Skip to content

පටුනට යන්න

දුකෙන් ගොඩ එන්න මට පුළුවන් කොහොමද?

දුකෙන් ගොඩ එන්න මට පුළුවන් කොහොමද?

යෞවන අය අසති

දුකෙන් ගොඩ එන්න මට පුළුවන් කොහොමද?

“දුකෙන් ඉන්න හැමෝම එන්නේ මං ළඟට. ඒත් ඒ අය දන්නේ නැහැ මමත් ඉන්නේ දුකෙන් කියලා. සමහර වෙලාවට මම කාමරේට ගිහින් හුඟක් අඬනවා.”—කෙලී. *

“මම දුකෙන් ඉන්නකොට කාත් එක්කවත් කතා කරන්න කැමති නැහැ. මට කොහේ හරි යන්න එන්න කියලා කවුරු හරි කිව්වත් මම කොහොම හරි ඒක මඟහරිනවා. හැබැයි මම දුකෙන් ඉන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. අම්මයි තාත්තයි වුණත් හිතන්නේ මම හොඳින් ඉන්නවා කියලයි.”—රික්.

ඔබත් විටින් විට කෙලී සහ රික් වගේ දුකෙන් ඉන්නවා ඇති. එය ඔබට පමණක් දැනෙන දෙයක් නොවෙයි. සාමාන්‍යයෙන් හැමදෙනාම වගේ යම් අවස්ථාවලදී දුකෙන් සිටිනවා. පුරාණයේ සිටි දෙවිට නමස්කාර කළ අයට පවා එවැනි හැඟීම් ඇති වුණා.

සමහර අවස්ථාවලදී දුකෙන් සිටීමට හේතුවක් තිබුණත් තවත් අවස්ථාවලදී එසේ වන්නේ හේතුවක් නැතුවයි. ඒ ගැන 19 හැවිරිදි ඇනා පැවසූ දේ බලන්න. “දුකක් දැනෙන්න හේතුවක් තියෙන්නම ඕනේ නැහැ. සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුවත් ඒ වගේ හැඟීම් ඇති වෙනවා. ඒ ඇයි කියලා මට හිතාගන්නවත් බැහැ.”

දුකෙන් සිටීමට හේතුවක් තිබුණත් නැතත් එවැනි හැඟීම්වලින් යටපත් නොවී ඉන්න කරන්න පුළුවන් මොනවාද?

ඒ ගැන කතා කරන්න. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.

කෙලී: “මම කියන දේ කවුරු හරි තේරුම්ගත්තාම මට ලොකු සහනයක් දැනෙනවා. මට දැනෙන්නේ හරියට මම මඩ වළක වැටිලා ඉන්නකොට එයා කඹයක් දාලා මාව ගොඩට ගත්තා වගෙයි.”

යෝජනාවක්: ඔබ දුකෙන් සිටින විටෙක ඒ ගැන ඔබට කතා කළ හැකි ‘සැබෑ මිතුරෙකුගේ’ නම පහත ලියන්න.

․․․․․

ඒ ගැන ලියන්න. මනස අවුල් වී ඔබ දුකින් සිටින අවස්ථාවකදී ඔබට හැඟෙන දේ ලියන්න. බයිබල් ලේඛකයෙකු වූ දාවිත්ද දුකෙන් සිටි සමහර අවස්ථාවලදී ඔහුගේ හැඟීම් ගීතිකාවක් ලෙස රචනා කළා. (ගීතාවලිය 6:6) ඔබත් ඔබට හැඟෙන දේ එසේ ලිවීමෙන් “ප්‍රඥාවද ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න” ඔබට හැකි වෙයි.—හිතෝපදේශ 3:21.

හෙදර්: “මනස අවුල් වෙලා තියෙන වෙලාවට හැඟෙන දේවල් ලියාගන්නකොට තමයි ඒවා නිරවුල් කරගන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ. මම එහෙම කරනකොට මට දැනෙන දුකත් අඩු වෙනවා.”

යෝජනාවක්: සමහර අය හැම දෙයක්ම දිනපොතක ලියාගැනීමට පුරුදු වී සිටිනවා. ඔබ දුකෙන් සිටින අවස්ථාවකදී ඒ ගැන ඔබේ දිනපොතේ ලියන්න. පුළුවන් නම් එම හැඟීම් ඇති වීමට හේතුවත් ලියන්න. මාසෙකට පස්සේ ඔබ ලියාගත්ත දේ නැවත කියවන්න. ඔබට කලින් තිබුණ හැඟීම් දැන් වෙනස් වෙලා නම් ඊට උපකාරවත් වුණ දෙයත් ලියන්න.

යාච්ඤා කරන්න. අපේ දුක් ගැන දෙවිට පැවසීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.”—ෆිලිප්පි 4:7.

එස්තර්: “මම දුකෙන් හිටියේ ඇයි කියලා වෙලාවකට මටම තේරෙන්නේ නැහැ. එතකොට මට හැම දේම එපා වෙනවා. ඒ වගේ වෙලාවට මට සතුටින් ඉන්න උදව් කරන්න කියලා යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවා. අන්තිමේදී මට ඒකෙන් ගොඩ එන්න පුළුවන් වුණා. යාච්ඤාව කියන්නේ හරිම පුදුම දෙයක්.”

යෝජනාවක්: ඔබට බයිබලයක් තිබෙනවා නම් ගීතාවලිය 139:23, 24 කියවන්න. ඉන්පසු ඒ විදිහටම ඔබේ සිතේ තිබෙන සෑම දෙයක්ම දෙවිට පවසන්න. ඔබ මෙතරම් දුකෙන් සිටීමට හේතුව හඳුනාගැනීමට යෙහෝවා දෙවිගේ උපකාරය ඉල්ලන්න.

ඉහත සඳහන් යෝජනාවලට අමතරව බයිබලය කියවීමත් ඔබට උපකාරවත් වෙයි. (ගීතාවලිය 119:105) බයිබලයේ තිබෙන දිරිගන්වනසුලු අදහස් ඔබ මනසට ගන්නා විට ඔබේ සිතුවිලිවලටත් හැසිරීමටත් එය හොඳ බලපෑමක් වෙයි. (ගීතාවලිය 1:1-3) උදාහරණයකට, ඔබ බයිබලයේ ක්‍රියා පොත කියවන විට පාවුල් නමැති දෙවිගේ සේවකයාට ඔහුගේ අඩුපාඩු නිසා දැනුණ දුකත් ඊට ඔහු සාර්ථකව මුහුණ දුන් ආකාරයත් ඔබට වැටහෙයි.

ඔබ කොතරම් උත්සාහ කළත් එවැනි හැඟීම් දිගින් දිගටම පවතිනවා නම් කරන්න පුළුවන් කුමක්ද?

දිගින් දිගටම එය පවතින විට

“සමහර දවස්වලට මට ඇඳෙන් බහින්නවත් හිතෙන්නේ නැහැ. එදා දවස ගැන හිතනකොටත් මට එපා වෙනවා” කියා 19 හැවිරිදි රයන් පැවසුවා. රයන් මානසික අවපීඩනයෙන් පෙළෙන කෙනෙක්. අධ්‍යයනවලින් හෙළි වන්නේ යෞවනයන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටිභාවයට පත් වීමට පෙර යම් ආකාරයක මානසික පීඩනයකට මුහුණ දෙන බවයි.

ඔබත් එවැනි මානසික අවපීඩනයකින් පෙළෙනවා කියා ඔබ සිතනවා නම් ඒ බව තහවුරු කරගන්නේ කෙසේද? මානසික තත්වය හා හැසිරීම හදිසියේම වෙනස් වීම එහි රෝග ලක්ෂණයක්. එමෙන්ම නිතරම තනි වී සිටින්න කැමැත්තක් දැක්වීම, කිසිම දෙයක් කරන්න ආශාවක් නැතිකම, ආහාර ගැනීමේ හා නිදාගැනීමේ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වීම, තමන් කොහෙත්ම වටින්නේ නැති කෙනෙක් යන හැඟීම ඉතා දරුණු විදිහට දැනීමද එහි තවත් රෝග ලක්ෂණ වෙයි.

නමුත් ඔබට එවැනි ලක්ෂණ තිබූ පමණින් කලබල වෙන්න එපා. සෑම කෙනෙකුටම වගේ මෙවැනි ලක්ෂණ විටින් විට මතු වෙනවා. ඔහු රෝගියෙක් කියා ඉන් අදහස් කරන්නේ නැහැ. කෙසේවෙතත් මෙවැනි ලක්ෂණ සති ගණනාවක් පුරා පවතිනවා නම් වෛද්‍යවරයෙකු හමු වීම සඳහා ඔබේ දෙමාපියන් සමඟ කතා කරන්න. එවිට ඔබට දැනෙන දුකට හේතුව කුමක්ද කියා සොයාගැනීමට වෛද්‍යවරයාට හැකි වෙයි. *

ඔබට මානසික රෝගයක් තිබෙනවා කියා හඳුනාගත්තා නම් ඒ ගැන ලැජ්ජා වෙන්න අවශ්‍ය නැහැ. යම් ආකාරයක මානසික රෝග තිබෙන බොහෝදෙනෙක් ඊට නිසි ප්‍රතිකාර ගැනීමෙන් හොඳ සුවයක් ලබා තිබෙනවා. ඔබට දැනෙන දුකට හේතුවක් තිබුණත් නැතත් බයිබලයේ පවසන මේ දෙයින්ද ඔබට සහනයක් ලැබෙන බව නිසැකයි. “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතාවලිය 34:18.

[පාදසටහන්වල]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 23 ඡේ. දීර්ඝ කාලයක් තිස්සේ දුකෙන් පෙළෙන සමහර යෞවනයන් සිය දිවි හානි කරගැනීමට පවා පෙලඹෙනවා. ඔබටත් එවැනි හැඟීම් ඇති වී තිබෙනවා නම් වහාම විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමඟ ඒ ගැන කතා කරන්න.—2008 මැයි පිබිදෙව්! සඟරාවේ 26-28 දක්වා පිටු බලන්න.

සිතා බලන්න

ඇඬීමෙන් සිදු වන යහපත කුමක්ද?

“මම ලෙහෙසියෙන් අඬන කෙනෙක් නෙවෙයි. ඒත් දුක දැනෙන වෙලාවට මම ටිකක් අඬනවා. ඊටපස්සේ මගේ මනස නිරවුල් වෙනවා. එතකොට මගේ දුක අඩු වෙලා සතුටින් ඉදිරිය දෙස බලන්න පුළුවන්.”—ලියෑන්.

දුකට මුහුණ දීම සඳහා අන් අයගෙන් ලැබෙන උපකාර මොනවාද?

“දුකෙන් ඉන්නකොට තනි වෙලා ඉන්න හොඳ නැහැ කියලා මම දන්නවා. පැත්තකට වෙලා ටිකක් අඬන්න ඕනේ තමයි. හැබැයි ඊටපස්සේ මට අනික් අයත් එක්කම ඉන්න ඕනේ. එතකොට දුක අමතක කරලා සතුටින් ඉන්න පුළුවන්.”—ක්‍රිස්ටීන්.

[21වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෞවනයන් පවසන දේ

“මට දුකක් දැනෙන්නේ මම මං ගැන ඕනෑවට වඩා හිතනකොටයි. හැබැයි මම අනික් අයට උදව් කරනකොට මම හිතන්නේ ඒ අය ගැනයි. ඒකෙන් මට ලොකු සතුටක් දැනෙනවා.”

“මම දිගටම ව්‍යායාම් කරනකොට මට මං ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා. එතකොට මගේ මනසටත් හොඳයි. අනික් එක තමයි ටිකක් මහන්සිවෙලා ව්‍යායාම් කරනකොට දුක් වෙවී ඉන්න වෙලාවකුත් නැහැ.”

[පින්තූර]

ඩ්‍රෙනෙල්

රෙබෙකා

[22වන පිටුවේ පින්තූරය]

ඔබේම උත්සාහය හා අන් අයගේ උපකාර ඇතුව දුක නමැති මඩ වළෙන් ගොඩ ඒමට ඔබට හැකියි