Skip to content

පටුනට යන්න

ශක්තිමත් නමුත් හීලෑ ෂෙට්ලන්ඩ් පෝනියා

ශක්තිමත් නමුත් හීලෑ ෂෙට්ලන්ඩ් පෝනියා

ශක්තිමත් නමුත් හීලෑ ෂෙට්ලන්ඩ් පෝනියා

● ඔබ කවදා හරි මේ වගේ හුරුබුහුටි පෝනියන්ව දැක තිබෙනවාද? ස්කොට්ලන්තයට උතුරින් පිහිටා තිබෙන ෂෙට්ලන්ඩ් දූපත් උන්ගේ නිජබිමයි. ෂෙට්ලන්ඩ් පෝනියා යන නමින් උන්ව හඳුන්වන්නේ ඒ නිසයි. එම දූපත්වල කළ පුරාවිද්‍යාත්මක කැණීම්වලින්ද අවුරුදු දහස් ගණනක් පැරණි මෙවැනි කුඩා පෝනියන්ගේ අස්ථි සොයාගෙන තිබෙනවා.

කෙටි පාද, දිගු වලිගය මෙන්ම ලස්සනට කඩාහැලෙන උන්ගේ කේශර නිසා උන්ව පහසුවෙන්ම හඳුනාගත හැකියි. එමෙන්ම අධික ශීත දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයෙන් ශරීරය පුරා ඝනකමට වැඩුණු මවිල් නිසාද උන් කැපී පෙනෙනවා. බොහෝවිට කලු පාට හෝ තද දුඹුරු පාටට හුරු මෙම පෝනියන්ගේ උස අඟල් 28ත් 42ත් අතර ප්‍රමාණයකින් යුක්තයි. නමුත් ඇමරිකාවේ බෝ කරන ඇමරිකන් ෂෙට්ලන්ඩ් යන පෝනි විශේෂයේ උපරිම උස අඟල් 46යි.

උන්ගේ සැකැස්ම අතින් උන් කුඩා වුණත් ශක්තිය අතින් නම් කිසි අඩුවක් නැහැ. උන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව බලන විට උන් අනිකුත් අශ්ව විශේෂයන්ට වඩා ශක්තිමත් කියා කිව හැකියි. අතීතයේ සිටම උන්ව කෙත්වතු සීසෑම වැනි බර වැඩ සඳහා යොදාගත්තේ ඒ නිසයි. විශේෂයෙන්ම ගල් අඟුරු පතල්වල වැඩ සඳහා උන්ව යොදාගත්තේ ඒවායෙහි කුඩා උමං මාර්ගවල උන්ට පහසුවෙන්ම ගමන් කිරීමට හැකි වූ නිසයි. එවැනි උමං තුළ සිටි බොහෝ පෝනියන් මුළු ජීවිත කාලයටම හිරු එළිය දුටුවේ නැහැ.

හරිම හීලෑ මෙම සතුන් හොඳින් පුහුණු කළ විට උන්ගෙන් දරුවන්ටද කිසිම හානියක් නැහැ. විවිධ ආබාධවලට ලක් වී ඇති අයගේ සුවසෙත වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන්වලදී මෙම පෝනි විශේෂයද ඒවාට යොදා ගන්නේ උන් හරිම සන්සුන් සත්ව විශේෂයක් නිසයි.

ඉතා ප්‍රියමනාප මෙන්ම හීලෑ සතෙක් වන ෂෙට්ලන්ඩ් පෝනියා ඉක්මනින්ම ඕනෑම පරිසරයකට හුරු වන නිසා ලොව පුරා විවිධ රටවලට උන්ව යවා තිබෙනවා. එමෙන්ම නොයෙකුත් රටවල උන්ව බෝ කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. උන් කොහේ සිටියත් උන්ගේ නිජබිමේ නම උන්ගේ වාසගම මෙන් රැගෙන යනවා. ඉතා ශක්තිමත් මෙන්ම හීලෑ මෙම සතුන්ව ෂෙට්ලන්ඩ් දූපත්වලදී අදටත් ඔබට දැකගත හැකියි.

[24වන පිටුවේ පින්තූරය]

උන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව අනිකුත් අශ්ව විශේෂයන්ට වඩා උන් ශක්තිමත්

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© S Sailer/A Sailer/age fotostock