24:14) බටාක් ගෝත්‍රිකයන්ට එම ශුභාරංචිය අසන්න ලැබුණේ 1936දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එහි පැමිණි අවස්ථාවේදීයි. ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙක් බයිබලයේ ඉගැන්වීම් පිළිගෙන තම මිත්‍යා විශ්වාසයන් අත්හැර තිබෙනවා. දැන් එහි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 30ක් පමණ තිබෙනවා.— මෙහි සඳහන් කොටුව බලන්න.

මමත් මගේ බිරිඳත් ඒ ප්‍රදේශයේ ශුභාරංචිය ප්‍රකාශ කරන විට අපිට නිතර දෙවේලේ විදේශිකයන්ව මුණ ගැසෙනවා. ටෝබා විලෙහි ඇති අලංකාරය දැක ඔවුන් පුදුම වෙනවා. ඇත්තෙන්ම අපිත් ඊට එකඟයි. නමුත් එයට සැබෑ අලංකාරයක් ලැබෙන්නේ එහි සිටින හරිම මිත්‍රශීලී බටාක් වැසියන් නිසා බව ඔවුන්ට පවසන්නද අපි අමතක කරන්නේ නැහැ.

[17වන පිටුවේ කොටුව]

 ලෝදිය වළක සෑදුණු සිසිල් විලක්

ටෝබා විල දිගින් කිලෝමීටර් 87ක් හා පළලින් කිලෝමීටර් 27කින් යුක්තයි. එහි ඇති ජලය, එක්සත් රාජධානිය අඩි තුනක් පමණ උසට වැසීමට තරම් ප්‍රමාණවත් බව ගණන් බලා තිබෙනවා. මෙම ආකර්ෂණීය විල පිහිටා තිබෙන්නේ බැරිසන් කඳු යායේම කොටසකයි. මනරම් දසුන් මවනා මෙම විල ඡායාරූප ශිල්පීන්ට නම් පාරාදීසයක්!

මෙම විල නිර්මාණය වී තිබෙන්නේ මහා පරිමාණයේ ගිනි කඳු පිපිරීම් එකක හෝ කිහිපයක ප්‍රතිඵලයකින් ඇති වූ අති දැවැන්ත විවරයක් නිසයි. විද්‍යාඥයන් පවසන ආකාරයට ඉතිහාසයේ මෙතෙක් සිදු වී ඇති දරුණුතම ගිනි කඳු පිපිරීම මෙය විය හැකියි. ටෝබා විල ඇති වුණේ එම දැවැන්ත විවරයේ ජලය එකතු වීමෙනුයි. එමෙන්ම පසු කාලවලදී මෙහි මැද තිබෙන සුන්දර සමෝසි දූපත බිහි වී තිබෙන්නේ විල් පතුලේ ඇති වූ යම් යම් කැලඹිලිකාරී තත්වයන්වල ප්‍රතිඵලයක් ලෙසයි. එය වර්ග කිලෝමීටර් 647ක් පමණ විශාලත්වයකින් යුක්ත වන අතර වෙනත් ආකාරකින් පැවසුවහොත් සිංගප්පූරුවේ විශාලත්වයට සමානයි.

[18වන පිටුවේ කොටුව]

සෞම්‍ය දේශගුණික පාරාදීසයක්

ටෝබා විල පිහිටා තිබෙන්නේ සමකයට කිලෝමීටර් 300ක් වැනි දුරකින් වුණත් එහි පවතින්නේ ඉතාමත් සෞම්‍ය දේශගුණයක්. ඊට හේතුව එය මුහුදු මට්ටමේ සිට අඩි 3,000ක් පමණ උසකින් පිහිටා තිබීමයි. ඉතා සශ්‍රීකව වැඩී තිබෙන පාම් සහ පයින් ගස් මේ පාරාදීසයේ අලංකාරය තවත් වැඩි කරනවා.

මේ විල විවිධ සත්ව විශේෂයන්ට දේශ සීමාවක්ද වී තිබෙනවා. උදාහරණයකට එහි උතුරු ප්‍රදේශයේ ඔරං ඔටන්, ගිබන් හා වෙනත් වඳුරු විශේෂයන් දැකගත හැකි අතර දකුණින් ටැපියර් ලෙස හඳුන්වන සොඬ ඌරන්, උණහපුළු විශේෂයන් වගේම තවත් වඳුරු විශේෂයන්ද දැකගත හැකියි.

[19වන පිටුවේ කොටුව⁄පින්තූරය]

 මිත්‍යාවේ සිට සත්‍යය කරා

නුර්ශියා, බටාක් ජාතික කාන්තාවක්. ඇය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරමින් “මළවුන්” සමඟ කතා කර තිබෙන අතර ඉන් විශාල මුදලක්ද ඉපැයුවා. * ඒ අතරම ඇය රෙපරමාදු පල්ලියේ පිළිගත් සාමාජිකාවක්ද වුණා.

දිනක් ඇයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණු අතර දෙවිගේ නම යෙහෝවා බව දැනගැනීමෙන් ඇය පුදුම වුණා. (ගීතාවලිය 83:18) එමෙන්ම පළමු සියවසේදී ක්‍රිස්තියානීන් බවට පත් වූ බොහෝදෙනෙක් දෙවිට පිළිගත හැකි ආකාරයකින් සේවය කිරීම සඳහා ඔවුන් මන්තර ගුරුකම්වල නියැලී සිටි කාලයේදී භාවිත කළ පොත් පත් පුලුස්සා දැමූ බව ඇය බයිබලයෙන් ඉගෙනගත්තා. (ක්‍රියා 19:18, 19) කුමන අභියෝගයක් ආවත් ඇයටත් ඕනෑ වුණේ ඒ දෙයම කිරීමටයි. “සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා” යන යේසුස්ගේ වදන් විශ්වාස කරමින් ඇයත් ඒ සියලු දේවල් විනාශ කර දැමුවා.—යොහන් 8:32.

දැන් ඇයත් ඇගේ පුතා වන බෙස්ලිත් යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වී සේවය කරනවා. ඇගේ ස්වාමිපුරුෂයාත් දැන් නොකඩවා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙනවා. නුර්ෂියා ඒ ගැන පවසන්නේ මෙසේයි. “මම දැන් සේවය කරන්නේ යෙහෝවා දෙවිට නිසා මගේ ජීවිතය හුඟක් හොඳ අතට හැරිලා තියෙනවා. මම යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරන කාලයේත් සත්‍යය මොකක්ද කියලා දැනගන්න හරි ආශාවෙනුයි හිටියේ. දැන් මට හරිම සතුටුයි.”

[පාදසටහන]

^ 31 ඡේ. මෙම සඟරාවේ 20වන පිටුවේ සඳහන් “බයිබලයෙන් පිළිතුරක්: භූතයන් කියන්නේ කාටද?” යන ලිපිය බලන්න.

[පින්තූරය]

නුර්ෂියා, ස්වාමිපුරුෂයා හා පුතා සමඟ

[16වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

සුමාත්‍රා

ටෝබා විල

[හිමිකම් විස්තර]

Based on NASA/​Visible Earth imagery

[16, 17වන පිටුවල පින්තූරය]

පුසුක් බුහිට් කඳු බෑවුමේ සිට ටෝබා විල දිස් වන ආකාරය

[18වන පිටුවේ පින්තූරය]

ටෝබා විලට උතුරින් පිහිටා තිබෙන අඩි 306ක් උස සිපිසොපිසෝ දිය ඇල්ල