Skip to content

පටුනට යන්න

තනිකමට හේතුව

තනිකමට හේතුව

තනිකමට හේතුව

තනිකම කියන්නේ හුදෙකලා වී සිටීම නොවෙයි. කෙනෙක් හුදෙකලා වී සිටිනවා කීමෙන් අදහස් කරන්නේ ඔහු සිය කැමැත්තෙන්ම අන් අයගේ ආශ්‍රයෙන් ඈත් වී සිටීමයි. නමුත් තනිකම කියන්නේ අන් අයගේ ආශ්‍රය නොලැබීම නිසා දැනෙන පාළුවයි.

සමහර අවස්ථාවලදී හුදෙකලා වී සිටීම ප්‍රයෝජනවත්. සමහර අය එම අවස්ථාවන් යාච්ඤා කිරීමට හෝ යහපත් දේවල් ගැන ගැඹුරින් කල්පනා කිරීමට යොදාගන්නවා. යේසුස්ද එසේ කළා. (මතෙව් 14:13; ලූක් 4:42; 5:16; 6:12) නමුත් තනිකම ඉතා වේදනාකාරී අද්දැකීමක්. ඊට මොන වගේ තත්වයන් හේතු විය හැකිද?

ජනාකීර්ණ නගරවල තනි වී

මිලියන ගණනක් දෙනා වෙසෙන නගරවල සිටින බොහෝදෙනෙකුට පවා හැඟෙන්නේ තමන් තනි වෙලා කියායි. ඒ ඇයි? සංකීර්ණ නාගරික ජීවිතය නිසා තම අසල්වාසීන්ව හරි හැටි හඳුනාගන්නවත් ඔවුන්ට කාලයක් නැහැ. අනික් අතට තම අසල්වාසීන්ව විශ්වාස කිරීමට හෝ තමන් ගැන ඔවුන් දැනගන්නවාට කැමති නැහැ. මිලියන ගණනක් අවට සිටියත් තමන් තනි වෙලා කියා ඔවුන්ට හැඟෙන්නේ ඒ නිසයි.

රැකියා ස්ථානයෙන් එල්ල වන පීඩනය

රැකියා ආයතන විසින් සේවකයන් වෙත එල්ල කරන පීඩනය එන්න එන්නම වැඩි වී තිබෙනවා. ඒ නිසා බොහෝදෙනෙකුට තනිකමක් වගේම නොවටිනාකමේ හැඟීමක්ද දැනෙනවා.

ඊට අමතරව විටින් විට ස්ථාන මාරු කිරීම් නිසාද ඔවුන්ට අස්ථිර භාවයක්, පාළුවක් හා තනිකමක් දැනෙන්න පටන්ගෙන තිබෙනවා. ප්‍රංශයේ තිබෙන සමහර ආයතනවල සිදු වන සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් එක් පුවත්පතක වාර්තා වුණේ ‘ලාභ ලැබීම ගැන පමණක් සිතන ආයතන නිසා ඒවායෙහි සේවකයන්ට බොහෝවිට හැඟෙන්නේ තමන් දරන්න බැරි පීඩනයකින් මිරිකී සිටින’ බවයි.—International Herald Tribune. 

මානව සබඳතාවන්ට බාධා

“මිනිසුන් අතර තිබෙන අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව, ජංගම දුරකථනය වැනි ඉලෙක්ට්‍රොනික උපාංග නිසා මොට වෙනවා” කියා ජපානයේ මහාචාර්යවරයෙකු වන ටෙට්සූරෝ සයිටෝ පවසනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පුවත්පතකද මෙවැනි අදහසක් පළ වුණා. “තාක්ෂණික උපකරණ, මිනිසුන් අතර තිබෙන අන්‍යෝන්‍ය බැඳීම අඩු වීමට හේතුවක්. බොහෝදෙනෙක් කතා කරනවාට වඩා කැමති, ඊ-මේල් හෝ වෙනත් එවැනි මාධ්‍යයන්ගෙන් අදහස් හුවමාරු කරගැනීමටයි.”

ප්‍රංශයේ වෙසෙන 21 හැවිරිදි රේචල් තමාට දැනෙන තනිකම ගැන මෙවැනි අදහසක් පළ කළා. “හුඟදෙනෙක් හිතන්නේ මාව මුණගැහෙන්නේ නැතුව SMS පණිවිඩවලින්, ඊ-මේල්වලින් කතා කළාම ඇති කියලයි. හැබැයි ඒකෙන් වෙන්නේ මට දැනෙන තනිකම තවත් වැඩි වෙන එක විතරයි.”

පදිංචිය මාරු කිරීම

ආර්ථික ප්‍රශ්න නිසා බොහෝදෙනෙකුට අකමැත්තෙන් වුණත් විටින් විට පදිංචිය මාරු කිරීමට සිදු වී තිබෙනවා. සමහර අයට වෙනත් රටකට යෑමට පවා සිදු වෙනවා. ඒ නිසා ඔවුන්ට තම අසල්වැසියන්, මිතුරන්, පාසැල හා පවුලේ අයගෙන් පවා වෙන් වීමට සිදු වී තිබෙනවා. බොහෝදෙනෙකුට බලවත් තනිකමක් දැනීමට එයත් හේතුවක්.

ෆ්‍රැන්සිස්ගේ අද්දැකීමද ඒ හා සමානයි. ඔහු ඝානාවේ සිට ප්‍රංශයට පැමිණි දිනය ගැන මෙසේ සිහිපත් කරනවා. “මම මෙහේ භාෂාව දන්නේ නැහැ. අඳුනන කිසි කෙනෙක් නැහැ. දේශගුණයත් හරිම සීතලයි. මේ හැම දෙයක්ම නිසා මට දැනුණේ පුදුම පාළුවක්.”

බාජාට් නමැති කාන්තාව එංගලන්තයට පැමිණි අවස්ථාව ගැන මෙසේ පවසනවා. “මේ රටේ සංස්කෘතියට හැඩගැහෙන එක ලේසි වුණේ නැහැ. මම දන්න අඳුනන අය මෙහේ හිටියා තමයි. ඒත් මගේ හිතේ තියෙන හැම දෙයක්ම කියන්න තරම් හොඳ යාළුවෙක්වත් පවුලේ කෙනෙක්වත් හිටියේ නැහැ.”

ආදරය කළ කෙනෙකුගේ වියෝව

තම විවාහ සහකරුවා හෝ සහකාරිය අහිමි වීම නිසා තනි වූ තැනැත්තා විශාල හිස් බවක් හා තනිකමක් අද්දකිනවා. මිය ගිය තැනැත්තාට ඔහු හෝ ඇය කාලයක් පුරා සාත්තු සප්පායම් කළා නම් එය වඩාත් බරපතළ ලෙස දැනිය හැකියි.

තම ස්වාමිපුරුෂයා අහිමි වූ ෆර්නෑන්ඩේගේ අද්දැකීම බලන්න. “මගේ හොඳම යාළුවා එයයි. මට තියෙන ලොකුම දුක තමයි මගේ හිතේ තියෙන දේවල් කතා කරන්න දැන් මට කවුරුත් නැති එක.” ඇනීටත් ඇගේ ස්වාමිපුරුෂයා අහිමි වුණා. ඒ ගැන ඇය පවසන්නේ මෙසේයි. “එයා නැති වුණාට පස්සේ මගේ ජීවිතයේ බරපතළ තීරණ ගන්න සිද්ධ වෙනකොට මට දැනෙන්නේ පුදුම තනිකමක්.”

දික්කසාදය, වෙන් වීම හා සහකරුවෙක් නොමැතිකම

වෙන් වීමේ හෝ දික්කසාද වීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල තනිකමක් හා නොවටිනාකමේ හැඟීමක් ඇති විය හැකියි. මෙය වැඩියෙන්ම බලපාන්නේ දරුවන්ටයි. ඔවුන් මුළු ජීවිත කාලය පුරාම එවැනි තනිකමක් අද්දකින්න ඉඩ තිබෙන බව විද්වතුන් පවසනවා.

විවාහ වීමට ආශාවෙන් සිටින නමුත් සුදුසු සහකරුවෙකුව සොයාගැනීමට නොහැකිව සිටින අයත් විටින් විට තනිකම හා පාළුව අද්දකිනවා. අන් අය එතරම් සිතන්නේ බලන්නේ නැතුව ඔවුන්ට මෙසේ පවසන්න පුළුවන්. ‘තාම කාවත් හොයාගන්න බැරි වුණාද?’ මෙවැනි දේවල් පවසන විට ඔවුන්ට දැනෙන තනිකම දෙගුණ තෙගුණ විය හැකියි.

තනිකමට මුහුණ දෙන තවත් පිරිසක් වන්නේ දරුවන් සමඟ තනි වූ මව්වරුන් හා පියවරුනුයි. දරුවන් ඇති දැඩි කිරීම සතුටක් බව ඇත්තයි. නමුත් දෙමාපියන්ට ප්‍රශ්න ගැටලුවලටත් මුහුණ දීමට සිදු වෙනවා. ඔවුන්ගෙන් එක් කෙනෙකුට පමණක් ඒ සෑම වගකීමක්ම තනිවම දරන්න සිදු වන විට එය තවත් විශාල අභියෝගයක්.

මහලු විය හා යොවුන් විය

පවුලේ සාමාජිකයන් තමන් ගැන සැලකිලිමත් වුණත් බොහෝ මහලු අයට තනිකමක් දැනෙනවා. ඔවුන්ව බැලීමට පවුලේ අය හෝ මිතුරන් විටින් විට පැමිණියත් එසේ නොඑන දවස් හෝ සතිවලදී ඔවුන් විශාල පාළුවක් අද්දකිනවා.

අනික් අතට යෞවන අය පවා තනිකමින් පීඩා විඳිනවා. ඉන් මිදීමට ඔවුන්ගෙන් බොහෝදෙනෙක් කරන්නේ තනිවම පැය ගණන් රූපවාහිනිය හෝ පරිගණකය ඉදිරියට වී සිටීමයි.

දිනෙන් දින වැඩි වෙමින් තිබෙන මෙම ගැටළුවට විසඳුමක් තිබෙනවාද? තනිකමින් ගොඩ ඒමට කුමක් කළ හැකිද?

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මම එහේ භාෂාව දන්නේ නැහැ. අඳුනන කිසි කෙනෙක් නැහැ. දේශගුණයත් හරිම සීතලයි. මේ හැම දෙයක්ම නිසා මට දැනුණේ පුදුම පාළුවක්”