Skip to content

පටුනට යන්න

තනිකමට විසඳුමක්

තනිකමට විසඳුමක්

තනිකමට විසඳුමක්

ඔබත් තනිකමින් පෙළෙන කෙනෙක්ද? එසේනම් ඔබටත් මෙසේ සිතෙන්න පුළුවන්. ‘තනිකමින් ගොඩ එන්න මට පුළුවන්ද? එහෙම කරන්න මගේ ජීවිතයේ යම් වෙනස්කම් කරන්න ඕනෙද? එහෙමනම් ඒවා මොනවාද?’ ඔබේ තත්වය හොඳින් අවබෝධ කරගැනීමටත් ඊට විසඳුමක් සොයාගැනීමටත් අප දැන් සාකච්ඡා කරන ප්‍රශ්න ඔබට උපකාරවත් වෙයි.

මගේ ආකල්පවල වෙනසක් කළ යුතුද?

අපි හැම කෙනෙකුටම විටින් විට තනිකමක් දැනෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය වන්නේ එය දිගින් දිගටම පවතින විටයි. එසේ වී තිබෙනවා නම් සමහරවිට ඊට හේතුව ඔබේම ආකල්ප විය හැකියි. ඒ නිසා අන් අය ඔබෙන් ඈත් විය හැකියි. සමහර අයගේ ආකල්ප නිසා අනික් අය ඔවුන්ට කිට්ටු වෙන්න අකමැත්තක් දක්වනවා. එය හරියට ඔවුන් තමා වටා කම්බි වැටක් ගසාගෙන සිටිනවා හා සමානයි. නමුත් ඔබේ ආකල්ප වෙනස් කරගැනීමෙන් ඔබේ තත්වය වඩා හොඳ අතට පත් කරගත හැකියි.

එංගලන්තයට පදිංචිය මාරු කළ සැබීන්ගේ අද්දැකීම සලකා බලන්න. ඇය මෙසේ පවසනවා. “හොඳ මිත්‍රත්වයක් ගොඩනඟන්න නම් විශ්වාසය තියෙන්න ඕනේ. හැබැයි ඒකට ටික කාලයක් යනවා. ඒත් අනික් කෙනා ගැන දැනගන්න නම් ඒ අයගේ සංස්කෘතිය හා පසුබිම ගැන අහන්න පුළුවන්. මට දවසක් එක් කෙනෙක් මෙහෙම කිව්වා. ‘හැම සංස්කෘතියක්ම එකිනෙකට වෙනස්. ඒ වුණත් ඒ හැම එකකින්ම ඉගෙනගන්න දෙයක් තියෙනවා.’” ඔබත් එසේම කිරීමට උත්සාහ කරන්න.

මම අනික් අයගෙන් ඈත් වෙලාද?

මේ ගැනත් සිතන්න. ‘අනික් අයගෙන් වෙන් වෙලා සිටීමේ නැඹුරුවාවක් මට තියෙනවාද? මම මීට වඩා මිත්‍රශීලී වුණොත් ඒ අයත් මාත් එක්ක මිත්‍රශීලී වෙයිද?’ ඔබ එවැනි කෙනෙක් නම් අනික් අය එක්ක සුහදශීලීව කටයුතු කරන්න වෑයම් කරන්න. ග්වාඩිලූප් රටේ සිට එංගලන්තයේ පදිංචියට පැමිණි 30 හැවිරිදි රොසෙලීස් මෙවැනි යෝජනාවක් කරනවා. “සාමාන්‍යයෙන් තනිකමක් දැනෙන අය නිතරම ඉන්නේ තනිවමයි. ඒ නිසා ඒ වගේ අයව හොයාගෙන ගිහිල්ලා කතා කරන්න. සමහරවිට ඔබ අසන එක ප්‍රශ්නයකින් ඔහු හෝ ඇය ඔබේ හොඳම මිත්‍රයා වෙන්නත් ඉඩ තියෙනවා.”

හොඳ මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට යම් කාලයක් හා වෑයමක් අවශ්‍ය බව ඇත්තයි. ඊට මුලපිරීම සඳහා හොඳ ක්‍රමයක් වන්නේ ඔහුට හෝ ඇයට හොඳින් ඇහුම්කන් දීමට ඉගෙනගැනීමයි. හොඳ අවධානයෙන් සවන් දීමෙන් ඔහු හෝ ඇය වඩාත් කැමැත්තක් දක්වන දේවල් තේරුම්ගන්න ඔබට හැකි වෙයි. කිට්ටු මිත්‍රත්වයකට මුල් පියවර වන්නේ අනික් තැනැත්තා ගැන අවංක සැලකිල්ලක් දැක්වීමයි.

මට මා ගැන හොඳ ආකල්පයක් තිබෙනවාද?

ඔබ ඔබව අනවශ්‍ය ලෙස පහත් කොට සලකනවා නම් එය මිත්‍රත්වයන් ඇති කරගැනීමට බාධාවක්. ඒ නිසා ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මම හැමතිස්සෙම මං ගැන හිතන්නේ වැරදි විදිහටද?’ ඝානාවේ 15 හැවිරිදි අබිගායිල්ගේ අද්දැකීමත් එයයි. “මට මං ගැන හොඳ හැඟීමක් තිබුණේ නැති නිසා ඒකෙන් මගේ තනිකම තවත් වැඩි වුණා. මට හිතුණේ මම ඒ තරම් වටිනා කෙනෙක් නෙවෙයි කියලයි.” නමුත් ඔබ අන් අය වෙනුවෙන් උපකාර කරන්න ඉදිරිපත් වන විට ඔබ නොවටිනා කෙනෙක් කියා ඔවුන් කොහෙත්ම සලකන්නේ නැහැ. බොහෝවිට ඉන් සිදු වන්නේ ඔබේ මිත්‍රයෙක් වීමට ඔවුන් පෙලඹීමයි. ඒ නිසා මුල් පියවර ගන්න තවත් කල් දමන්න එපා!

ඔබ ගැන හොඳ හැඟීමක් ඇති කරගැනීමෙන් ඔබට වඩා වැඩිමල් හෝ බාල අය සමඟත් හොඳ මිත්‍රත්වයන් ඇති කරගැනීමට ඔබට හැකියි. එය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත්. අබිගායිල්ටත් ඇගේ තනිකමින් මිදෙන්න උපකාරවත් වුණේ ඇය වැඩිහිටි අය සමඟ ඇති කරගත් මිත්‍රත්වයයි. “එයාලාගේ අද්දැකීම්වලින් හුඟක් දේවල් ඉගෙනගන්න මට පුළුවන් වුණා” කියා ඇය පවසනවා.

මම නිතරම සිටින්නේ තනිවමද?

තනිකමින් පෙළෙන බොහෝදෙනෙක් සහනයක් සොයන්නේ පැය ගණනාවක් එක දිගට රූපවාහිනිය නැරඹීමෙන්, වීඩියෝ ක්‍රීඩාවල යෙදීමෙන් හෝ පරිගණකය භාවිත කිරීමෙනුයි. නමුත් ඒවායින් ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා මිස සහනයක් ලැබෙන්නේ නැහැ. එය සත්‍යයක් බව පැරිසියේ වෙසෙන 21 හැවිරිදි එල්සාගේ අදහසින් පැහැදිලියි. “රූපවාහිනිය සහ වීඩියෝ ක්‍රීඩා හරියට මත්ද්‍රව්‍ය වගෙයි. ඒකට ඇබ්බැහි වුණාට පස්සේ යාළුවෝවත් ඕනේ වෙන්නේ නැහැ.”

එලෙස රූපවාහිනිය හා වීඩියෝ ක්‍රීඩාවල යෙදීමේ ඇති තවත් අවාසියක් වන්නේ ඒවායින් කොහෙත්ම අදහස් බෙදාගැනීමක් සිදු නොවීමයි. එමගින් සිදු වන්නේ කෙනෙකුව සිහින ලොවකට රැගෙන යෑමක් පමණයි. අන්තර්ජාලයෙන් ප්‍රයෝජන තිබුණත් ඊට වැඩි කාලයක් මිඩංගු කිරීම භයානකයි. තමන් ඇත්තටම කවුද කියා වසං කරන, ඇසුරු කිරීමට භයානක පුද්ගලයන්ද එහි සිටින නිසා ඔබ ඔවුන්ගේ ගොදුරක් බවට පත් විය හැකියි. ඒ අනුව බලන විට හොඳ මිතුරෙක් සොයාගැනීමට අන්තර්ජාලය හොඳ තැනක් නොවෙයි.

විවාහ වීමට කෙනෙකු සොයනවාද?

සමහර තනිකඩ අය තනිකමින් මිදීමට විවාහ වීමට උත්සාහ කරනවා. තමන්ට ගැළපෙන, ආදරය කරන කෙනෙක් ලැබුණු විට ජීවිතයට විශාල සතුටක් එක් වන බව සත්‍යයක්. කෙසේවෙතත් විවාහය නමැති බැරෑරුම් තීරණය ගැනීමට ඉක්මන් වෙන්න එපා!

තනිකමට එකම විසඳුම විවාහ වීම නොවෙයි. තනිකම වැඩියෙන්ම දැනෙන අය අතර අදහස් හුවමාරු කරගැනීමේ ඌනතාවක් තිබෙන විවාහකයන්ද සිටින බව වාර්තා වෙනවා. එසේනම් ඔබ කෙදිනක හෝ විවාහ වීමට බලාපොරොත්තු වෙනවා නම් ඊට පෙර ඔබේ තනිකමට හේතුව හඳුනාගෙන එය විසඳාගැනීම නැණවත් දෙයක් නොවෙයිද? විවාහයට පෙර සිටම ඔබේ ආකල්ප හා පුරුදු සකස් කරගන්න. මිත්‍රත්වයන් ඇති කරගැනීමට පෙරමුණ ගන්න. එවිට ශක්තිමත් අත්තිවාරමක් මත ඔබේ විවාහය ගොඩනඟන්න ඔබට පුළුවන් වෙයි.

ඊට සාර්ථකව මුහුණ දෙන්න

ඔබේ තනිකමට ක්ෂණික විසඳුමක් නැති වෙන්න පුළුවන්. ඒත් ඊට සාර්ථකව මුහුණ දීමට යේසුස් දුන් මෙම ප්‍රතිපත්තිය ඔබට ප්‍රයෝජනවත් වෙයි. “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.” (මතෙව් 7:12) අන් අය ඔබ සමඟ මිතුරු වෙනවාට ඔබ කැමති නම් ඔබත් ඔවුන්ට හොඳ මිත්‍රයෙක් වන්න. එසේ කිරීමෙන් ඔබට ක්ෂණික ප්‍රතිඵල නොලැබුණත් ඔබ දැරූ උත්සාහය ගැන ඔබට සතුටු විය හැකියි.

“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” යන යේසුස්ගේ නැණවත් ඔවදන අදාළ කරගැනීමද තනිකමින් මිදීමට ඔබට උදව් වෙයි. (ක්‍රියා 20:35) අන් අයට උදව් කිරීම වෙනුවෙන් ඔබ යම් කාලයක් කැප කරනවා නම් එයින්ද ඔබ විශාල සතුටක් අද්දකියි. උදාහරණයකට පොඩි දරුවෙකුට පාසැලේ ගෙදර වැඩ කරන්න හෝ මහලු කෙනෙකුගේ වැඩවලට උදව් කිරීම වැනි සුළු දෙයක් ඊට ඇතුළත් විය හැකියි. ඒ විතරක් නෙවෙයි, එය කල් පවතින මිත්‍රත්වයක් ඇති කරගැනීමටද ඔබට අවස්ථාව උදා කරයි.

හොඳම මිත්‍රයන් සිටින තැන

තනිකමින් මිදීමට තවත් ක්‍රම තිබෙනවා. නිවසටම කොටු නොවී ටිකක් ඇවිදින්න යන්න. ඒ වගේම හැකි නම් විනෝද ගමනක් යන්න. නිවසේ තනිවම සිටින විට ප්‍රයෝජනවත් වැඩක් කරන්න. යමක් නිර්මාණය කරන්න. ඇඳුමක් මසන්න, පොතක් පතක් කියවන්න. ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් මේ වගේ අදහසක් පැවසුවා. “මානසික පීඩනයකින් ඉන්න වෙලාවට පැයක් දෙකක් විතර පොතක් කියෙව්වට පස්සේ පුදුම සහනයක් දැනෙනවා.” සමහර අය බයිබලයේ ගීතාවලිය පොත කියවීමෙන් විශාල සහනක් අද්දැක තිබෙනවා.

ආගම දහමට ළැදි අයව ඇසුරු කිරීම තනිකම පලවාහැරීමට පමණක් නොව ශරීර සෞඛ්‍යයටත් හිතකර බව විද්වතුන් පවසනවා. එසේනම් එවැනි අයව සොයාගත හැක්කේ කොහෙන්ද? විවිධ ආගම් ගැන අපක්ෂපාතීව අදහස් දක්වන එක් පුද්ගලයෙක් පැවසූ දෙයක් එක් පොතක මෙසේ සඳහන් වුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සැබෑ විශ්වාස හා නියම මිත්‍රත්වය දැකගත හැකියි.”

තමාගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගත හැකි ආකාරය යේසුස් මෙලෙස පැවසුවා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” (යොහන් 13:35) කෙනෙක් මුලින්ම දෙවිටත් ඊළඟට සෙසු නමස්කාරකයන්ටත් ප්‍රේම කරනවා නම් ඔහු සැබෑ ආගමේ සාමාජිකයෙක් බව පැහැදිලියි.—මතෙව් 22:37-39.

තනිකමින් මිදීමට හොඳම ක්‍රමය වන්නේ යෙහෝවා දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමයි. ඔබ එසේ කළොත් ඔබේ ජීවිතයේ සෑම මොහොතකම යෙහෝවා දෙවි මිත්‍රයෙකු සේ ඔබ ළඟින්ම සිටියි.—රෝම 8:38, 39; හෙබ්‍රෙව් 13:5, 6.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මගේ අද්දැකීම

වැන්දඹුවක් වන ඇනී: “නිතරම දුක හිතෙන දේවල් ගැන හිතන්නේ නැතුව, තත්වයට අනුව හැඩගැහෙන්න මම උත්සාහ කරනවා.”

අවිවාහකයෙකු වන කාමන්: “මම උත්සාහ කරන්නේ අතීතය අමතක කරලා ඉදිරිය ගැන හිතන්නයි. ඒ වගේම අලුත් යාළුවෝ ඇති කරගන්නයි.”

වැන්දඹුවක් වන ෆර්නැන්ඩේ: “අනික් අයට උදව් කරනකොට අපේ ප්‍රශ්න නිකම්ම අමතක වෙනවා.”

අවිවාහකයෙකු වන ජොන් පියෙර්: “මම නිතරම වගේ ඇවිදින්න යනවා. ඒ වෙලාවට මම මගේ හිතේ තියෙන හැම දෙයක්ම දෙවිට කියනවා.”

වැන්දඹු පුරුෂයෙකු වන බර්නාඩ්: “මම මගේ යාළුවන්ට නිතරම වගේ දුරකථනයෙන් කතා කළත් අමිහිරි මතකයන් ගැන කතා නොකර ඉන්න උත්සාහ කරනවා.”

අවිවාහකයෙකු වන ඩේවිඩ්: “මම සාමාන්‍යයෙන් තනිවම ඉන්න කැමති කෙනෙක්. නමුත් මම හිතුවා අනික් අයත් එක්ක විවෘතව කතාබහ කරන්න ඕනේ කියලා.”

අවිවාහකයෙකු වන ලොරේනා: “මම අනික් අය ළඟට ගිහින් කතාබහ කරලා එයාලා එක්ක යාළු වෙන්න උත්සාහ කරනවා.”

පහළොස් හැවිරිදි අබිගායිල්: මට වඩා වැඩිමල් යාළුවෝ ගොඩක් මට ඉන්නවා. මම වැඩිපුර ඉන්නේ ඒ අය එක්කයි. එයාලගෙන් මම හුඟක් දේවල් ඉගෙනගන්නවා.”

අවිවාහකයෙකු වන ෂෙරී: “අපිට දැනෙන තනිකම අනික් අයට කිව්වොත් ඒ අය අපි ගැන වැඩි සැලකිල්ලක් දක්වන බව මම අද්දැකලා තියෙනවා.”

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

තනිකමින් මිදීමට පියවර

නිසි ආකල්පයක් ඇති කරගන්න

රූපවාහිනිය නැරඹීම වැනි තනිවම කරන දේවල් සීමා කරන්න

ඕනෑම වයස් මට්ටමක සිටින, ඔබේ සාරධර්ම අගය කරන අයව මිතුරන් කරගන්න

දෙවිව ඔබේ හොඳම මිතුරා කරගන්න

[7වන පිටුවේ පින්තූරය]

කෙනෙක් ඔබට වඩා බාල වීම හෝ වැඩිමල් වීම මිත්‍රත්වයට බාධාවක් නොවෙයි