Skip to content

පටුනට යන්න

පුංචි බීජයකින් දැවැන්ත ගසක්

පුංචි බීජයකින් දැවැන්ත ගසක්

පුංචි බීජයකින් දැවැන්ත ගසක්

● බ්‍රිතාන්‍යයට ආවේණික ගස් අතරින් දැවැන්තයා වන්නේ ඕක් ගසයි. ඒ වුණත් මේ දැවැන්තයා බිහි වන්නේ කුඩා බීජයකිනුයි.

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වගේම ඔවුන්ගේ ප්‍රබන්ධ කතාවලද ඕක් ගසට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. බොහෝවිට ඕක් ගසක් අවුරුදු 1,000කටත් වඩා පවතින අතර සමහර ඒවා අඩි 130ක් තරම් උසට වැඩෙනවා. ඕක් ගසේ ඇති විශේෂත්වයක් වන්නේ කඳේ විශාලත්වය සහ බහුල ලෙස අතු බෙදී තිබීමයි. බ්‍රිතාන්‍යයටම ආවේණික ඕක් වර්ග දෙකක් තිබෙන අතර ලොව පුරාම වර්ග 450ක් පමණ තිබෙනවා. ඒ වගේම ඕක් වර්ග සෑම එකකම බීජ (acorn) බොහෝදුරට සමාන වීමත් එහි ඇති විශේෂත්වයක්.

බ්‍රිතාන්‍යයේ ඇති වෙනත් ගස්වලට වඩා ඕක් ගස කුඩා කෘමීන් දහස් ගණනක් ඇතුළුව තවත් බොහෝ සතුන්ට නිවහනක් වී තිබෙනවා. පොත්තේ තිබෙන කුහරවල විවිධ කෘමීන් සිටින නිසා උන්ව ආහාරයට ගැනීම සඳහා විවිධ කුරුල්ලන් සහ මකුළුවන් ගසට රොක් වෙනවා. බකමූණන් සහ වවුලන් උන්ගේ දිවා කාලය ගත කිරීම සඳහා තෝරාගෙන තිබෙන්නේ ගසේ ඇති බෙනයි. ඒ වගේම මීයන්, හාවුන්, හිවලුන්, බැජර් වැනි සතුන්ටද මේ ගසේ මුල් ආරක්ෂාව සපයනවා.

සාමාන්‍යයෙන් වසරකට ගසකින් 2,50,000ක් පමණ කොළ හැළෙනවා. ඒවා සියල්ලම දිරාපත් වී පස සාරවත් කරනවා. ඊට අමතරව සමහර කාලවල එක් ගසක පමණක් 50,000ක් පමණ පල හටගන්නවා. මේවායින් වැඩි හරියක්ම ආහාරයට ගන්නේ කුරුල්ලන් හා කුඩා සත්ව විශේෂයි. සමහර දළඹුවන් ඕක් දළු ආහාරයට ගැනීමට විශේෂ රුචිකත්වයක් දක්වනවා. ඒ නිසා එය පාලනය කිරීමට ගස විසින්ම ටැනින් නමැති කහට වර්ගය නිපදවනවා. එවිට දළු නිරස වෙනවා. ගසෙන් වැටෙන පොතු කැබලි කුඩා කෘමීන් කා දමනවා. ඊට අමතරව කඳේ තිබෙන දිලීරද කඳෙන්ම පෝෂණය උරාගන්නවා.

ඕක් ගසෙන් ගන්නා දැව ඉතාමත් ශක්තිමත් හා කල් පවතිනවා. එමනිසා ඒවා නිවාස ඉදි කිරීමට මෙන්ම අලංකාර ගෘහ භාණ්ඩ සෑදීමටද යොදාගන්නවා. ඒ වගේම බියර් හා වයින් සඳහා භාවිත කරන පීප්ප සාදන්නන් අතරද ඕක් ලී ඉතා ජනප්‍රියයි. පුරාණයේ බලවත්ම නාවික හමුදාව තිබූ බ්‍රිතාන්‍යයේ නැව් වැඩි හරියක්ම සාදා තිබුණේ ඕක් ලීවලිනුයි.

මේ ගස අදටත් බ්‍රිතාන්‍යයේ බහුලව දකින්න ලැබෙනවා. එදා වගේම අදත් ඕක් දැවවලට ඇති ඉල්ලුම වෙනස් වී නැහැ. ඕක් ගස සැලකෙන්නේ ශක්තියේ හා කල් පැවැත්මේ සංකේතයක් ලෙසයි. පුංචි බීජයකින් බිහි වන මේ දැවැන්ත ඕක් ගස දෙවිගේ විශිෂ්ට නිර්මාණ අතරින් එකක් ලෙස හැඳින්විය හැකියි.

[18වන පිටුවේ පින්තූරය]

ඕක් ගස අවුරුදු 1,000කටත් වඩා පවතින අතර අඩි 130ක් පමණ උසට වැඩෙන මෙහි වටප්‍රමාණය අඩි 40කටත් වඩා වැඩියි

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Tree: © John Martin/Alamy; acorn: © David Chapman/Alamy