Skip to content

පටුනට යන්න

යර්ට් තැනට ඔබින නිවහන

යර්ට් තැනට ඔබින නිවහන

යර්ට් තැනට ඔබින නිවහන

‘යර්ට්’ කියන නම ඔබ අසා තිබෙනවාද? මධ්‍යම ආසියාවේ සමහර ප්‍රදේශවල තැනින් තැන ගොස් ජීවත් වන මිනිසුන් සාදාගන්නා කූඩාරම් හඳුන්වන්නේ එම නමිනුයි. මොංගෝලියාවේ හා කසක්ස්තානයේ තණබිම්වල සිට කිර්ගිස්තානයේ කඳුකර ප්‍රදේශ දක්වා මේවා දැකගන්න ලැබෙනවා.

මේවායේ හැඩය රවුම්. ඒවායේ ඇතුළත බිත්ති අලංකාර රටා දැමූ පැදුරු හා ගනකම් රෙදිවලින්ද පිටත බැටළු ලොම්වලින් වියන ලද ගනකම් රෙදිවලින්ද ආවරණය කර තිබෙනවා. මෙම කූඩාරම් සවි කිරීම සහ ගැලවීම ඉතා පහසුයි. ඒ වුණත් ඒවා ශක්තිය අතින්ද කිසි අඩුවක් නැහැ. ග්‍රීෂ්ම කාලයේදී වගේම ශීත කාලයේදීත් ඒවා තුළ සුව පහසුව ජීවත් වෙන්න පුළුවන්. කිර්ගිස්තානයේ තිබෙන මෙම නිවහන් නම් කර ඇත්තේ අළු පැහැති ගෙවල් යන නමින් වන අතර කසක්ස්තානයේ ඒවා හඳුන්වන්නේ ලොම් ගෙවල් ලෙසයි. මොංගෝලියානුවන් ගර් නමින් ඒවා හඳුන්වන අතර එහි අර්ථය වන්නේ “නිවස” යන්නයි.

සමහර කූඩාරම් අළු හෝ දුඹුරු පැහැයෙන් මෙන්ම තවත් ඒවා දීප්තිමත් සුදකින් යුක්තයි. එසේ වන්නේ ඒ සඳහා භාවිත කරන බැටළු ලොම්වල වර්ණය නිසයි. කසක්ස්තානයේ හා කිර්ගිස්තානයේ මේවා විවිධ මෝස්තරවලින් අලංකාර කර තිබෙන්නේ සායම් තැවරූ බැටළු ලොම් භාවිත කරමිනුයි. පුරාණයේ සමහර කූඩාරම්වල බිම සහ බිත්ති ඉතා උසස් අලංකාරයෙන් යුත් රෙදිවලින් සරසා තිබුණා. ඉන් කියාපෑවේ එහි සාමාජිකයන්ගේ තත්වයයි.

මෙම කූඩාරම් සවි කිරීමේදී එහි වැදගත් කොටසක් වන්නේ ඉහළට සවි කරන රවුමයි. වහලේ සියලුම පොලු සම්බන්ධ වන්නේ එයටයි. එම ශක්තිමත් රවුමෙන් කූඩාරමට හොඳ ශක්තියක් ලැබෙනවා. එය ආවරණය කර ඇති ලොම් රෙද්ද ඉවත් කිරීමෙන් හොඳ වාතාශ්‍රයක් ලබාගත හැකියි. එමෙන්ම ඒ තුළින් රාත්‍රී කාලයේදී පැහැදිලි අහස දැකගැනීමටද පවුලේ සාමාජිකයන්ට හැකියි.

තැනින් තැන ජීවිතයට කදිමයි

කසක්ස්ථානය, කිර්ගිස්තානය හා මොංගෝලියාව යන රටවල මෙවැනි කූඩාරම්වල වෙසෙන අය තවමත් සිටිනවා. මොංගෝලියාවේ මෙම කූඩාරම් තැනින් තැනට ගෙන යෑම සඳහා ඔවුන් භාවිත කරන්නේ ඔටුවන්වයි. ඒ ගැන බෙකී කෙමරි නම් ලේඛිකාව මෙවැනි දෙයක් වාර්තා කළා. “ඔටුවාගේ පිටේ දෙපැත්තේ සමබරව සිටින ලෙස මුලින්ම එහි පොලු පටවනවා. ඊටපස්සේ පොලු සවි වන වළල්ල උගේ මොල්ලිය මත තබනවා. කූඩාරම ආවරණය කරන රෙද්ද තවත් ඔටුවෙකු පිට පටවනවා. ඔටුවන් නැත්නම් යැක් ගවයන් හෝ අශ්වයන් බඳින කරත්තවල දමාගෙන යනවා. සමහර වෙලාවට ඔවුන් ඒ සඳහා ට්‍රක් රථද භාවිත කරනවා.”

මොංගෝලියාවේ තිබෙන කූඩාරම් අනික් ඒවාට වඩා ටිකක් වෙනස්. ඒවායෙහි මුදුන පැතලියි. ඔවුන් එසේ කරන්නේ තැනිතලාව හරහා හමන සැඩ සුළඟෙන් හා අකුණු ගැසීම්වලින් ආරක්ෂා වීමටයි. කිර්ගිස්තානයේ සහ කසක්ස්තානයේ යර්ට් කූඩාරම්වල උල් හැඩයක්ගන්නා අතර එහි ප්‍රධාන දොර නිතරම තබන්නේ නැඟෙනහිරට මුහුණලායි. විවිධ මෝස්තර හා වැඩ දැමූ ඇතිරිලි පිළිවෙළට නවා අසුරා තිබෙන්නේ හරියටම දොරට ඉදිරියෙන් කූඩාරමේ අනික් කෙළවරෙයි. විශේෂ අමුත්තෙක් හෝ පවුලේ වැඩිමහල් පිරිමියා එම ඇතිරිලිවලට ඉදිරියෙන් අසුන්ගැනීම ඔවුන්ගේ සිරිතයි. ඊට හේතුව ඔවුන් එය විශේෂ ස්ථානයක් ලෙස සැලකීමයි.

කූඩාරමේ දකුණු පැත්ත වෙන් කර තිබෙන්නේ කාන්තාවන් සඳහායි. ඉවුම්පිහුම් උපකරණ, පිරිසිදු කිරීමේ උපකරණ හා ලොම් රෙදි සෑදීමේ උපකරණද අසුරා තිබෙන්නේ ඒ කොටසේයි. සෑදල, දඩයම් කිරීමේ ආයුධ හා සතුන්ගේ ආම්පන්න වැනි පිරිමි පක්ෂය භාවිත කරන උපකරණ තිබෙන්නේ අනික් පැත්තේයි.

වෙනස්කම්වලට මුහුණ දෙමින්

වර්ෂ 1917දී රුසියාවේ සිදු වූ බොල්ෂෙවික් විප්ලවය, නැනින් තැන ගොස් ජීවත් වූ අයගේ ජීවිතවලටත් ප්‍රබලව බලපෑවා. මධ්‍යම ආසියාව පුරා පාසැල්, රෝහල් සහ මංමාවත් ඉදි වීම නිසා කුඩා ජනපද බිහි වුණා. ඒ නිසා ඔවුන් තැනින් තැන යනවා වෙනුවට බොහෝදෙනෙක් ස්ථිර පදිංචියට හුරු වුණා.

කාලයාගේ ඇවෑමෙන් මේ ආකාරයට ගම් හා නගරද බිහි වෙන්න පටන්ගත්තා. ඒ වුණත් මහා පරිමාණ සත්ව ගොවිපොළවල් හිමියන් ග්‍රීෂ්ම කාලයේදී යර්ට් කූඩාරම් ගසාගන්නවා දැකගත හැකියි.

දැන් තිස් ගණන්වල පසු වන කිර්ගිස්තානු ජාතික මක්සාත් අතීතය සිහි කරමින් මෙසේ පවසනවා. “ඒ කාලයේදී මම සත්තු බලාගන්න තාත්තට උදව් කරනවා. සාමාන්‍යයෙන් ජූලි මාසය වගේ වෙනකොට අයිස් දියවෙලා යනවා. එතකොට අපි සත්තු ටික අරන් කඳුකර ප්‍රදේශයට යනවා. එහේ හොඳට තණකොළ තියෙනවා.

“උයන්න පිහින්න වතුර ඕනේ නිසා අපි පොඩි දියපාරක් ළඟ අපේ යර්ට් කූඩාරම හදාගන්නවා. ඒ විදිහට ඔක්තෝබර් මාසයේ මුල්හරිය වෙනකල් ඒ කියන්නේ ශීත කාලය පටන්ගන්න කල් අපි එහේ ඉන්නවා.”

නවීන දින යර්ට්

කිර්ගිස්තානයේ සමහර පාර දෙපස අදටත් යර්ට් කූඩාරම් දැකගත හැකියි. දැන් ඒවා භාවිත කරන්නේ ගබඩා හෝ ආපන ශාලා ලෙසයි. කිර්ගිස්තානයේ කඳුකර ප්‍රදේශයේ හා ඉසික් කෙල් විල අසල යර්ට් කූඩාරම් ඉදි කර තිබෙනවා. ඒ සංචාරකයන්ට පැමිණ රාත්‍රියක් ගත කිරීමේ පහසුව සඳහායි.

සාම්ප්‍රදායික අවමංගල්‍ය උත්සවවලදී මේ කූඩාරම් භාවිත කරනවා. ඒ ගැන මක්සාත් මෙසේ පැහැදිලි කරනවා. “කිර්ගිස්තානු ජාතිකයෙක් මිය ගියාම මෘතදේහය යර්ට් කූඩාරමක තියෙනවා. ඊටපස්සේ පවුලේ අය, ඥාතීන් සහ මිතුරන් ඇවිත් ශෝකය ප්‍රකාශ කරනවා.”

දැන් බටහිර රටවලත් යර්ට් කූඩාරම් ජනප්‍රිය වෙමින් තිබෙනවා. බොහෝදෙනා ඒවාට වැඩි කැමැත්තක් දක්වන්නේ ඒවා පරිසර හිතකාමී නිසයි. ඒ වුණත් වර්තමාන යර්ට් කූඩාරම් මුල් ඒවාට වඩා තරමක් වෙනස්. වර්තමානයේ භාවිත කරන අමුද්‍රව්‍ය උසස් තාක්ෂණයකින් යුක්තයි. අද දින ඒවා ඉදි කරන්නේ ස්ථිර නිවාස ලෙසයි.

මෙම කූඩාරම් තැනීම ආරම්භ කළ රට කුමක්ද කියා අප හරියටම දන්නේ නැති වුණත් ඒවායෙහි ජීවත් වූ අයට නම් ඒවා බොහෝ සේ ප්‍රයෝජනවත් වූ බවට කිසිම සැකයක් නැහැ. මධ්‍යම ආසියාවේ තැනින් තැන ගොස් ජීවත් වන අයට නම් මේ කූඩාරම් ඔවුන්ගේ ජීවිතයේම කොටසක් වෙලා. ඒ විතරක් නෙවෙයි යර්ට් කූඩාරම්වලින් ඔප්පු වන්නේ මේ ජනයා ඉතාමත් දක්ෂ මෙන්ම විවිධ තත්වයන්ට අනුව හැඩගැසීමට හැකියාවක් ඇති පිරිසක් බවයි.

[17වන පිටුවේ පින්තූරය]

කිර්ගිස්තානයේ ඉසික් කෙල් විල අසල ඉදි කර ඇති කූඩාරම්