Skip to content

පටුනට යන්න

අඳුරු මනස යළි දැල්වූ ගීතිකාවක්

අඳුරු මනස යළි දැල්වූ ගීතිකාවක්

අඳුරු මනස යළි දැල්වූ ගීතිකාවක්

● පිලිපීනයේ ජීවත්වූ ජූලියානා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළ වයසක සහෝදරියක්. ඇය කලක් ඇල්සයිම රෝගයෙන් පීඩා වින්දා. ඒ නිසා ඇගේම දරුවන්වවත් ඇයට මතක තිබුණේ නැහැ. ඒ වුණත් ඇයව බලන්න යන්න මම අමතක කළේ නැහැ.

ඇය ඇඳටම සීමා වෙලා හිටිය නිසා ජනේලයෙන් එළිය බලාගෙන ඉන්නවා හැරෙන්න වෙන දෙයක් කළේ නැහැ. මම ඇයව බලන්න ගියත් ඇයට මාව මතක තිබුණේ නැහැ. ඇය ඔහේ මා දිහා බලාගෙන හිටියත් මාව හඳුනාගත්තා කියා නම් පුංචි ඉඟියක්වත් ඇගේ මුහුණෙන් දිස් වුණේ නැහැ. මම සාමාන්‍යයෙන් ජූලියානාව බලන්න ගියාම ඇයට සමහර අද්දැකීම් කියනවා. ඒ වගේම “ඔයාට යෙහෝවා දෙවිව මතකද” කියලත් අහනවා. ඒත් කිසිම උත්තරයක් ඇය දෙන්නේ නැහැ. ඒකෙන් තේරෙන්නේ මම කිව්ව කිසිම දෙයක් ඇයට තේරිලා නැහැ කියන එකයි. දවසක් මම ගීතිකාවක් කියන්න පටන්ගත්තා. එදා වුණ දේ නම් හරිම පුදුමයි.

ඒ වෙලාවේ ජූලියානා එක පාරටම මගේ පැත්තට හැරිලා මාත් එක්ක ඒ ගීතිකාව කියන්න පටන්ගත්තා. ඒ ගීතිකාවේ හැම වචනයක්ම මට මතක තිබුණේ නැති නිසා මඟදි මම නතර වුණා. ඒත් ජූලියානා ඒ ගීතිකාවේ පද තුනම මතකයෙන් කිව්වා. ඒ වෙලාවේ මගේ ළඟ හිටිය කෙනාට කියලා මම ඉක්මනට ගීතිකා පොතක් ගෙන්නගත්තා. ඒ ගීතිකාවේ අංකය මම දන්නේ නැති වුණත් එක පාරටම පෙරළුණේ ඒ ගීතිකාවටමයි. ඊටපස්සේ අපි දෙන්නාම ආයෙත් ඒ ගීතිකාව සම්පූර්ණයෙන්ම කිව්වා. තව එකක් කියමුද කියලා ඇහුවාම ඇය පරණ ප්‍රේම ගීතයක් කියන්න පටන්ගත්තා.

එතකොට මම කිව්වා “රේඩියෝ එකේ යන සින්දුවක් නෙවෙයි, අපි රැස්වීම්වලදී කියන ගීතිකාවක්” කියලා. ඊටපස්සේ මම තවත් ගීතිකාවක් කියන්න පටන්ගත්තාම ජූලියානාත් ඒක කිව්වා. ඒ වෙලාවේ ඇගේ මුහුණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා සතුටින් පිරි සිනහවක් දිස් වෙන්න පටන්ගත්තා.

අපි ගීතිකා කියනවා ඇහිලා අහල පහළ අය ජනේලය ළඟට ඇවිත් ඒක අහගෙන හිටියා. ගීතිකාවකින් ඇගේ මනස පිබිදුණ විදිහ නම් හරි පුදුමයි.

ගීතිකාවකින් වුණත් කෙනෙකුගේ අඳුරු මනස නැවත අවදි වෙන්න පුළුවන් කියන පාඩම මම එදා ඉගෙනගත්තා.

ඊට ටික කාලයකට පස්සේ ජූලියානා මිය ගියා. මට ඒ සිද්ධිය ආයේ මතක් වුණේ 2009දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් මුදාහැරිය ඒ අපූරු ගීතිකාවලට සවන් දෙන විටයි. ඒවාට සවන් දෙන්න ඔබත් කැමති නම් ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන විමසන්න.