Skip to content

පටුනට යන්න

යුගයක් බියෙන් සලිත කළ මාරාන්තික වසංගතය

යුගයක් බියෙන් සලිත කළ මාරාන්තික වසංගතය

යුගයක් බියෙන් සලිත කළ මාරාන්තික වසංගතය

වර්ෂ 1854දී ලන්ඩන් නගරය පුරා ඉතා දරුණු වසංගතයක් පැතිර ගියා. එය කොතරම් දරුණුද කියනවා නම් හොඳ සෞඛ්‍යයක් ඇතුව උදෑසන අවදි වූ කෙනෙකු ඒ නිසා සවස වන විට මිය ගියා. නමුත් මෙම වසංගතයට ඒ වන විටත් ප්‍රතිකාරයක් සොයාගෙන තිබුණේ නැහැ.

එම දරුණුතම වසංගතය වුණේ කොලරාවයි. නමුත් එය වැලඳීමට හේතුව කුමක්ද කියා කවුරුත් දැනගෙන සිටියේ නැහැ. බොහෝ අය සිතුවේ දුගඳ වාතය ආශ්වාස කිරීමෙන් මෙය වැලඳෙනවා කියායි. ඊට හේතුව වුණේ ලන්ඩන් නගරය හරහා ගලා බසින තේම්ස් නදිය ඉතාමත් අපවිත්‍ර තත්වයක තිබීමයි. ඒ තත්වය නිසා අවට ප්‍රදේශය පුරාම දුගඳ පැතිරී තිබුණා. නමුත් ඇත්තටම මේ රෝගය පැතිරුණේ දුගඳ වාතය නිසාද?

නැහැ. ඉන් වසර පහකට පමණ පෙර වෛද්‍ය ජෝන් ස්නෝ පැවසුවේ කොලරාව පැතිරෙන්නේ අපවිත්‍ර ජලයෙන් බවයි. එමෙන්ම වෛද්‍ය විලියම් බඩ්ද පැවසුවේ දිලීර හා සමාන ක්ෂුද්‍ර ජීවියෙක් මෙම රෝගය පතුරවන බවයි.

ස්නෝ තම මතය ඔප්පු කිරීම සඳහා 1854දී විවිධ පර්යේෂණ කළා. ලන්ඩනයේ සොහො ප්‍රදේශයේ කොලරාව වැලඳී සිටි සෑම කෙනෙකුවම ගත් කල ඔහු සොයාගත්තේ එහි සියලුදෙනාම එකම ජල නලයකින් පානීය ජලය ලබාගෙන තිබුණු බවයි. එම ජලයේ කොලරාවට හේතු වන විෂබීජ තිබූ බව ඔහු සොයාගත්තා. *

එම වසරේදීම වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් විශේෂ දෙයක් සිදු වුණා. එනම් ඉතාලි ජාතික විද්‍යාඥයෙකු වූ ෆිලිපො පැසිනි විසින් කොලරාවට හේතු වන ක්ෂුද්‍ර ජීවියා ගැන සම්පූර්ණ විස්තර ඇතුළත් ලිපියක් පළ කිරීමයි. නමුත් කනගාටුවට කරුණක් වුණේ ඔහුගේ සොයාගැනීම්වත් ස්නෝ හා බඩ් කළ පර්යේෂණවල තොරතුරුවත් කිසිවෙක් ගණන් නොගැනීමයි. මෙම වසංගතය 1858 වන තෙක්ම පැවතුණා.

“ඉවසිය නොහැකි දුගඳක්”

තේම්ස් නදිය පවිත්‍රව තබාගැනීමට නිසි වැසිකිලි පද්ධතියක් ඉදි කිරීමේ අවශ්‍යතාවක් තිබුණත් රජය ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගත්තේ නැහැ. කෙසේවෙතත් 1858 ග්‍රීෂ්ම කාලයේදී සිදු වූ දෙයක් නිසා මෙයට යම් පිළියමක් සොයාගැනීම අත්‍යවශ්‍ය වුණා. එනම් ඒ කාලයේදී තිබූ අධික රස්නය නිසා දැරිය නොහැකි දුගඳක් තේම්ස් නදියෙන් හමන්න පටන්ගත්තා. මේ නදිය ගලාබැස්සේ පාර්ලිමේන්තුව අසලින් නිසා එහි වැඩ ආරම්භ කිරීමට පෙර විෂබීජ නාශකවලින් පෙඟවූ රෙදිවලින් ජනෙල් ආවරණය කිරීමට සිදු වුණා. මේ නිසා දින 18ක් ඇතුළතදී නිසි වැසිකිලි පද්ධතියක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කළා.

වැසිකිලි අපද්‍රව්‍ය තේම්ස් නදියට යෑම වැළැක්වීම සඳහා විශාල කානු පද්ධතියක් ඉදි කළා. ඒ මගින් සියලුම අපද්‍රව්‍ය මුහුදට හැරෙව්වා. පසුව ලන්ඩනයේ තිබූ සියලුම වැසිකිලි මෙම කානු පද්ධතියට සම්බන්ධ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස භයානක කොලරා වසංගතය ලන්ඩනයෙන් තුරන් කිරීමට හැකි වුණා.

මේ සියල්ලෙන් කරුණු දෙකක් පැහැදිලි වුණා. පළමුවැන්න නම් කොලරාව බෝ වන්නේ අපවිත්‍ර ජලය හා ආහාර මගින් බවයි. දෙවැන්න නම් නිසි සනීපාරක්ෂක ක්‍රම මගින් එය වළක්වාගත හැකි බවයි.

අදටත් වටිනා පුරාණ නීතියක්

ලන්ඩන් නගරය පුරා කොලරාව පැතිරීමට අවුරුදු දහස් ගණනකට පෙර සිදු වූ දෙයක් ගැන දැන් අපි සලකා බලමු. එදා සිටි දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස්, ඊශ්‍රායෙල්වරුන් සමඟ ඊජිප්තුවෙන් පිටතට පැමිණියා. ඔවුන් වසර 40ක පමණ කාලයක් පුරා සීනයි පාළුකරයේ ගත කළත් කොලරාව වැනි වසංගතවලින් ඔවුන් පීඩා වින්දේ නැහැ. ඊට හේතුව කුමක්ද? දෙවි ඔවුන්ට දුන් මෙම නීතිය පිළිපැදීමයි.

“කඳවුරේ සිටින අයට මලපහ කිරීම සඳහා වෙනම ස්ථානයක් වෙන් කළ යුතුයි. එම ස්ථානය තිබිය යුත්තේ කඳවුරෙන් පිටතයි. ඔබ මලපහ කිරීමට එම ස්ථානයට යන විට කුඩා ආයුධයක්ද රැගෙන යන්න. එයින් වළක් හාරා එහි මලපහ කරන්න. ඉන්පසු එය පස්වලින් වසා දමන්න.”—ද්විතීය කතාව 23:12, 13.

එම නීතිය ක්‍රියාත්ම කිරීම නිසා කඳවුරේ තිබූ ආහාර සහ ජල සැපයුමට විෂබීජ ඇතුල් වීම වළක්වාගැනීමට ඔවුන්ට හැකි වුණා.

එම මඟ පෙන්වීම ඉතා සරල එකක් ලෙස පෙනුණත් එයින් අවට ජාතීන් අතර තිබූ වසංගතවලින් ඊශ්‍රායෙල්වරුන් ආරක්ෂා වුණා. එම මඟ පෙන්වීම් යල් පැන ගිය එකක් නොවෙයි. එය පිළිපැදීමෙන් අදටත් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි. * ඒ සම්බන්ධයෙන් එක් උදාහරණයක් සලකා බලමු.

“භයානක රෝගවලින් අපි ආරක්ෂා වුණා”

වර්ෂ 1970 ගණන්වල මලාවි රටේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දරුණු පීඩාවලට මුහුණ දීමට සිදු වුණා. මේ නිසා ඔවුන් මොසැම්බික් රටට පළා ගියා. එසේ ගිය පුරුෂයන්, කාන්තාවන්, දරුවන් ඇතුළු 30,000කට අධික සංඛ්‍යාවකට සිටීමට සිදු වුණේ අනාථ කඳවුරුවලයි. ඔවුන් කඳවුරු දහයක විසිරී සිටියා. සාමාන්‍යයෙන් අනාථ කඳවුරුවල ඉක්මනින්ම වසංගත රෝග ඇති වන අතර ඒවා පැතිරී යෑමද ඉතාමත් වේගවත්. නමුත් සාක්ෂිකරුවන් විශාල පිරිසක් සිටි කඳවුරු ගැන කුමක් කිව හැකිද?

එම කඳවුරුවලින් විශාලම කඳවුරේ සාක්ෂිකරුවන් 17,000ක් පමණ සිටියා. ඉන් එක් කෙනෙක් වන ලෙමන් කබ්වාසි මෙවැනි දෙයක් පැවසුවා. “අපි කඳවුර නිතරම පිරිසිදුව තියාගත්තා. වැසිකිලි සඳහා වළවල් හාරලා තිබුණේ කඳවුරෙන් පිටයි. කිසිම කෙනෙකුට තමන්ට ඕනේ විදිහට කඳවුර ඇතුළේ වැසිකිලි හදන්න ඉඩ ලැබුණේ නැහැ. ඒ වගේම කුණු දාන්නත් කඳවුරෙන් පිට තැනක් වෙන් කරලා තිබුණා. ජලය ලබාගන්න ළිං හෑරුවේ වෙනම තැනකයි. ස්වේච්ඡාවෙන් සේවය කළ අය සනීපාරක්ෂාව ගැන හුඟක් සැලකිලිමත් වුණා. ඇත්තටම කඳවුරක ජීවත් වෙන එක ලෙහෙසි නැහැ. ඒත් සනීපාරක්ෂාව ගැන බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසා භයානක රෝගවලින් අපි ආරක්ෂා වුණා. එක් කෙනෙකුටවත් කොලරාව හැඳුණේ නැහැ.”

සමහර රටවල ඇති නිවෙස්වල පවා නිසි ලෙස වැසිකිලි අපද්‍රව්‍ය ඉවත් කිරීමට ක්‍රමයක් නැහැ. මේ නිසා සිදු වන කනගාටුදායක දෙයක් වන්නේ අසූචි නිසා වැලඳෙන රෝගවලින් දිනපතාම දරුවන් 5,000ක් පමණ මිය යෑමයි.

කොලරාව සහ ඒ හා සමාන ලෙඩ රෝග වැළක්වාගැනීම සඳහා බොහෝ අය උත්සාහ කරනවා. එය යම් තාක් දුරකට සාර්ථක වී තිබුණත් ලොව පුරා තිබෙන සියලුම ලෙඩ රෝග තුරන් කිරීමට ඔවුන්ට හැකි වී නැහැ. ඒ වුණත් යෙහෝවා දෙවි ළඟදීම මේ පොළොව පාලනය කරන විට “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැහැ.” එදාට සියලුම ලෙඩ රෝග තුරන් වෙනවාත් සමඟම ‘මරණයද වැලපීමද හැඬීමද වේදනාවද’ දෙවි නැති කර දමනවා.—යෙසායා 33:24; එළිදරව් 21:4.

දෙවිගේ රාජ්‍යය මගින් ලැබෙන ආශීර්වාද ගැන තවත් දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3වන සහ 8වන පරිච්ඡේද බලන්න.

[පාදසටහන්වල]

^ 5 ඡේ. වර්ෂ 1854 වන විට බොහෝ වැසිකිලි අපද්‍රව්‍ය හරවා තිබුණේ බොහෝදෙනා පානීය ජලය ලබාගත් තේම්ස් නදියටයි.

^ 15 ඡේ. කොලරාව පැතිර යන්නේ අපවිත්‍ර ආහාර හා ජලය මගිනුයි. ඒ නිසා ආරක්ෂිත පියවරක් ලෙස සැමවිටම උණු කර නිවාගත් ජලය පානය කරන්න. ආහාර නිසි ලෙස පිසගන්න.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලන්ඩනය හරහා ගලා ගිය තේම්ස් නදිය කොලරාවේ තෝතැන්නක් වී තිබූ බව එදා තිබූ පින්තූරවලින්ද හුවා දක්වා තිබුණා

[22වන පිටුවේ පින්තූරය]

පුරුෂයන්, කාන්තාවන්, දරුවන් ඇතුළු 30,000කට අධික සංඛ්‍යාවක් මොසැම්බික් රටේ අනාථ කඳවුරු දහයක විසිරී සිටි අතර ඒවා නිතරම තිබුණේ පිරිසිදුවයි

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Death on Thames: © Mary Evans Picture Library; map: University of Texas Libraries