Skip to content

පටුනට යන්න

දෙවි සැබෑ පුද්ගලයෙක්ද?

දෙවි සැබෑ පුද්ගලයෙක්ද?

බයිබලයෙන් පිළිතුරක්

දෙවි සැබෑ පුද්ගලයෙක්ද?

අප අවට පරිසරය හා අපගේම ශරීර සැකැස්ම ගැන ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? සමහරවිට ඔබ ඒ ගැන පුදුම වෙනවා ඇති. මේ සියල්ල ඇති කරන්න මුල් වූ බලවේගයක් පවතින බව සමහර අය පිළිගන්නවා.

ඔබ විශ්වාස කරන්නේ කුමක්ද? සමහර ආගම්වල උගන්වන්නේ අහසේ, පොළොවේ, ගස් ගල්වල පවා දෙවි දේවතාවුන් සිටිනවා කියායි. තවත් සමහර අයගේ මතය වන්නේ මළවුන්ගේ ආත්ම එකතු වී ඇසට නොපෙනෙන උසස් බලවේගයක් ඇති වන බවයි. ඔවුන් එම බලවේගය දෙවියන් ලෙස හඳුන්වනවා.

බොහෝදෙනාගේ අදහස වන්නේ දෙවියන් පුද්ගලයෙකු නොව නිකම්ම බලවේගයක් බවයි. එමනිසා දෙවිට හැඟීම් දැනීම්, කැමති අකමැති දේවල් හා අරමුණු තිබෙන බව ඔවුන් පිළිගන්නේ නැහැ. නමුත් පුරාණ ශුද්ධ පොතක් වන බයිබලයේ පැහැදිලිව සඳහන් වන්නේ දෙවි සැබෑ පුද්ගලයෙක් බවයි. දෙවි මිනිසාව සාදා ඇති ආකාරයෙන් ඒ බව පැහැදිලි වෙනවා.

මිනිසා තුළින් දෙවි ගැන හෙළි වන දේ

බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි.”—උත්පත්ති 1:27.

නමුත් දෙවි හා අප අතර ඇති වෙනසක් වන්නේ ඔහුව අපගේ ඇසට නොපෙනීමයි. (උත්පත්ති 2:7; යොහන් 4:24) දෙවි මිනිසාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුව නිසා මිනිසා දෙස හොඳින් බලන විට දෙවි මොන වගේ පුද්ගලයෙක්ද කියා අපට වටහාගත හැකියි.

හොඳින් සිතා බලා වැඩ කිරීමට මිනිසුන්ට හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් කෙනෙකුව ක්‍රියාවකට පොලඹවන්නේ ඔහුගේ සිතුවිලි මෙන්ම කරුණාව, ප්‍රඥාව සහ යුක්තිය වැනි ගුණාංගයි. එමෙන්ම තව කෙනෙකුට ආදරයෙන් සැලකීමට හෝ දැඩි වෛරයෙන් හා කෝපයෙන් ක්‍රියා කිරීමටත් මිනිසුන්ට හැකියාව තිබෙනවා. නමුත් එක් එක් අය මේ ගතිලක්ෂණ විදහාපෙන්වන්නේ විවිධාකාරයටයි. කෙනෙකුගේ පෞද්ගලිකත්වය තවත් පුද්ගලයෙකුට වඩා වෙනස් කියා අප පවසන්නේ ඒ නිසයි.

දෙවියන් යනු කිසිම අරමුණක් නැති, නොපෙනෙන ස්ථානයක සිටින බලවේගයක් නම් ඔහු මිනිසාව මෙතරම් හැකියාවන් ඇති සංකීර්ණ පුද්ගලයෙකු ලෙස නිර්මාණය කරයිද? දෙවි සැබෑ පුද්ගලයෙකු නම්, අපටත් දෙවි සතු ගතිලක්ෂණ විදහාපෙන්වීමේ හැකියාව තිබෙනවා නම්, පහත සඳහන් තොරතුරු අපට පහසුවෙන්ම තේරුම්ගත හැකි වෙයි.

දෙවිට නමක් තිබෙනවා. දෙවි මෙසේ පවසා තිබෙනවා. “මාගේ නාමය යෙහෝවාය.” (යෙසායා 42:8) දෙවි කැමති අපි ඔහුගේ නම දැනගන්නවාටයි. ඊට හේතුව බයිබලයේ මෙසේ පැහැදිලි කරනවා. “යෙහෝවා දෙවිගේ නාමයට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසා ලැබේවා! නැඟෙනහිර සිට බස්නාහිර දක්වා යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරනු ඇත.” (ගීතාවලිය 113:2, 3) දෙවිට නමස්කාර කරන අය ඔහුගේ නම නිතරම භාවිත කරන අතර ඔහුව සලකන්නේ සැබෑ පුද්ගලයෙකු ලෙසයි.

දෙවි අද්විතීයයි. බයිබලයේ පැහැදිලිවම පෙන්නුම් කරන්නේ දෙවි අද්විතීය පුද්ගලයෙක් බවයි. (1 කොරින්ති 8:5, 6) බයිබලයේ ඔහු ගැන පවසන්නේ “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨයි. ඔබට සමාන වෙන කිසි කෙනෙක් නැහැ” කියායි. (2 සාමුවෙල් 7:22) ඒ වගේම “යෙහෝවා දෙවි සැබෑ දෙවි බවත් ස්වර්ගයේ හෝ පොළොවේ හෝ ඔහු හැර වෙන කිසි දෙවි කෙනෙක් නැති බවත්” බයිබලයේ සඳහන් වෙනවා.—ද්විතීය කතාව 4:39.

යෙහෝවා දෙවි නපුරට ද්වේෂ කරයි. සාමාන්‍යයෙන් යම් දෙයක් පිළිකුල් කිරීමේ හැකියාව තිබෙන්නේ පුද්ගලයෙකුට පමණයි. යෙහෝවා දෙවිද පුද්ගලයෙකු බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “යෙහෝවා දෙවි ද්වේෂ කරන දේවල් හයක් තිබේ. එසේය, ඔහු පිළිකුල් කරන දේවල් හතක් ඇත. උඩඟු ඇස්, බොරු කියන දිව, අහිංසකයන්ගේ ලේ වගුරුවන අත්, දුෂ්ට ලෙස කුමන්ත්‍රණය කරන සිත සහ වැරදි කිරීමට ඉක්මන් වන පාද ඔහුට පිළිකුලකි. බොරු සාක්ෂි දෙන්නාවූ තැනැත්තාට මෙන්ම සහෝදරයන් අතර භේද පතුරුවන තැනැත්තාටද ඔහු ද්වේෂ කරන්නේය.” (හිතෝපදේශ 6:16-19) ඊට අමතරව අන් අයට හානි වන දෙයක් කරනවාට ඔහු අකමැති, ඔහු මිනිසුන් ගැන සැලකිලිමත් වන නිසයි.

යෙහෝවා දෙවි ප්‍රේමණීයයි. බයිබලයේ පැහැදිලිව සඳහන් කරන්නේ යෙහෝවා දෙවි ‘මුළු ලෝකයටම ප්‍රේම කළා’ කියායි. (යොහන් 3:16) එමෙන්ම බයිබලය පුරාම යෙහෝවා දෙවිව ප්‍රේමණීය පියෙකු හැටියට හඳුන්වා තිබෙනවා. දෙවිට සෑමවිටම අවශ්‍ය වන්නේ ඔහුගේ දරුවන් වන අපට යහපතක් වෙනවා දැකීමයි. (යෙසායා 64:8) දෙවිව අපගේ පියා ලෙස පිළිගෙන ඔහුට කීකරුව සිටීමෙන් අපටද බොහෝ ආශීර්වාද ලබාගත හැකියි.

දෙවිගේ මිතුරෙකු වන්න ඔබට හැකියි

බයිබලයේ අපට පැහැදිලිවම පෙන්නුම් කර තිබෙන්නේ සියල්ලේ නිර්මාතෘ වන දෙවි සැබෑ පුද්ගලයෙකු බවයි. ඔහුට නමක් සහ පෞද්ගලිකත්වයක්ද තිබෙනවා. ඔහු ඉතා බලවත් වුණත් ඔහු කරන සියල්ලම පාලනය වන්නේ කරුණාව, ප්‍රඥාව, යුක්තිය හා ප්‍රේමය වැනි ගුණාංගවලිනුයි. ඒ නිසා ඔහු නිකම්ම බලවේගයක් නොවෙයි. යෙහෝවා දෙවි පුද්ගලයෙකු නිසා ඔහුට ළං වීමටද අපට හැකියි. එමෙන්ම අපට ළං වී අපට උපකාර කිරීමටත් දෙවි කැමතියි. ඒ ගැන ඔහුම මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි.’”—යෙසායා 41:13.

ප්‍රේමණීය දෙවි වන යෙහෝවාට මිනිසා සම්බන්ධයෙන් තිබෙන අරමුණ ගැන බයිබලයේ මෙසේ විස්තර කරනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.” (ගීතාවලිය 37:29) දෙවි සැබෑ පුද්ගලයෙකු බව තේරුම්ගැනීමෙන් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අපට පුළුවන්. ඒ වගේම දෙවිගේ මිතුරෙකු වන සෑම කෙනෙකුටම ඔහු ආශීර්වාද කරන බව ස්ථිරයි.—ද්විතීය කතාව 6:4, 5; 1 පේතෘස් 5:6, 7.

මේ ගැන ඔබ සිතුවාද?

● දෙවිට නමක් තිබෙනවාද?—යෙසායා 42:8.

● දෙවිවරුන් බොහොමයක් සිටිනවාද?—1 කොරින්ති 8:5, 6.

● මිනිසුන්ට සැබෑ දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත හැකිද?—1 පේතෘස් 5:6, 7.

[29වන පිටුවේ පින්තූරය]

දෙවි බලවේගයක් පමණක් නම් ඔහු මෙතරම් හැකියාවන් ඇති සංකීර්ණ පුද්ගලයෙකු ලෙස මිනිසාව නිර්මාණය කරයිද?