Skip to content

පටුනට යන්න

දහසක් ජීවිත ගලවන හදිසි ඇමතුම

දහසක් ජීවිත ගලවන හදිසි ඇමතුම

දහසක් ජීවිත ගලවන හදිසි ඇමතුම

ධීවර නෞකාව හොඳටම ගිනිගන්නවා! එහි සිටින සෑම කෙනෙකුගේම ජීවිත අනතුරේ. “එදා එහි කපිතාන්වරයා ජාත්‍යන්තර ආපදා සංඥාව භාවිත කර උපකාර ඉල්ලුවේ නැත්නම් ‘නෝටිකල් ලෙගසි’ නෞකාවේ සිටි කිසිවෙකු බේරෙන්නේ නැහැ” කියා කැනඩාවේ වෙරළාරක්ෂක නිලධාරියෙක් පැවසුවා. *

“මේඩේ! මේඩේ! මේඩේ!” මෙම අන්තර්ජාතික ගුවන්විදුලි ආපදා සංඥාව භාවිත කරන්නේ නැව් සහ ගුවන් යානාවල සිදු වන හදිසි තත්වයන්වලදීයි. මෙම සංඥාව භාවිත කිරීම නිසා 2008දී පමණක් ඇමරිකාවේ වෙරළාරක්ෂක භටයන් විසින් හදිසි අවස්ථා 24,000කදී පමණ ජීවිත 4,910ක් ගලවාගෙන තිබෙනවා. එය දිනකට ජීවිත 13ක් පමණ වෙනවා. ඊට අමතරව තවත් 31,000කට පමණ උපකාර කර තිබෙනවා.

“මේඩේ” යන යෙදුම භාවිත කරන්නේ ඇයි? ඒ වගේම ගුවන්විදුලි තාක්ෂණය සොයාගැනීමට පෙර නාවිකයන් හදිසි තත්වයන්වලදී භාවිත කළේ කුමක්ද?

මුල් ආපදා සංඥා

ස්පාඤ්ඤයේ නාවික හමුදාවට අයත් සැන්ටා මරියා ඩි ලා රෝසා නමැති නෞකාව 1588දී දරුණු කුණාටුවකට අසු වුණා. ඒ අවස්ථාවේදී ඔවුන් ආපදා සංඥාවක් ලෙස අහසට වෙඩි තැබුවත් කිසිවෙකුගේ ජීවිත ගලවාගැනීමට හැකි වුණේ නැහැ. තවත් අවස්ථාවලදී නාවිකයන් ආපදා සංඥා ලෙස කොඩි භාවිත කළා. අද දින පවා රතු පැහැති කතිරයක් සහිත සුදු කොඩියක් භාවිත කරනවා. එය සැලකෙන්නේ ජාත්‍යන්තරව පිළිගත් ආපදා සංඥාවක් ලෙසයි.

වර්ෂ 1760 ගණන්වලදී නාවිකයන් ආපදා සංඥාවක් ලෙස වෙනත් ආකාරයේ ක්‍රමයක් භාවිත කරන්න පටන්ගත්තා. සංඥා කරන්නා කොඩි දෙකක් අතැතිව සිටින අතර ඔරලෝසුවේ නිශ්චිත වේලාවක් දක්වන ආකාරයට කොඩි දෙක පෙන්නුම් කරනවා. ඒ සෑම ඉරියව්වකින්ම යම් අකුරක් හෝ අංකයක් නියෝජනය කළා.

කෙසේනමුත් අහසට වෙඩි තැබීම හෝ කොඩි භාවිතය සාර්ථක වුණේ ඒ ආසන්නයේ කවුරුන් හෝ සිටියොත් පමණයි. ඒ නිසා උපකාර ලැබෙයි කියා ස්ථිර විශ්වාසයක් තබාගැනීමට හැකි වුණේ නැහැ. ඒ නිසා පසු කාලයේදී ඊට වඩා දියුණු ක්‍රම භාවිත කරන්න පටන්ගත්තා. ඒ මොනවාද?

නවීන ක්‍රම

අදහස් හුවමාරු කිරීමේ තාක්ෂණයේ දැවැන්ත පෙරළියක් කරමින් 1840 ගණන්වලදී සැමුවෙල් මෝස් නමැත්තා නවීන විද්‍යුත් පණිවිඩ හුවමාරු ක්‍රමයක් හඳුන්වා දුන්නා. රැහැන් හරහා කෙරෙන පණිවිඩ හුවමාරුවේදී එක් කෙළවරක සිටින දුරරේඛන යන්ත්‍රය ක්‍රියා කරන්නා විසින් නිශ්චිත ක්‍රමයකට බොත්තමක් තද කරනවා. එය තද කරගෙන සිටින කාලය අනුව ලබන්නාට කෙටි හෝ දීර්ඝ සංඥාවක් ලැබෙනවා. කෙටි සංඥාවක් තිතක් ලෙසත් (.) දීර්ඝ සංඥාවක් ඉරක් ලෙසත් (-) සටහන් කරගන්නවා. අංකයක් හෝ අකුරක් නියෝජනය වන ආකාරයට එම තිත් හා ඉරි පිළිවෙළින් තබන ක්‍රමයද මෝස් හඳුන්වා දුන්නා. ඒ අනුව තිත් හා ඉරි සටහන් වී ඇති ආකාරයෙන් පණිවිඩයේ අදහස කුමක්ද කියා තේරුම්ගැනීමට එය ලබන්නාට හැකි වුණා.

නාවිකයන්ද මෝස් සංඥා ක්‍රමය භාවිත කළා. නමුත් රැහැන් වෙනුවට ඔවුන් භාවිත කළේ ආලෝකයයි. යම් පණිවිඩයක් යවන විට තිත නියෝජනය කිරීමට කෙටි වේලාවකට ආලෝකය විහිදුවීමත් ඉර සඳහා දිගු වේලාවක් ආලෝකය විහිදුවීමත් සිදු කළා. පසුව හදිසි අවස්ථාවලදී භාවිත කිරීම සඳහා ඉතා සරල මෙන්ම විශේෂිත වූ සංඥාවක් ඔවුන් යොදාගත්තා. ඒ සඳහා තිත් තුනක්, ඉරි තුනක්, හා නැවතත් තිත් තුනක් යන සංකේතය භාවිත කළා. ඉන් නියෝජනය කළේ “SOS” යන ඉංග්‍රීසි අකුරු තුනයි. *

නමුත් එහි දියුණුව එතැනින් නතර වුණේ නැහැ. ගුග්ලිඑල්මෝ මාකෝනි නමැත්තා 1901දී අත්ලාන්තික් සාගරයේ එක් කෙළවරක සිට අනික් කෙළවරට ගුවන්විදුලි සංඥා විකාශනය කළ ප්‍රථමයා බවට පත් වුණා. ඒ අනුව හදිසි අවස්ථාවකදී ගුවන්විදුලි තරංග යොදාගනිමින් සංඥා යැවීමට ඔවුන්ට හැකි වුණා. ඒ වුණත් කටහඬ විකාශනය කරන මට්ටමට ඔවුන් පැමිණ තිබුණේ නැහැ. “මේඩේ! මේඩේ! මේඩේ!” යන සංඥා ක්‍රමය දක්වා පැමිණීමට ඔවුන්ට තව ටික කලක් ගත වුණා.

පසුව එම කඩඉමත් පසු කරමින් ඉතා සාර්ථක ලෙස 1906දී රෙජිනල්ඩ් ෆෙසන්ඩන් විසින් කතාවක් හා සංගීත වැඩසටහනක් ගුවන් තරංග ඔස්සේ සාර්ථක ලෙස විකාශනය කළා. කිලෝමීටර් 80ක් පමණ ඈත මුහුදේ සිටි නාවිකයන්ටත් ඔවුන්ගේ ගුවන්විදුලි උපකරණ මගින් ඊට සවන් දීමට හැකි වුණා. පසුව 1915දී ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 14,000කටත් වඩා ඈතින් තිබූ පැරීසියේ අයිෆල් කුලුන දක්වා සජීවී ගුවන්විදුලි වැඩසටහනක් ඉදිරිපත් කළා. එය ඇසූ බොහෝදෙනෙක් පුදුමයෙන් පුදුමයට පත් වුණා. එපමණක් නොව 1922දී ඇමරිකාවේ නිව් ජර්සි ඩීල් බීච්හි සිට කිලෝමීටර් 600කටත් වඩා ඈත මුහුදේ ගමන් කරමින් තිබූ S.S. ඇමරිකා නමැති නෞකාව සමඟ ප්‍රථම වරට අදහස් හුවමාරු කරගැනීමටද හැකි වුණා.

ජාත්‍යන්තර සබඳතා

වර්ෂ 1920 ගණන්වල හා 1930 ගණන්වල සිටි නාවිකයන් බොහෝදෙනෙක් එම ක්‍රමය භාවිත කරමින් පහසුවෙන් අදහස් හුවමාරු කරගැනීමට පටන්ගත්තා. නමුත් නැව්වල විවිධ භාෂා කතා කළ අය සිටි නිසා හදිසි අවස්ථාවකදී ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම්ගත හැකි ආපදා සංඥාවක් නිකුත් කිරීම නැව් කපිතාන්වරුන්ට අභියෝගයක් වුණා. ඒ නිසා 1927දී ජාත්‍යන්තර විදුලි සංදේශ සංවිධානය මගින් “මේඩේ” යන වචනය ජාත්‍යන්තර ආපදා සංඥාව ලෙස ප්‍රකාශයට පත් කළා. *

එවැනි තාක්ෂණික ක්‍රම එන්න එන්නම දියුණු අතට පත් වීම සතුටට කරුණක්. මේ වන විට තුවක්කු හා කොඩි වෙනුවට රේඩාර් යන්ත්‍ර හා මිහිමත මං සෙවීමේ පද්ධතිය (GPS) වැනි අති නවීන උපකරණ තිබෙනවා. ඊට අමතරව නෞකාවල ගුවන්විදුලි යන්ත්‍ර දැන් සාමාන්‍ය දෙයක්. ජීවිත බේරාගැනීමේ ජාත්‍යන්තර සංවිධානද පැය 24 පුරාම ආපදා සංඥා පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු වෙනවා. ඒ නිසා නෝටිකල් ලෙගසි නෞකාවෙන් නිකුත් වූ “මේඩේ! මේඩේ! මේඩේ!” යන ආපදා ඇමතුමට ක්ෂණික ප්‍රතිචාරයක් ලැබුණා හා සමානව එසේ කරන ඕනෑම කෙනෙකුට ඉතා ඉක්මනින්ම උපකාර ලැබෙන බවට ස්ථිර විය හැකියි.

[පාදසටහන්වල]

^ 2 ඡේ. True Stories of Rescue and Survival—Canada’s Unknown Heroes නමැති පොත ඇසුරෙන්.

^ 11 ඡේ. එම අකුරු තුන තෝරාගෙන තිබෙන්නේ ඒවා ඉතා පහසුවෙන් සංඥා කිරීමටත් තේරුම්ගැනීමටත් හැකි නිසයි. ඒ හැර ඒවායින් යම් නිශ්චිත අදහසක් නියෝජනය කරන්නේ නැහැ.

^ 15 ඡේ. හදිසි අවස්ථාවකදී පහසුවෙන් තේරුම්ගත හැකි වන ලෙස “මේඩේ” යන වචනය තුන් වතාවක් පැවසිය යුතුයි.

[27වන පිටුවේ පින්තූරය]

ගිනිගත් “නෝටිකල් ලෙගසි” නෞකාව

[හිමිකම් විස්තර]

Courtesy Fisheries and Oceans Canada, reproduced with the permission of © Her Majesty the Queen in Right of Canada, 2010

[28වන පිටුවේ පින්තූරය]

මෝස් සංඥා ක්‍රමය භාවිත කරමින් රැහැන් වෙනුවට ආලෝකය යොදාගන්නා නාවිකයෙක්

[හිමිකම් විස්තර]

© Science and Society/SuperStock