Skip to content

පටුනට යන්න

සහෝදර සහෝදරියන් එක්ක සාමයෙන් ඉන්නේ කොහොමද?

සහෝදර සහෝදරියන් එක්ක සාමයෙන් ඉන්නේ කොහොමද?

යෞවන අය අසති

සහෝදර සහෝදරියන් එක්ක සාමයෙන් ඉන්නේ කොහොමද?

ඔබේ සහෝදර සහෝදරියන් සමඟ ඔබට තිබෙන සම්බන්ධතාව මොන වගේද?

․․․․․ කිට්ටු මිතුරුකමක්

․․․․․ සාමාන්‍ය මිතුරුකමක්

․․․․․ අතේ දුරින් ආශ්‍රයක්

․․․․․ නිතරම රණ්ඩු වෙනවා

සමහර සහෝදර සහෝදරියන් අතර කිට්ටු බැඳීමක් තියෙනවා. දහනව හැවිරිදි ෆිලීෂියා ඒ ගැන මෙහෙම කියනවා. * “මගේ නංගි තමයි මගේ හොඳම යාළුවා.” ඒ වගේම කොරීන් ඇගේ 20 හැවිරිදි අයියා ගැන කියන දේ බලන්න. “අපි කවදාවත් රණ්ඩු වෙන්නේ නැහැ.”

අනික් අතට ලෝරන් ඇගේ සහෝදරිය ගැන මෙහෙම කියනවා. “පොඩි දේට වුණත් අපි රණ්ඩු වෙනවා.” ඒ වගේම ඇලිස් ඇගේ 14 හැවිරිදි අයියා ගැන කියන්නේ මේ වගේ දෙයක්. “වෙලාවකට මට එපා වෙනවා. එයා මගේ කාමරේට ඇවිල්ලා හිතුමතේට දේවල් ගන්නවා. සමහර වෙලාවට එයා වැඩ කරන්නේ පොඩි ළමයෙක් වගෙයි.”

ඔබටත් සහෝදර සහෝදරියන් ඉන්නවාද? ඔවුන් එක්ක පෑහී කටයුතු කරන්න ඔබට අපහසුද? නිවසේ සාමය ඇති කිරීමේ මූලික වගකීම තිබෙන්නේ ඔබේ දෙමාපියන්ටයි. නමුත් අන් අය සමඟ පෑහී කටයුතු කිරීමට ඉගෙනගැනීමේ වගකීමක් ඔබටත් තිබෙනවා. ඒ සඳහා හොඳම කාලය නිවසේ සිටින අවදියයි.

ඔබ අතර ගැටුම් ඇති වූ අවස්ථා ගැන මදක් සිතන්න. වැඩි හරියක්ම ප්‍රශ්න ඇති වුණේ ඇයි? පහත දැක්වෙන ලැයිස්තුවේ එම හේතුව තිබේ නම් එය ඉදිරියෙන් ✔ ලකුණ දමන්න. එහෙම නැත්නම් අදාළ හේතුව එහි සටහන් කරගන්න.

මට අයිති දේවල්: අවසර නැතුව මගේ දේවල් ගන්නවා.

එකඟ නොවීම්: නිතරම හිතන්නේ තමා ගැන විතරයි. හැම වෙලාවෙම මාව පාලනය කරන්න හදනවා.

මගේ නිදහස: අවසර නැතුව මගේ කාමරයට එනවා. මගේ ඊ-මේල්, SMS පණිවුඩ කියවනවා.

වෙනත් හේතු. ․․․․․

ඔබේ සහෝදරයා හෝ සහෝදරිය ඔබට කරදර කරනවා නම් හෝ ඔබව පාලනය කරන්න හදනවා නම් ඔබට අමනාපයක් ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී බයිබලයේ ඇති මේ අදහස ගැනත් සිතන්න. “නාසය තදින් මිරිකන විට ලේ ගලයි. කෝපය පිට කිරීමෙන් ආරවුල් ඇති වෙයි.” (හිතෝපදේශ 30:33) ඉන් අදහස් කරන්නේ දිගින් දිගටම ඔබ අමනාපයෙන් සිටිනවා නම් අවසානයේදී ඔබ කෝපයෙන් කටයුතු කරන්න පෙලඹිය හැකි බවයි. එවිට ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි. (හිතෝපදේශ 26:21) එසේනම් එවැනි ආරවුලක් වළක්වාගන්නේ කොහොමද? පළමුව ගැටලුවට මුල හඳුනාගන්න.

ගැටලුවට මුල

සහෝදර සහෝදරියන් අතර ඇති වන ගැටලු හරියට කුරුලෑවක් වගෙයි. කුරුලෑවක් හටගන්නේ සම යට සිදු වන පැසවීමකින් වුණත් අපිට පෙනෙන්නේ කුරුලෑව පමණයි. ඒ හා සමානව සහෝදර සහෝදරියන් අතර ගැටලුවක් මතු වන විටද එයට මූලික වන හේතුවක් තිබෙනවා.

සම යට තිබෙන පැසවීමට ප්‍රතිකාර නොකර කුරුලෑව පමණක් මිරිකා දැමුවොත් තත්වය උග්‍ර වී තුවාලයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නැණවත්ම දෙය වන්නේ පැසවීමට ප්‍රතිකාර කර කුරුලෑ ඇති වීම වැළැක්වීමයි. ඒ හා සමානව ඔබ අතර ගැටලුවක් ඇති වූ විට ඊට මූලික වූ හේතුව තේරුම්ගැනීමට උත්සාහ කරන්න. අතීතයේ සිටි ප්‍රඥාවන්ත සලමොන් රජු මෙවැනි දෙයක් පැවසුවා. “වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි.” (හිතෝපදේශ 19:11අ) ඔබත් එය අදාළ කරගැනීමට උත්සාහ කරන්න.

කලින් සඳහන් කළ ඇලිස් ඇගේ අයියා ගැන පැවසූ දේ ඔබට මතකද? “එයා මගේ කාමරේට ඇවිල්ලා හිතුමතේට දේවල් ගන්නවා.” අනිවාර්යයෙන්ම එවැනි දේවල් නිසා ගැටලු ඇති වෙනවා. නමුත් ඊට මූලික හේතුව හඳුනාගන්න පුළුවන්ද? බොහෝදුරට ඊට හේතුව එකිනෙකාට ගෞරව නොකිරීම විය හැකියි. *

එක් විසඳුමක් ලෙස අයියාට තමාගේ කාමරයට ඇතුල් වීම තහනම් කරන්න ඇලිස්ට පුළුවන්. නමුත් එසේ කිරීමෙන් සිදු වන්නේ ගැටලු වැඩි වීමයි. ඒ නිසා ඇගේ නිදහසට ගරු කරන්න කියාත් ඇගේ පෞද්ගලික දේවල් අවසර නැතුව නොගන්න කියාත් කාරුණිකව අයියාට පහදා දීමෙන් ඔවුන් අතර තිබෙන බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන්.

ප්‍රශ්න විසඳාගන්න හෝ වළක්වාගන්න

නමුත් ගැටලුවට මුල හඳුනාගැනීම පමණක් මදි. ගැටලුව නැවත මතු නොවන ලෙස ඔබට ගත හැකි පියවර හයක් පහත සඳහන් වෙයි.

1. එකඟතාවන්ට පැමිණෙන්න. “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 15:22) ඔබ අතර ගැටලුවක් ඇති වුණේ කුමක් නිසාද කියා කල්පනා කරන්න. ඉන්පසුව ඊට හේතුව තේරුම්ගෙන ඔබ දෙදෙනාටම එකඟ විය හැකි සරල නීති කිහිපයක් සකස් කරගන්න. උදාහරණයකට අවසර නැතුව දේවල් පාවිච්චි කිරීම ගැටලුවක් නම් “වෙන කෙනෙකුට අයිති කිසිම දෙයක් අවසර නැතුව ගැනීමෙන් වළකින්න” යන්න එක් සරල නීතියක් විය හැකියි. ඒ වගේම “අවසර ඉල්ලන විට අවසර නොදීමට අනික් කෙනාට අයිතියක් තිබෙනවා” යන්න තවත් නීතියක් විය හැකියි. මෙම නීති සාධාරණ වෙන්න නම්, “අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද, ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න” යන බයිබල් ප්‍රතිපත්තිය අදාළ කරගැනීම ඉතා වැදගත්. (මතෙව් 7:12) අවසානයේදී ඔබ ගත් තීරණය ගැන ඔබේ දෙමාපියන්ටත් පවසා ඊට ඔවුන්ගේ අවසරයද ලබාගන්න.—එෆීස 6:1.

2. ඔබත් එම නීති පිළිපදින්න. “වෙන අයට උගන්වන ඔබ, ඔබ උගන්වන දේ පිළිපදිනවාද? ‘සොරකම් නොකරන්න’ කියා අනුන්ට දේශනා කරන ඔබ, සොරකම් කරනවාද” කියා බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 2:21) එම ප්‍රතිපත්තිය ඔබට අදාළ වන්නේ කෙසේද? ඔබ කැමති, ඔහු හෝ ඇය ඔබේ කාමරයට එන්න කලින් දොරට තට්ටු කරනවාට නම් ඔබත් එසේම කළ යුතුයි. ඒ වගේම ඊ-මේල් හා SMS පණිවුඩ කියවීමට පෙරද අවසර ලබාගන්න.

3. අමනාප වීමට ඉක්මන් නොවන්න. ඒ ඇයි? “සිත තුළ අමනාපයක් ඇති කරගන්නේ මෝඩයන්ය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 7:9) අමනාප වීමට ඔබ ඉක්මන් වුණොත් ඔබට ප්‍රීතිය අහිමි වෙයි. ඔහු හෝ ඇය ඔබේ සිත රිදෙන දේවල් කීමට හෝ කිරීමට ඉඩ තිබෙන බව ඇත්තයි. එවැනි අවස්ථාවකදී මේ ගැන ටිකක් සිතන්න. මමත් ඔහුට හෝ ඇයට ඒ වගේම දෙයක් කර තිබෙනවාද? (මතෙව් 7:1-5) ජෙනී මෙවැනි දෙයක් පැවසුවා. “මට වයස අවුරුදු 13දී විතර මම හැම තිස්සෙම හිතුවේ මම තමයි හරි කියලා. ඒ නිසා හැමෝම මං කියන දේ අහන්නම ඕනේ කියලත් හිතුවා. දැන් මගේ නංගි ඉන්නේ ඒ වයසේයි. ඒ නිසා එයා මගේ හිත රිදෙන දේවල් කිව්වත් මම ඒ ගැන කලබල වෙන්නේ නැහැ.”

4. සමාව දෙන්න. බරපතළ ගැටලුවක් මතු වූ විට ඒ ගැන කතා කර විසඳුමක් සෙවීම අවශ්‍යයි. නමුත් ඔබේ සහෝදරයා හෝ සහෝදරිය කරන සෑම පුංචි දෙයක්ම ලොකු ගැටලුවක් කරගැනීම අවශ්‍යද? ‘වරදක් අමතක කර දැමීමට’ උත්සාහ කරන විට යෙහෝවා දෙවිද ඒ ගැන සතුටු වෙනවා. (හිතෝපදේශ 19:11ආ) දහනව හැවිරිදි ඇලිසන් මෙහෙම කියනවා. “නංගියි මායි අතර ප්‍රශ්නයක් ඇති වුණාම අපි ඒක ඉක්මනින්ම විසඳගන්නවා. වරදක් වුණාම සමාව ඉල්ලන්නත් අපි ලැජ්ජා වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රශ්නය ඇති වුණේ ඇයි කියන එක ගැනත් අපි කතා කරනවා. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නම් ඒ ගැන කතා කරන්න මම ඉක්මන් වෙන්නේ නැහැ. ඊටපස්සේ ඒක අමතක වෙලා යනවා.”

5. දෙමාපියන්ගෙන් උපකාර පතන්න. යම් වැදගත් කාරණයකදී ඔබටත් ඔබේ සහෝදර සහෝදරියන්ටත් එකඟ වෙන්න අමාරු නම් එවැනි අවස්ථාවකදී දෙමාපියන්ගේ උපකාරය පතන්න. (රෝම 14:19) දෙමාපියන්ගේ උපකාරය නැතුව ඔබට එම ගැටලු විසඳාගත හැකි නම් එය ඉතාමත් වටිනා දෙයක්. එසේ කිරීමෙන් ඔබ පෙන්වන්නේ ඔබට එකිනෙකා සමඟ පෑහී කටයුතු කිරීමටත් බුද්ධිමත් තීරණ ගැනීමටත් හැකි බවයි.

6. හොඳ ගුණාංග අගය කරන්න. ඔබ ප්‍රිය කරන ගුණාංග ඔබේ සහෝදර සහෝදරියන් ළඟ තිබෙන බවට කිසිම සැකයක් නැහැ. එක් එක් කෙනා තුළ තිබෙන, ඔබ අගය කරන ගුණාංගයක් සටහන් කරන්න.

නම කැමති ගුණාංගය

․․․․․ ․․․․․

නිතරම ඔබේ සහෝදර සහෝදරියන්ගේ වැරදි පමණක් සොයන්නේ නැතුව ඔවුන් තුළ යම් හොඳ ගුණාංගයක් දකිනවා නම් ඒ ගැන ඔවුන්ට කියන්න.—ගීතාවලිය 130:3; හිතෝපදේශ 15:23.

ජීවිතයේ අනිවාර්යය දෙයක්: ඔබ නිවසින් පිට වී ගිය පසු ඔබේ අසල්වාසීන්, රැකියා ස්ථානයේ අය හෝ වෙනත් අය සමඟ ඔබට වැඩ කිරීමට සිදු වෙයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තමන් ගැන පමණක් සිතන අය නිසා ඔබේ සිත රිදෙන අවස්ථා බොහොමයකට මුහුණ දීමට ඔබට සිදු වෙයි. නමුත් ඔබ නිවසේදී එවැනි තත්වයන් සමඟ කටයුතු කර තිබෙනවා නම් එවැනි තත්වයන්ට මුහුණ දීම ඔබට ගැටලුවක් නොවෙයි. ඒ නිසා ඔබේ සහෝදරයා හෝ සහෝදරිය සමඟ පෑහී කටයුතු කිරීමට ඔබ ගන්නා උත්සාහය අපතේ යන්නේ නැහැ.

සමහර අවස්ථාවලදී ඔබේ සහෝදරයා හෝ සහෝදරිය ඔබේ කිට්ටුම මිතුරා නොවෙන්න පුළුවන්. බයිබලයේ පවා ඒ ගැන සඳහන් වෙනවා. (හිතෝපදේශ 18:24) නමුත් ඔබේ සහෝදරයා හෝ සහෝදරිය සමඟ ‘අමනාප වීමට සාධාරණ හේතු තිබුණත්’ ඔබ ‘ඔවුන් ගැන ඉවසීමෙන්’ කටයුතු කරනවා නම් බොහෝදුරට ඔබ අතර තිබෙන සබඳතාව වඩාත් ශක්තිමත් වෙයි. (කොලොස්සි 3:13) ඔබ එසේ කරනවා නම් ඔබේ සහෝදර සහෝදරියන් සමඟ සුහදව කටයුතු කිරීමට ඔබට හැකි වෙයි. ඒ වගේම ඔබ සමඟ සුහදව කටයුතු කිරීමට ඔවුන්ටත් පහසු වෙයි.

[පාදසටහන්වල]

^ 8 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

^ 20 ඡේ. පහත සඳහන්  කොටුව බලන්න.

සිතා බලන්න

● ගැටලුවක් මතු වූ විට ඊට මුල් වන හේතුව අවබෝධ කරගැනීම වැදගත් වන්නේ ඇයි?

● ඉහත සඳහන් වන පියවර හයෙන් ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ කුමක් ගැනද?

[27වන පිටුවේ කොටුව]

මුල් වූ හේතුව හඳුනාගන්න

  ප්‍රශ්නයකට මුල් වූ හේතුව කුමක්ද කියා හඳුනාගන්නේ කෙසේද? ඊට උපකාරයක් වශයෙන් ලූක් 15:11-32 සඳහන් අකීකරු පුත්‍රයා පිළිබඳ උපමාව කියවන්න.

මල්ලී නැවත පැමිණි විට අයියා කටයුතු කළ ආකාරය ගැන සිතන්න. පසුව පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

අයියාට කේන්ති ගියේ ඇයි?

ඔබ සිතන ආකාරයට ඊට මුල් වූ හේතුව කුමක්ද?

ගැටලුව විසඳීමට පියා කළේ කුමක්ද?

ගැටලුව විසඳීම සඳහා අයියා කළ යුතුව තිබුණේ කුමක්ද?

ඔබ අතර මෑතකදී ඇති වූ ගැටලුවක් ගැන දැන් සිතන්න. පසුව පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

සිදු වුණේ කුමක්ද?

ඔබ සිතන විදිහට එයට මූලික හේතුව කුමක් විය හැකිද?

ගැටලුව විසඳා එය නැවත සිදු නොවීමට ඔබට ගත හැකි පියවර මොනවාද?

[28වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෞවනයන් පවසන දේ

“මගේ ජීවිත කාලය පුරාවටම නංගිලා දෙන්නා එක්ක යාළුවෝ වගේ ඉන්න මම ආසයි. ඒ නිසා දැන් ඉඳලාම එයාලා එක්ක හොඳින් කටයුතු කරනවා.”

“අපි හුඟක් දේවල් කරන්නේ පවුලක් හැටියටයි. අපි අතර තියෙන එකමුතුකමට ඒක හේතුවක් වෙලා තියෙනවා. දැන් අපි ඉස්සර වගේ රණ්ඩු කරන්නේ නැහැ.”

“නංගි මට වඩා හුඟක් වෙනස්. ඒ වුණත් හැම දේකටම වගේ මට එයාව ඕනේ.”

“මම කැමතිම දේවල් හැම තිස්සේම කරන්නේ නංගියි මල්ලියි එක්කයි. ඔයාටත් සහෝදර සහෝදරියන් ඉන්නවා නම් ඒ අයව අගය කරන්න.”

[පින්තූර]

ටියා

බියැංකා

සැමැන්තා

මැරිලින්

[27වන පිටුවේ පින්තූරය]

ඔබ අතර ඇති වන ගැටලු කුරුලෑවක් වගෙයි. ප්‍රතිකාර අවශ්‍ය කුරුලෑවට නොව එය ඇති වීමට බලපෑ හේතුවටයි