Skip to content

පටුනට යන්න

ඇමරිකාවේ දඩබිමේ රජා

ඇමරිකාවේ දඩබිමේ රජා

ඇමරිකාවේ දඩබිමේ රජා

අපි මේ කතා කරන්නේ ජගුවර් ගැනයි. ඌ උතුරු හා දකුණු ඇමරිකාවේ වෙසෙන බළල් පවුලට අයත් විශාලතම සත්වයායි. ගන කැලෑවල, ලඳු කැලෑවල, වගුරු බිම් ආශ්‍රිතව පමණක් නොව කාන්තාර ප්‍රදේශවලත් උන්ව දැකගන්න පුළුවන්. බළල් පවුලට අයත් අනික් සතුන්ට වෙනස්ව ජගුවර් ජලයේ පවා දඩයම් කරනවා.

සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු පිරිමි සතෙක් අඩි හයක් පමණ (වලිගය රහිතව) දිගින් යුක්ත වන අතර බර කිලෝග්‍රෑම් 120ක් හෝ ඊට වඩා වැඩියි. හුදෙකලා ජීවිතයකට ප්‍රිය කරන ජගුවර්, සහකාරියක්ව සොයා යන්නේ ප්‍රජනනය කාලයේදී පමණයි. පිරිමි සතෙකු වයස අවුරුදු තුන හෝ හතර වන විටත් ගැහැනු සතෙකු වයස අවුරුදු දෙක පමණ වන විටත් පරිණතභාවයට පැමිණෙනවා. ගැහැනු සතෙකුගේ ගැබ් කාලය මාස තුනක් හෝ හතරක් වන අතර වරකට උන් පැටවුන් දෙදෙනෙකු පමණ බිහි කරනවා. මෙම සතුන් අවුරුදු 20කට වඩා වැඩි කාලයක් ජීවත්වන බව වාර්තා වෙනවා.

උගේ රන්වන් පාට සම මත ඇති පුල්ලි තුළ තවත් කුඩා පුල්ලි පිහිටා තිබෙනවා. ඉන් ඌට අලංකාරය පමණක් නොව ගස්කොළන් අතර නොපෙනී සිටීමටත් හැකියාව ලබා දෙනවා. ඒ ගැන එක් ජීව විද්‍යාඥයෙක් පැවසුවේ “කැලෑවේදී උන් අපි ළඟ හිටියත් හඳුනාගන්න හරි අමාරුයි” කියායි.

සූක්ෂ්ම දඩයක්කරුවෙක්

දඩයම් කිරීමේ ශූරයෙක් වන ජගුවර් මුවන්, වඳුරන් හා සොඬ ඌරන් වැනි විවිධ සතුන් වර්ග 85ක් පමණ ආහාරයට ගන්නවා. ජලයේද දඩයම් කරමින් උන් මසුන් මෙන්ම කැස්බෑවන් පවා අල්ලාගැනීමට සමත්කමක් දක්වනවා. වරක් මෙම සතෙකු ලොකු අශ්වයෙකුව මරා මීටර් 80ක් පමණ දුරක් ඇදගෙන යමින් ගඟක් හරහාද ගොස් ගොදුර කැලයට රැගෙන ගිය බව ඇසින් දුටුවන් වාර්තා කළා.

මේ සූක්ෂ්ම දඩයක්කරු බොහෝ අවස්ථාවලදී ගසක් මතට වී නිසොල්මනේ කුරුමානම් අල්ලමින් සිටින්නේ ගොදුරක් ඩැහැගැනීමටයි. රංචු වශයෙන් පැමිණෙන ඌරන් වැනි සතුන් මතට ක්ෂණිකව කඩාපනින ජගුවර්, එකෙකුව මරා දමා නැවතත් සැණින් ගසට නඟින්නේ කිසිවක් නොවූ ගානටයි. පසුව නිවාඩු පාඩුවේ ගසින් බැස තම ගොදුරේ රස බලයි.

ඌ කොතරම් දක්ෂ දඩයක්කරුවෙක් වුණත් මිනිසුන්ව දඩයම් කළ බවට මෙතෙක් වාර්තා වී නැහැ. ඇත්තෙන්ම කියනවා නම් ඌ මිනිසාට තර්ජනයක් නොව මිනිසා ඌට තර්ජනයක්.

වඳ වී යෑමට හේතු

දැනට වසර 100කට පමණ පෙර උතුරු ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ සිට දකුණු ඇමරිකාවේ දකුණු කෙළවර දක්වා ජගුවන්ව බහුල ලෙස දැකගන්න ලැබුණා. නමුත් අද වන විට ඒ ප්‍රදේශ බොහොමයක උන්ව දැකගන්න ලැබෙන්නේ නැති තරම්. වර්ෂ 1970 ගණන්වල මැදභාගය වන තෙක් උන්ගේ සම් සඳහා උන්ව ඉවක් බවක් නැතුව දඩයම් කළා. උදාහරණයකට 1968දී පමණක් 13,500කට වඩා වැඩි ප්‍රමාණයක් උන්ගේ සම් අපනයනය කර තිබෙනවා. වාර්තාවන්ට අනුව 2002 වන විට මෙම සතුන්ගේ සංඛ්‍යාව 50,000කටත් වඩා පහත බැස තිබූ අතර අද වන විට සත්වෝද්‍යානවල සිටින උන් හැර වනාන්තරවල සිටින්නේ 15,000ක් වැනි සංඛ්‍යාවක් පමණයි.

වන හා සත්ව සංරක්ෂණ සංවිධානයක වාර්තාවක පෙන්වා දෙන්නේ කැලෑ හෙළි කිරීම නිසා ජගුවන්ගේ නිජබිම්වලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් උන්ට අහිමි වී ඇති බවයි. මෙක්සිකෝවේ පමණක් සෑම විනාඩියකදීම තරමක් විශාල ක්‍රීඩාංගණයක් තරම් කැලෑ ප්‍රමාණයක් විනාශ වෙනවා. වන ගත ජගුවන් ගොවිපොළවල සිටින සතුන්ව දඩයම් කිරීමට පුරුදු වී සිටින්නේ ඒ නිසයි.

සංරක්ෂිත පියවර

වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ සතුන් වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තියට අනුව මෙම සතුන්ව වෙළෙඳාම් කිරීම තහනම්. ඊට රටවල් 200ක් සහයෝගය දක්වනවා. උන්ව සංරක්ෂණය කිරීමේ පියවරක් ලෙස උන්ගේ නිජබිම් තුළම ජාතික වනෝද්‍යාන ලෙස ප්‍රදේශ වෙන් කර තිබෙනවා. ජගුවාර් වෙනුවෙන් ලොව ප්‍රථම වරට ඉදි කළ ජාතික වනෝද්‍යානය මෙක්සිකෝවට නුදුරින් පිහිටි බෙලිස්හිදී 1986දී පිහිටවනු ලැබුවා. එය නම් කළේ කොක්ස්කොම් බේසින් වනෝද්‍යානය ලෙසයි. එමෙන්ම දකුණු මෙක්සිකෝවේ යුකාටන් අර්ධද්වීපයේද නිවර්තන වනාන්තරවලින් අක්කර 3,70,000කටත් වඩා මේ සතුන් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

සතුන්ට ආදරය කරන අය දරන මේ උත්සාහය ඇත්තෙන්ම පැසසිය යුතුයි. ඒ වුණත් මේ “දඩබිමේ රජා” වෙනුවෙන් කර තිබෙන දේවල් කොතෙක් දුරට සාර්ථක වෙයිද කියා අප දන්නේ නැහැ. නමුත් අපට එක් දෙයක් ගැන නම් ස්ථිර විය හැකියි. එනම් ඉතා ළඟදීම සියල්ලේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි ‘පොළොව විනාශ කරන අයව විනාශ කර’ දමා සතුන්ට හා මිනිසුන්ට සාමයෙන් සිටිය හැකි කාලයක් නැවතත් උදා කරන බවයි.—එළිදරව් 11:18; යෙසායා 11:6-9.

[24, 25වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ජගුවාර් ගහනය

මුල් කාලය

වර්තමානය

උතුරු ඇමරිකාව

මධ්‍යම ඇමරිකාව

දකුණු ඇමරිකාව