Skip to content

පටුනට යන්න

භූතයන් කියන්නේ කාටද?

භූතයන් කියන්නේ කාටද?

බයිබලයෙන් පිළිතුරක්

භූතයන් කියන්නේ කාටද?

මිනිසුන්ට නොපෙනෙන යම් බලවේගයන් පවතින බව බොහෝ ආගම්වලින් උගන්වනවා. එවැනි බලවේග යක්ෂයන්, භූතයන්, පෙරේතයන්, අවතාර, හොල්මන් වැනි නම්වලින් හඳුන්වනවා. තවත් අය ඒවා විශ්වාස කරන්නේ නැහැ. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද?

නොපෙනෙන පුද්ගලයන් සිටින බව බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට යෙහෝවා දෙවිද ඔහු නිර්මාණය කළ දේවදූතයන්ද අපට පෙනෙන්නේ නැහැ. (යොහන් 4:24; හෙබ්‍රෙව් 1:13, 14) ඊට අමතරව අපට නොපෙනෙන දුෂ්ට පිරිසක් සිටින අතර බයිබලයේ ඔවුන්ව හඳුන්වන්නේ භූතයන් කියායි. (1 කොරින්ති 10:20, 21; යාකොබ් 2:19) ඔවුන් කවුද? ඔවුන්ව නිර්මාණය කළේ දෙවිද?

“පව් කළ දේවදූතයන්”

දේවදූතයන්ව නිර්මාණය කළ විට දෙවි ඔවුන්ට තීරණ ගැනීමේ නිදහස ලබා දුන් නිසා හරි හෝ වැරදි තීරණ ගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණා. නමුත් කනගාටුදායක ලෙස ඔවුන්ගෙන් යම් පිරිසක් දෙවිට විරුද්ධව කැරලිගැසීමට තීරණය කළා. එය සිදු වුණේ දෙවි මිනිසාව නිර්මාණය කර කලක් ගත වූ පසුවයි.

එසේ කළ පළමු තැනැත්තා සාතන් බවට පත් වුණා. “ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (යොහන් 8:44) ඔහු දෙවිට විරුද්ධ වුණේ ඇයි? සියලු දේවල නිර්මාතෘ ලෙස දෙවිට පමණක් අයිති නමස්කාරය ලබාගැනීමට ඔහුට තිබූ ආශාවයි. එම ආශාව ඉටු කරගැනීමට මොන යම් ක්‍රමයක් හෝ භාවිත කිරීමට ඔහු උත්සාහ කළා. එසේ කිරීමෙන් ඔහු ඔහුවම සාතන් බවට පත් කරගත්තා. “සාතන්” යන වචනයේ අර්ථය “විරුද්ධකාරයා” යන්නයි. ශත වර්ෂ ගණනාවකට පසුව එනම් නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මට පෙර තවත් දේවදූත පිරිසක් සාතන් සමඟ එක් වුණා. ස්වර්ගයේ ඔවුන්ට තිබූ වාසස්ථානය හා දෙවි පවරා තිබූ වගකීම් අත්හැර මිනිස් ශරීර මවාගෙන පොළොවට පැමිණියා. (උත්පත්ති 6:1-4; යාකොබ් 1:13-15) කෙසේනමුත් ‘පව් කළ මෙම දේවදූතයන්’ ජලගැල්ම ඇති වූ විට නැවතත් ස්වර්ගයට ගියා. (2 පේතෘස් 2:4; උත්පත්ති 7:17-24) එතැන් සිට ඔවුන්ව හඳුන්වන්නේ භූතයන් ලෙසයි.—ද්විතීය කතාව 32:17; මාක් 1:34.

නැවතත් ස්වර්ගයට ගිය අකීකරු වූ දේවදූතයන් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “තමන්ට පවරා තිබූ සේවා ප්‍රස්තාව රැකගන්නවා වෙනුවට තමන්ට නියමිත වාසස්ථානය අත්හැර ගිය දේවදූතයන්ට සිදු වූ දේද සිහිගන්වන්න කැමැත්තෙමි. මහත් දවසේදී විනිශ්චය ලබන තුරු ඔවුන්ව සදාකාලික බැඳුම්වලින් ඝනාන්ධකාරයෙහි බැඳ තබා ඇත.” (යූද් 6) ඔවුන් නැවතත් ස්වර්ගයට යෑමට උත්සාහ කළත් දෙවි ඊට ඉඩ දුන්නේවත් ඔවුන් කලින් භුක්ති විඳි වරප්‍රසාද කිසිවක් ලැබුණේවත් නැහැ. දැන් ඔවුන්ව “ඝනාන්ධකාරයෙහි බැඳ” තබා තිබෙනවා. ඒ නිසා දැන් ඔවුන්ට දෙවි සමඟ කිසිම සම්බන්ධතාවක් නැහැ.

‘මුළු පොළොවම නොමඟ යවමින්’

නැවතත් මිනිස් ශරීර නිර්මාණය කරගෙන මේ පොළොවේ වාසය කිරීමට ඔවුන්ට අවසර නැති වුණත් මිනිසාගේ ජීවිතවලටත් ඔවුන්ගේ ආකල්පවලටත් ඔවුන් බොහෝ සේ බලපෑම් කරමින් ‘මුළු පොළොවම නොමඟ යවමින්’ සිටිනවා. (එළිදරව් 12:9; 16:14) ඔවුන් එය කරන්නේ ඔවුන්ගේ “ඉගැන්වීම්” මාර්ගයෙනුයි. (1 තිමෝති 4:1) බොහෝදුරට ඒවාට බොරු ආගමික ඉගැන්වීම් අයත් වෙනවා. ඒ නිසා මිලියන ගණනක් දෙනාට දෙවි ගැන සැබෑ තොරතුරු දැනගැනීමට නොහැකි වී තිබෙනවා. (2 කොරින්ති 4:4) ඉන් සමහරක් සලකා බලමු.

අමරණීය ආත්මය. කෙනෙක් මිය ගියත් ඔහුගේ ශරීරයෙන් නොනැසී පවතින යමක් පිට වෙනවා යන වැරදි ඉගැන්වීම සත්‍යයක් බව පෙන්වීමට ඔවුන් උත්සාහ කරනවා. ඒ සඳහා මිය ගිය අය මෙන් පෙනී සිටීමට, ඔවුන් මෙන් කතා කිරීමට හෝ හොල්මන් හා අවතාර ලෙස පෙනී සිටීමට ඔවුන් උත්සාහ කරනවා. එමගින් ඔවුන් උත්සාහ කරන්නේ මිය ගිය අයට ජීවත්ව සිටින අය සමඟ කතා කළ හැකි බව ඔප්පු කිරීමටයි. නමුත් බයිබලයේ සඳහන් වන්නේ “මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියායි. (දේශනාකාරයා 9:5, 6) දෙවිට ප්‍රශංසා කිරීමටවත් ඔවුන්ට හැකියාවක් නැහැ.—ගීතාවලිය 115:17. *

සදාචාරය බිඳ වැටීම. “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්” බව බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 5:19) ඒ නිසා සාතන් හා ඔහුගේ භූතයන් තමන්ගේ බලය යටතේ ඇති විවිධ මාධ්‍යයන් යොදාගනිමින් මිනිසුන්ට ‘තමන්ගේ ආශාවන් ඉටු කරගැනීමට කුමක් කළත් කමක් නැහැ’ යන ආකල්පය ඇති කර තිබෙනවා. (එෆීස 2:1-3) මේ නිසා නුසුදුසු ලිංගික හැසිරීම් දසත පැතිරී තිබෙනවා. බොහෝ අය ඒවා සලකන්නේ සාමාන්‍ය දේවල් ලෙසයි. එමෙන්ම බයිබලයේ තිබෙන උසස් ප්‍රමිති අදට නොගැළපෙන බවත් ඔවුන් කියා සිටිනවා.

භූතයන් හා සම්බන්ධ ක්‍රියා. එක් අවස්ථාවකදී ‘භූතයෙකු වැසී සිටි තරුණියක්ව’ දෙවිගේ සේවකයෙකු වූ පාවුල්ට හමු වුණා. ‘ඇයට භූතයෙකු වැහී සිටි නිසා ඇයට පේන කීමේ හැකියාවක් තිබුණා. එම හැකියාව නිසා ඇගේ ස්වාමිවරු ඇය මාර්ගයෙන් බොහෝ මිල මුදල් උපයාගත්තා.’ (ක්‍රියා 16:16) එම භූත බලපෑම නිසා පාවුල් ඇයට සවන් දීමටවත් කැමති වුණේ නැහැ. ඊට අමතරව ජ්‍යෝතිඃ ශාස්ත්‍රය හා පේන කීම වැනි භූතයන්ට සම්බන්ධ දේවල් සම්පූර්ණයෙන්ම දෙවි හෙළාදකින නිසා දෙවිව අසතුටු කිරීමට පාවුල් කැමති වුණේ නැහැ.—ද්විතීය කතාව 18:10-12.

භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න

ඔබට භූතයන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද? “දෙවිට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 4:7) සාතන් හා භූතයන්ගේ කපටි “උපායන්” මොනවාද කියා හඳුනාගත හැකි වන්නේ බයිබලය අධ්‍යයනය කිරීමෙන් පමණයි. ඒ නිසා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් දෙවිට ළං වීමටත් භූතයන්ට විරුද්ධ වීමටත් ඔබට හැකියි. (එෆීස 6:11; 2 කොරින්ති 2:11) භූතයන්ටත් දෙවිට විරුද්ධ වන සියලුදෙනාටත් අනාගතයේදී සිදු වන දේ ගැන බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. (රෝම 16:20) එමෙන්ම මෙම පොරොන්දුවත් එහි දී තිබෙනවා. “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය. පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි.”—හිතෝපදේශ 2:21.

[පාදසටහන]

^ 11 ඡේ. මිය ගිය අයගේ තත්වය මෙන්ම ඔවුන්ට ඇති බලාපොරොත්තුව ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 6 සහ 7වන පරිච්ඡේද බලන්න.

මේ ගැන ඔබ සිතුවාද?

● භූතයන්ව නිර්මාණය කළේ දෙවිද?—2 පේතෘස් 2:4.

● අපට මිය ගිය අය සමඟ කතා කළ හැකිද?—දේශනාකාරයා 9:5, 6.

● ඔබට භූතයන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?—යාකොබ් 4:7.

[21වන පිටුවේ පින්තූරය]

විවිධ ක්‍රම තුළින් මිනිසුන්ව මුළා කිරීමට භූතයන් උත්සාහ කරයි