Skip to content

පටුනට යන්න

අරුම පුදුම මීයෙක්

අරුම පුදුම මීයෙක්

අරුම පුදුම මීයෙක්

දවසක් මම කඳුකර ප්‍රදේශයක ඇවිදගෙන යනකොට එකපාරටම කවුරු හරි හුඟක් හයියෙන් උරුවම්බාන ශබ්දයක් ඇහුණා. ඒක කොහෙන්ද ආවේ කියලා බලනකොට ලෝමවලින් වැසුන හුරුබුහුටි කුඩා සතෙක් ගල් අස්සෙන් ගුහාවකට රිංගනවා මම දැක්කා. සත්තු ගැන තියෙන මගේ පොත අරගෙන බලනකොට මම දැනගත්තා උගේ නම ඇල්පයින් මාමට් කියලා.

මීපවුලට අයත් මේ සතුන් ගැන හුඟක් දේවල් දැනගන්න මට පුළුවන් වුණා. උන් අව්ව තපින්න කැමති තැන්, උන්ගේ ගුල් තියෙන තැන් වගේම කඳුකර ප්‍රදේශයේ දිවි ගෙවන විදිහත් මම දැනගත්තා.

කල්පනාකාරී හවුල් වැඩකරුවෝ

මාමට් සතුන්ට ඇල්පයින් කඳුකරයේ දිවි ගෙවීම එතරම් පහසු කාර්යයක් නොවෙයි. සමහර අවුරුදුවල මාස ගාණක් පුරා හිමවලින් වැසී තිබෙනවා. ඊට අමතර සමහර සතුන් හා කුරුල්ලන් උන්ව ගොදුරු කරගන්නවා. ඒ නිසා මේ සතාට සුපරීක්ෂාකාරීව සිටීමත් සහයෝගයෙන් වැඩ කිරීමත් ඉතාමත් අවශ්‍යයි.

උන් වෙසෙන්නේ කුඩා රංචු හැටියටයි. එවැනි රංචුවක සිටින්නේ අම්මයි තාත්තයි පැටවුන් කිහපදෙනෙකුයි පමණයි. සෑම පවුලකටම ගුල් කිහිපයක් තිබෙනවා. එක් ගුලක් ස්ථිර වාසස්ථානයක් හැටියට භාවිත කරන අතර අනික් ඒවා භාවිත කරන්නේ හදිසි අවස්ථාවලදී ආරක්ෂාව සඳහායි. ඒ වගේම උන් ගුල් හාරන්නේද විශාල ගල් යටයි. එවිට ගල් උඩ අව්ව තපින්නත් අනතුරු දුර තියාම හඳුනාගන්නත් උන්ට පුළුවන්.

මේ සතුන් හරිම පිරිසිදුයි. ඒ සඳහා සාමාන්‍යයෙන් උන් කරන්නේ වැසිකිලියක් ලෙස වෙනම ගුලක් තනාගැනීමයි. උන් හාරන ප්‍රධාන ගුල ඇතුළ, ටිකක් විශාල ලෙස හාරාගෙන ඊට තණ කොළ වැනි දේවල් රැස් කරනවා. එසේ කරන්නේ එම ස්ථානය උණුසුම්ව තබාගැනීමටයි. එමෙන්ම ගැහැනු සතුන් පැටවුන් බිහි කරන්නේද එම ස්ථානයේයි. ඒ වගේම ශීත කාලයේදී මුළු පවුලටම උණුසුම්ව සිටීමටත් මෙය කදිම ස්ථානයක්.

සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා උන් රංචු වශයෙන් සිටීම අත්‍යවශ්‍යයි. උන්ට ඇති එක් වගකීමක් වන්නේ මුර සේවයේ යෙදීමයි. සාමාන්‍යයෙන් එක් සතෙකු මුර කරන අතරේ අනික් සතුන් ඒ අවටින් ආහාර සොයාගන්නවා. අනතුරක් දුටු සැණින් මුරකරු ඒ බව අනික් සතුන්ට දන්වනවා. උන්ගේ ප්‍රධාන සතුරෝ නම් රාජාලීන්, හිවලුන් සහ මිනිසුනුයි. රාජාලියෙකුව දුටු සැණින් මුරකරු දෙන අනතුරු ඇඟවීම ඉතා පහසුවෙන්ම හඳුනාගත හැකි නිසා එය ඇසුණු විගස අනික් සතුන් ආරක්ෂිත ස්ථානවලට ගොස් සැඟවෙනවා.

මාමට් පැටවුන් රාජාලීන්ගේ ප්‍රියතම ආහාරයක්. ඒ නිසා උන්ගේ ජීවිතය රැඳී තිබෙන්නේ උන් මුරකරුගේ හඬට කීකරු වෙනවාද නැද්ද යන්න මතයි. අනතුරු ඇඟවීමක් ලැබුණු සැණින් සියලුදෙනාම ගුල් තුළට රිංගාගන්නවා. විනාඩි කිහිපයකට පස්සේ මුරකරු හෙමින් සැරේ ගුලෙන් එළියට ඔළුව දමා පරිසරය ගැන පොඩි විපරමක් කරයි. පරිසරය ආරක්ෂා සහිතයි කියා ඌට දැනුණොත් නැවත සියලුදෙනාම ගුල්වලින් එළියට එනවා.

සැප නින්ද

මෙම හුරුබුහුටි සතුන් වෙසෙන ඇල්පයින් කඳුකර ප්‍රදේශයේ උන්ගේ ආහාර සඳහා ඇති තරම් තණකොළ තිබෙනවා. ඒ වගේම ගිම්හාන කාලයේදී පවා එතරම් රස්නයක් දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සිසිල් දවසක මෙම සතුන් කරන්නේ ගලක් මතට වී අව්ව තැපීමයි. උන්ට හුඟක් ලෝම තිබෙන නිසා උන් සීතලට හොඳින් ඔරොත්තු දුන්නත් ටිකක් රස්නේ දැනෙන දිනවලදී නම් උන්ට එය දරන්න අමාරුයි. මේ හේතුව නිසා උන් වැඩිපුරම ක්‍රියාශීලීව වැඩ කරන්නේ උදේ පාන්දර හා සවස් වරුවේයි.

මේ කුඩා සතුන් නිදාගැනීමට නම් හරිම හපන්නු. සාමාන්‍යයෙන් ශීත කාලයේදී මාස හයක් පමණ උන් ගුහාවට වෙලා ගුලිගැහිලා නිදාගන්නවා. ඊට අමතරව සෑම වසරකම මාස නවයක් පමණ කාලයක් නිදාගන්නා මාමට් පවුලට අයත් තවත් විශේෂයක්ද සිටිනවා. උන් මේ ආකාරයට මාස ගණන් නිදාගන්නා අතරේදී උන්ගේ ශරීර තුළත් විවිධ වෙනස්කම් සිදු වෙනවා. උදාහරණයකට ඒ කාලයේදී උන්ගේ හෘදය ස්පන්දනය වන්නේ විනාඩියකට සැරයක් හෝ දෙසැරයක් පමණයි. ඒ වගේම උන්ගේ ශරීර උෂ්ණත්වයද සෙල්සියස් අංශක පහට බසිනවා. නමුත් මාස හයක් වැනි කාලයක් උන් ආහාර නොගෙන ජීවත් වන්නේ කොහොමද? ඒ සඳහා උන් කලින්ම සූදානම් වෙනවා. සාමාන්‍යයෙන් ගිම්හාන සහ වසන්ත කාලයේදී උන් වැඩිපුර ආහාර ගන්නා අතර එයින් උන්ගේ ශරීරයේ මේද තට්ටුවක් සෑදෙනවා. ශීත කාලයේදී උන්ව පෝෂණය කරන්නේ ඒ මේද තට්ටුවයි.

මාමට් පැටවුන් හරිම සෙල්ලක්කාරයි. උන් දුවන්න පනින්න හරි කැමතියි. එක සැරයක් පැටවු තුන්දෙනෙක් සෙල්ලම් කරමින් කඳු බෑවුමේ පෙරළි පෙරළී යන හැටි මම බලාගෙන හිටියා. සාමාන්‍යයෙන් මාමට් සතුන් දෙදෙනෙකු මුණගැසුණු විට උන් එකිනෙකාව පිළිගන්නේ නහයට නහය තියලයි. ඒ වගේම උන් එකිනෙකාව පිරිසිදු කරන අතර ටිකක් සීතල දැණුණු විගස මුළු පවුලම ගුලට ගිහින් එකිනෙකාට තුරුළු වෙලා නිදාගන්නවා. එයින් උන්ට උණුසුමත් ලැබෙනවා.

මේ සතුන්ගෙන් අපටත් වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. එනම් අනාගතය සඳහා සැලසුම් කිරීම හා අනතුරු ගැන හොඳ අවධානයකින් සිටීමයි.—යෝබ් 12:7.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ප්‍රියමනාප මාමට් සතුන් සහයෝගයෙන් වැඩ කරන විට උන්ට ඒ හැකියාව දුන් දෙවිගේ ප්‍රඥාව අපට දැකගත හැකියි.—ගීතාවලිය 50:10

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මුරකරු අවධානයෙන් සිටින අතරේ පවුලේ අනික් සාමාජිකයන් ඒ අවටින් ආහාර සොයාගනියි