Skip to content

පටුනට යන්න

මාගේ හොඳම ධාවන තරඟය

මාගේ හොඳම ධාවන තරඟය

මාගේ හොඳම ධාවන තරඟය

පැවසුවේ කාල් එරික් බර්ග්මන්

දුවන්න මම හරිම ආසයි. ඒකට සහජ හැකියාවකුත් තිබුණා. ඒ නිසාම පසු කාලයේදී මගේ ජීවිතයම වුණේ කෙටි දුර ධාවනයයි.

මම මුලින්ම ක්‍රීඩා සමාජයකට බැඳුණේ 1972දීයි. එතකොට මට වයස අවුරුදු 17යි. දක්ෂ මලල ක්‍රීඩකයෙකු වෙන්න තව කොයි තරම් දේවල් කරන්න තියෙනවාද කියලා වැඩි කල් යන්න කලින් මට තේරුණා. ඒ වගේම කෙටි දුර ධාවන ශූරයෙක් වෙන්න සහජ හැකියාව විතරක් මදි කියලත් මම තේරුම්ගත්තා. ඒ සඳහා ඕනෑම දෙයක් කරන්නත් මම සූදානමින් සිටියා.

මට වයස අවුරුදු 22 වෙනකොට ෆින්ලන්තයේ ජාතික කණ්ඩායමට මාව තෝරාගත්තා. ඒ වගේම ඊළඟ අවුරුද්දේ මීටර් 100 ඉසව්වෙන් හොඳම කාලය වාර්තා කළේ මමයි. නමුත් පසුව මගේ කකුලේ ඇති වූ ආබාධයක් නිසා මගේ ඉදිරි ගමන ඇන හිටියා. ඒත් ධාවනයට තිබුණ මගේ ආසාව නිසා පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරන්න මම පටන්ගත්තා. ඊටපස්සේ මම 1982දී කැලිෆෝනියාවට ගිහින් එහේ විශ්වවිද්‍යාලයකින් වැඩිදුර ඉගෙනගන්නත් ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක් කරන්නත් සැලසුම් කළා. ඒ වෙනකොට මම ගුවන් ටිකට්පතකුත් අරගෙනයි තිබුණේ.

ජීවිතයේ ලොකු වෙනසක්

මගේ ඒ ගමන යන්න ටික දවසකට කලින් එක සන්ධ්‍යාවක කාන්තාවන් දෙදෙනෙක් මගේ නිවසට ආවා. ඒ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඔවුන් හරිම තැන්පත්. සාමාන්‍යයෙන් හොඳ මලල ක්‍රීඩකයෙකු වෙන්නත් ඒ වගේ ගුණාංග තියෙන්න ඕනේ. මම ඒ දෙන්නට එන්න කියලා ඉඳගන්න කිව්වා. ඒ සාකච්ඡාවෙන් මට ගොඩක් දේවල් හොඳට අවබෝධ වුණා. ඒ දෙන්නා යනකොට මට පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක කියන පොත දීලා ගියා. * ඒ පොත භාගයක් විතර කියවගෙන යනකොට මට තේරුණා මේක තමයි සත්‍යය කියලා. ආයේ දවසක ඒ දෙන්නා මාව හමුවෙන්න ආවා. ඒ වෙලාවේ මම ඇහුවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න මම මොනවද කරන්න ඕනේ කියලා. මුලින්ම බයිබල් පාඩමක් පටන්ගන්න කියලා ඒ අය මට කිව්වා.

මම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා විතරක් නෙවෙයි සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්නත් පටන්ගත්තා. එහේ හැම දෙයක්ම ඉගැන්නුවේ බයිබලයෙන්. මම ඉගෙනගත් දේවල් නිසා මට තේරුණා ජීවිතයේ වඩාත්ම වැදගත් දෙය මොකක්ද කියලා. ඒ නිසා මම මගේ අදහස වෙනස් කරගෙන ඒජන්සියට ගිහිල්ලා ටිකට් එක දීලා ආයෙත් සල්ලි ඉල්ලගත්තා. ඒ සල්ලිවලින් මම රැස්වීම්වලට යන්න ඇඳුමකුයි බයිබල් පොත් දාගෙන යන්න බෑග් එකකුයි ගත්තා. අන්තිමේදී මම 1983දී හෙල්සින්කි කියන ප්‍රදේශයේ පැවැත්වූ දිස්ත්‍රික්ක සමුළුවකදී බව්තීස්ම වුණා.

තවත් ක්‍රීඩකයන්

මේ වටිනා බයිබල් සත්‍යය යාළුවන්ට කියන්න මට තිබුණේ ලොකු ආසාවක්. හැබැයි ඒ අය ඒක පිළිගත්තේ නැහැ. මගේ යාළුවෝ ටිකෙන් ටික මගෙන් ඈත් වුණා. මට පිස්සු කියලා කටකතාවකුත් පැතිරුණා. මම බව්තීස්ම වුණාට පස්සෙත් මගේ පරණ යාළුවන්ව නිතර නිතර ක්‍රීඩාංගනයේදී මුණගැහුණා. ඒ වගේ අවස්ථාවලදී අපි බයිබලය ගැන සාකච්ඡා කළා. එතකොට ඒ අයට තේරුණා මගේ ආකල්ප වෙනස් වෙලා මිසක් මට පිස්සු හැදිලා නැහැ කියලා.

මම කිව්ව දේවල් ගැන ටිකක් හිතලා බලන්න වටිනවා කියලා සමහර අය පසුව තේරුම්ගත්තා. ඒකට හේතුව වුණේ මට කලින් තිබුණ කේන්ති යන ගතිය වගේම පහත් කතාබහත් මම දැන් වෙනස් කරගෙන තිබුණ නිසයි. බයිබලය ගැන ඉගෙනගන්න කිහිපදෙනෙක්ම කැමති වුණා. මම හුඟක් ආස කළ දෙයක් තමයි ක්‍රිස්තියානියෙකුගේ ජීවිතය බයිබලයේ මලල ක්‍රීඩකයෙකුට සමාන කරලා තියෙන විදිහ අනික් අයට පෙන්නන එක. ඒකට හේතුව අපිත් ඉන්නේ සදාකාල ජීවනය නමැති තෑග්ග ලබාගැනීමේ තරඟයක නිසයි.2 තිමෝති 2:5; 4:8.

ඇත්තටම අපේ ජීවිතවලට සැබෑ අර්ථයක් සහ සතුටක් ලැබෙන්නේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දස්කම් දැක්වීමෙන් නෙවෙයි, අපේ නිර්මාතෘව සතුටු කරවන දේවල් කිරීමෙනුයි. මම අනික් ක්‍රීඩකයන් සමඟ කළ සාකච්ඡාවලින් පස්සේ ඒ අයත් ඔවුන්ගේ ජීවිතවල ඉලක්ක ගැන නැවත කල්පනා කරන්න පටන්ගත්තා. ඒ නිසා ඔවුන්ගෙන් සමහර අය මම වගේම බයිබල් සත්‍යය ඉගෙනගත්තා. සතුටට කරුණක් නම් ඔවුන් මලල ක්‍රීඩාවේදී වගේම දෙවිට කරන සේවයේදීත් දැඩි කැප වීමකින් කටයුතු කිරීමයි.

මීටර් 800 ඉසව්වේ දක්ෂ ක්‍රීඩිකාවක් වූ ඉවෝන් ඒ අයගෙන් එක් කෙනෙක්. ඇය ඒ වන විට ස්කැන්ඩිනේවියාවේ වේගවත්ම ධාවන ශූරියයි. ඒ වගේම ඇය ෆින්ලන්තයේ ජාතික ඉසව්වෙනුත් වාර්තා තැබූ ක්‍රීඩිකාවක්. වරක් ඇය ෆින්ලන්තය නියෝජනය කරමින් යුරෝපියානු මලල ක්‍රීඩා ඉසව්වල දස්කම් පෙන්වා තිබෙනවා. නමුත් අපි කළ සාකච්ඡාවෙන් ඇය තේරුම්ගත්තේ මේ ලෝකයේ ක්‍රීඩා තරුවක් ලෙස බැබලෙන්න උත්සාහ කිරීම නිෂ්ඵල දෙයක් බවයි. මේ ලෝකයේ තිබෙන දේවල් පහව යමින් තිබෙන බවත් ඒ වෙනුවට දෙවිගේ රාජ්‍යය පැමිණෙන බවත් ඇය තේරුම්ගත්තා.—1 යොහන් 2:17.

ඇයත් ඉක්මනින්ම බයිබල් පාඩමක් පටන්ගත්තා. ඒ වෙනකොට ඇය යූකෝ කියලා කෙනෙක් එක්ක විවාහ වෙන්න සූදානමිනුයි හිටියේ. යූකෝත් ෆින්ලන්තයේ ජාතික මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයෙක්. වරක් ඔහුත් යුරෝපියානු තරඟ ඉසව් මෙන්ම ලෝක ශූරතා මලල ක්‍රීඩා ඉසව්වලදී ෆින්ලන්තය නියෝජනය කර තිබෙනවා. පස්සේ ඒ දෙන්නාම ක්‍රීඩා ක්ෂේත්‍රයේ වෘත්තියක් සඳහා ඇමරිකාවට ගියා.

එහේදිත් ඉවෝන් දිගටම බයිබලය පාඩම් කළා. යූකෝත් ඇයත් එක්ක පාඩම් කළත් ඔහුගේ චේතනාව වුණේ ඇය ඉගෙනගන්නා දේවල යම් වරදක් සොයාගෙන ඇගේ හිත වෙනස් කරන්නයි. ඒත් ඔහුටත් නොදැනුවත්වම බයිබල් සත්‍යය ඔහුගේ හදවතට කිඳා බසින්න පටන්ගත්තා. ඉවෝන් සහ යූකෝ විවාහ වුණාට පස්සේ යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වුණා. දැන් ඔවුන් පූර්ණකාලීනව යෙහෝවා දෙවිට සේවය කරනවා.

ඒ වගේම මට බාබෘ කියලා ක්‍රීඩිකාවක් එක්කත් බයිබලය පාඩම් කරන්න අවස්ථාව ලැබුණා. ඇය මීටර් 400 කාන්තා ඉසව්වෙන් ෆින්ලන්ත ශූරතාව දිනාගත් ක්‍රීඩිකාවක්. බාබෘ ඒ කාලයේදී යුරෝපියානු මලල ක්‍රීඩා ඉසව්වලදීත් ෆින්ලන්තය නියෝජනය කළා. පස්සේ ඇය ඇගේ ස්වාමිපුරුෂයා වන යාමෝ සමඟ ස්වීඩනයේ පදිංචියට ගියා. ඔහු රිටි පැනීමේ ක්‍රීඩකයෙක්. ඔවුන් දෙදෙනාම එහේදිත් දිගටම බයිබලය පාඩම් කළා. ඒ දෙන්නා හිටියේ ජීවිතයේ අරමුණ මොකක්ද යන ප්‍රශ්නය ගැන කල්පනා කරමිනුයි. බයිබලයෙන් ඒකට ඔවුන්ට පිළිතුරු ලැබුණා වගේම ඊට ටික කාලෙකට පස්සේ ඒ දෙන්නා බව්තීස්ම වුණා. යාමෝ භෞත චිකිත්සකයෙකු ලෙස සේවය කරනවා. ඊට අමතරව ඔවුන් දෙදෙනාම උද්‍යෝගයෙන් දෙවිට සේවය කරනවා. ඒ වගේම යාමෝ සභාවේ වැඩිමහල්ලෙක් හැටියටත් සේවය කරනවා.

ඊළඟට මම බයිබල් සත්‍යය ගැන කතා කළේ තවත් දක්ෂ ධාවන ක්‍රීඩිකාවක් වන හයිඩිටයි. ඒ වෙනකොට ඇයට අවුරුදු 13ක් විතර ඇති. ඇය දෙවිට හුඟක් ළැදි කෙනෙක් කියලා මට තේරුණා. ඒ නිසා දවසක් මම ඇයට දේවරාජ්‍යය ගැනත් ඒකෙන් ලැබෙන ආශීර්වාද ගැනත් කතා කළා. ඊටපස්සේ මම මෙහෙම ඇහුවා. “ඒ පොරොන්දු ඉටු වෙයි කියලා ඔයා විශ්වාස කරනවාද?”—ගීතාවලිය 37:11, 29; මතෙව් 6:9, 10.

ඒ ප්‍රශ්නෙට ඇය “ඔව්” කියලා කිව්වා. ඇයටත් බයිබලය ගැන ඉගෙනගන්න ඕනේ වුණ නිසා මම අපේ සහෝදරියක්ව ඇයට හඳුන්වලා දුන්නා. ඊට අවුරුදු කිහිපයකට පස්සේ හයිඩිත් දෙවිට කැප වෙලා බව්තීස්ම වුණා. දෙවිට හුඟක් ප්‍රේම කළ ඇය පසුව මගේ ආදරණීය බිරිඳ බවට පත් වුණා. ඇය ඇත්තටම මට හොඳ සහයිකාවක්. ඒ වගේම දෙවිට සේවය කිරීමට ඇයට තිබෙන්නේ පුදුමාකාර කැප වීමක්. ඒ කැප වීම ඇය ක්‍රීඩාවට යෙදෙව්වා නම් මේ වන විට ඇය ඉහළ පෙළේ මලල ක්‍රීඩිකාවක් වෙලා ඇති.

මගේ මල්ලී පීටරුත් ක්‍රීඩකයෙක්. මම මුලින්ම බයිබලය පාඩම් කරන්න පටන්ගන්න කොට එයා ඒකට එච්චර කැමති වුණේ නැහැ. ඒත් මම එයාට පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක කියන පොත දුන්නා. පස්සේ දවසක මල්ලී ඇවිත් මට මෙහෙම කිව්වා. “මම මේ පොත කියෙව්වා. ඒත් ඒකේ තියෙන දේවල් මට තේරෙන්නේ නැහැ.” ඒ නිසා එයත් එක්ක පාඩම් කරන්න කියලා මම සහෝදරයෙකුට කිව්වා. එයත් මාස හතරක් විතර බයිබලය පාඩම් කළාට පස්සේ බව්තීස්ම වුණා. පසු කාලයේදී එයත් විවාහ වුණා. දැන් ඔහුගේ බිරිඳ පූර්ණකාලීන සේවයේ හවුල් වෙනවා.

ධාවන තරඟයේ ඉදිරියටම

මම බව්තීස්ම වෙන්න කලින් ඉඳලාම හිතාගෙන හිටියේ වෙනත් රටකට ගිහින් දෙවිට සේවය කරනවා කියලයි. බව්තීස්ම වුණ ගමන්ම වගේ මමත් පූර්ණකාලීන සේවය පටන්ගත්තා. ජීවනය සඳහා දිව යන මේ තරඟයේදී ඊට අපගේ මුළු වීර්ය දමන්න ඕනේ. ඒ නිසා මමයි මගේ බිරිඳයි නිව් යෝර්ක් නගරයේ තියෙන ගිලියද් පුහුණු පාසැලට සහභාගි වෙන්න අයදුම්පතක් යැව්වා. ඒ සඳහා 1994දී අපිට ආරාධනයක් ලැබුණා. ඒ පාසැලෙන් පසුව අපිට සේවය කිරීමට පැවරුම ලැබුණේ ලැට්වියාවටයි. එහේ වැඩිදෙනෙක් කතා කරන්නේ රුසියානු භාෂාවයි.

ඒ වෙනකොට සෝවියට් ජනරජය කඩාවැටීම නිසා හුඟක් අය හිටියේ බලාපොරොත්තු සුන් වෙලයි. බයිබලය භාවිත කරන එකත් තහනම් කරලයි තිබුණේ. ඒත් බයිබලයේ තියෙන්නේ මොනවාද කියලා දැනගන්න හුඟදෙනෙක් හරිම ආශාවෙන් හිටියා. මම ජීවිතයේ මුහුණ දුන් ලොකුම අභියෝගවලින් එකක් වුණේ රුසියානු භාෂාව ඉගෙනගන්න එකයි. කොහොමවුණත් අවුරුදු හයක් විතර ලැට්වියාවේ සේවය කළාට පස්සේ චාරිකා සේවකයෙක් විදිහට මට පැවරුමක් ලැබුණා. මම අද දක්වා මගේ බිරිඳ එක්ක කරමින් ඉන්නේ ඒ සේවයයි.

පාරාදීස පොළොවේ “සැබෑ ජීවිතය” ලබාගැනීම සඳහා අවුරුදු ගණනාවක් පුරා බොහෝ අයට උපකාර කරන්නත් මට හැකි වුණා. (1 තිමෝති 6:19) ක්‍රීඩකයෙකුගේ උපරිම දස්කම් ඉස්මතු කරන්න නම් ඔහුව තේරුම්ගැනීම අවශ්‍යයි. ඔහු දස්කම් පෙන්වන පැති දියුණු කිරීමත් ඔහුගේ දුර්වලකම් අවම කරගැනීමට උපකාර කිරීමත් ඔහු තුළ හොඳ අධිෂ්ඨානයක් හා විශ්වාසයක් ඇති කිරීමත් පුහුණුකරුගේ වගකීමයි.

සාර්ථක මලල ක්‍රීඩකයෙක් නොකඩවා පුහුණුවීම්වල යෙදෙනවා වගේම ජයග්‍රහණය කියන්නේ ඔහුට නිකම්ම සිහිනයක් නොවෙයි. ඒ සඳහා ඔහු යම් ඉලක්ක තබාගෙන ටිකෙන් ටික ඒවා අත් කරගන්නවා. නමුත් ඔහුට තිබෙන ඉලක්කය ඔහු අමතක කළොත් මහන්සි වී කළ පුහුණුවෙන් කිසි ඵලක් නැහැ. පාවුල්, කොරින්තිවරුන්ට ලියූ ලිපියේ ක්‍රිස්තියානියෙකුව, මලල ක්‍රීඩකයෙකුට සමාන කළා. ඒක මොන තරම් ඇත්තද කියලා මට හොඳට තේරුණා. ක්‍රිස්තියානියෙක්ද තම ඉලක්කය අත් කරගන්න පුහුණු වෙන්න ඕනේ.

සාර්ථක මලල ක්‍රීඩකයෙක් ඔහුගේ ආහාර පාන ගැනද ඉතා සැලකිලිමත්. ක්‍රිස්තියානියෙකුගේ තත්වයද ඒ හා සමානයි. පාවුල් පැවසූ ලෙස ඔහු ‘භූතයන්ගේ මේසයෙන්’ ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා. ඒ කියන්නේ ඔහු තම සිත දූෂ්‍ය කරන දේවලින් මනස පුරවාගැනීමෙන් වැළකී දෙවි දෙන මඟ පෙන්වීම්වලින් මනස පෝෂණය කරගන්නවා. (1 කොරින්ති 10:21) ඒ වගේම යම් දුෂ්කර තත්වයන්ට මුහුණ දුන්නත් ඔහුගේ අධිෂ්ඨානය ඔහු අත්හරින්නේ නැහැ. ඔහු තම වැරදි නිවැරදි කරගෙන ඉදිරියටම යනවා. තවදුරටත් පාවුල් ක්‍රිස්තියානියෙක් කටයුතු කරන විදිහ ගැන මෙසේ පෙන්වා දුන්නා. “මා දුවන්නේ අරමුණක් ඇතුව මිස දෙගිඩියාවෙන් නොවේ.” එම ධාවන තරඟයේදී දෙවිගේ අනුමැතිය අහිමි නොවීම සඳහා ‘මම මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙන’ බවද ඔහු පැවසුවා.—1 කොරින්ති 9:24-27.

මමයි හයිඩියි අපේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන නිසා තවමත් නිතරම ව්‍යායාම් කරනවා. නමුත් අපි යෙහෝවා දෙවිට කරන සේවයට බාධාවක් වෙන්න ඒ කටයුතුවලට ඉඩ දෙන්නේ නැහැ. (ගීතාවලිය 139:14) අපි දෙදෙනාගේම ඉලක්කය වන්නේ පාරාදීස පොළොවේ සදාකාල ජීවනය නමැති ත්‍යාගය ලබාගන්නයි.—1 තිමෝති 4:8.

පුරාණයේ සිටි ‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන්’ සමූහය ගැන විස්තර කළාට පස්සේ පාවුල් සියලුම ක්‍රිස්තියානීන්ට මෙසේ දිරිගැන්නුවා. “අපට බරක් විය හැකි සෑම දෙයක්ම හා අපව පහසුවෙන් හසු කරගන්නා පාපයද අහක දමමු. එලෙසම අප සහභාගි විය යුතු ධාවන තරඟය විඳදරාගැනීමෙන් යුතුව දුවමු.” (හෙබ්‍රෙව් 12:1) ඇත්තටම කියනවා නම් ඒ තරම් වටිනා ධාවන තරඟයක් තවත් නැහැ. ඒ ධාවන තරඟයට සහභාගි වී ජය ගන්නා හැම තරඟකරුවෙකුටම නිමක් නැති ආශීර්වාද ලබන්න අවස්ථාව උදා වෙනවා.—2 තිමෝති 4:7, 8.

[පාදසටහන]

^ 7 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි. දැන් මුද්‍රණය නොකෙරේ.

[14වන පිටුවේ පින්තූරය]

වමේ සිට: හයිඩි, ඉවෝන් සහ මම පහළ: යූකෝ සහ ඔවුන්ගේ දියණිය 1980 ගණන්වලදී

[15වන පිටුවේ පින්තූරය]

හයිඩි සමඟ දේවසේවයේදී

[15වන පිටුවේ පින්තූරය]

2009දී හෙල්සින්කිවල පැවති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික්ක සමුළුවේදී. ඉවෝන් සහ යූකෝ අපිට වම් පසින්, යාමෝ සහ බාබෘ දකුණු පසින්

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Published in Aamulehti 8/21/1979