Skip to content

පටුනට යන්න

ලොව මුදුන හරහා ගිය නාවිකයෝ

ලොව මුදුන හරහා ගිය නාවිකයෝ

ලොව මුදුන හරහා ගිය නාවිකයෝ

පුරාණයේ සිට නාවිකයන්ගේ ආශාව වුණේ අත්ලාන්තික් සාගරයේ සිට, ආක්ටික් සාගරය හරහා, පැසිෆික් සාගරයට යාත්‍රා කිරීමයි. නමුත් ආක්ටික් සාගරය අයිස්වලින් වැසී තිබීම ඊට විශාල අභියෝගයක් වුණා.

කෙටි ගමන් මාර්ගයක් සෙවීමට විශාල හේතුවක් තිබුණා. එය නම් 16වන සියවස වන විට චීනය සමඟ ව්‍යාපාරික කටයුතුවල යෙදීමට දකුණු අප්‍රිකාව පසු කර යෑමට තිබූ මුහුදු මාර්ගය පෘතුගාලය හා ස්පාඤ්ඤය විසින් සම්පූර්ණයෙන්ම නතු කරගෙන තිබීමයි. එමනිසා නැඟෙහිර රටවල් සමඟ ව්‍යාපාර කටයුතු කිරීමට වෙනත් මුහුදු මාර්ගයක් සොයාගැනීමට නාවිකයන්ට සිදු වුණා. එය ජය ගැනීමට ගත් උත්සාහයන් කිහිපයක් ගැන අපි සලකා බලමු.

ඉංග්‍රීසි ජාතිකයන්: ආක්ටික් සාගරය හරහා ගමන් කළ පළමු ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා වූයේ ශ්‍රීමත් හියු විලබි සහ රිචඩ් චැන්සලර්යි. ඒ 1553දීයි. නමුත් දරුණු කුණාටුවකින් ඔවුන්ගේ යාත්‍රා දෙක විසිරී ගියා. අවසානයේදී විලබි උතුරු රුසියාවේ කෝලා අර්ධද්වීපයටත් චැන්සලර් ආඛෙන්ජල්ස්වලටත් ගොඩ බැස්සා. කෙසේවෙතත් එහි තිබූ අධික ශීත නිසා විලබි සහ පිරිස මිය ගියා. මේ අතරේ ආඛෙන්ජල්ස්වල සිටි චැන්සලර්ට රුසියාවේ පාලකයා වූ හතරවන අයිවන්ගෙන් මොස්කව් නගරයට එන්න කියා ලැබුණු ආරාධනය ඔහු පිළිගත්තා. ආසියාවට කෙටි මාර්ගයක් සොයාගැනීමට චැන්සලර් අසමත් වුණත් එංගලන්තය හා රුසියාව අතර ව්‍යාපාරික සබඳතාවක් ඇති කිරීමට ඔහු සමත් වුණා.

ලන්දේසි ජාතිකයන්: වර්ෂ 1594දී විලෙම් බැරන්ට්ස් පළමු වරට උතුරු රුසියාවේ නොවයා සෙම්ලියා ප්‍රදේශය තෙක් යාත්‍රා කළා. වර්ෂ 1596දී තුන්වන ගමනේදී ඔහුගේ නැව අයිස් අතර හිර වුණා. බැරන්ට්ස් හා ඔහුගේ පිරිස දරුණු ශීත කාලය ගත කළේ වෙරළට ගසාගෙන ආ ලෑලීවලින් තනාගත් පැල්පතකයි. ඔවුන් ආහාරයට ගත්තේ හිමවලසුන්වයි. අවසානයේදී එම පිරිස කුඩා බෝට්ටු දෙකකින් නැවත පැමිණීමට උත්සාහ කළත් කනගාටුදායක ලෙස බැරන්ට්ස් මිය ගියා.

රුසියානු ජාතිකයන්: රුසියාවේ ගවේෂකයන් සයිබීරියාව හා නැඟෙනහිර රුසියාව පුරා ඔවුන්ගේ ගවේෂණ කටයුතු කරගෙන ගියා. පසුව 1581 සිට 1641 දක්වා බටහිර රුසියාවේ යුරල් කඳුවැටියේ සිට පැසිෆික් සාගරය දක්වාද එසේ කළා. ඒ කාලයේදී කොසැක් ගෝත්‍රිකයන් සයිබීරියාවේ ගංගා හරහා පැසිෆික් සාගරයට පැමිණියා. පසුව ඔවුන් සයිබීරියාව, රුසියානු පාලනයට යටත් කර දුන්නා. ඉන්පසු ඔවුන් සයිබීරියාවේ ඊසානදිග වෙරළ තීරයේ නැව් ගමන් ආරම්භ කළා. වර්ෂ 1648දී ප්‍රථම වතාවට රුසියානු නැව් සමුද්‍ර සන්ධියක් හරහා ගමන් කළා. පසු කාලයේදී එය නම් කළේ ඩෙන්මාක් ජාතිකයෙකු වන වීටස් බීරිංගේ නමිනුයි. එනම් බීරිං සමුද්‍ර සංධිය ලෙසයි.

ගවේෂණ තවදුරටත්

වර්ෂ 1733 සිට 1743 දක්වා බීරිං විශේෂ ව්‍යාපෘතියක් දියත් කළා. ඔහු මිනිසුන් දාහක් පමණ, කණ්ඩායම් හතකට බෙදා රුසියාවට අයත් ආක්ටික් වෙරළ තීරය හා පැසිෆික් වෙරළ තීරය ගවේෂණයක යෙදුණා. නමුත් විශාල අයිස් කඳු ඔවුන්ගේ කාර්යයට බාධාවක් වුණ අතර බොහෝ අය මිය ගියා. කෙසේවෙතත් ඔහු ලබාගත් තොරතුරු, ඔහු කළ සිතියම් හා විශාල අයිස් කඳු පිළිබඳ වාර්තාවන් පසු කාලයේ සිටි නාවිකයන්ට බොහෝ ප්‍රයෝජනවත් වුණා.

ඒ කාලයේ භාවිත කළේ දැවවලින් තැනූ නෞකායි. නමුත් ආක්ටික් සාගරය හරහා ගමන් කිරීමට ඒවා නුසුදුසු බව බීරිංගේ ගමන්වලින් පැහැදිලි වුණා. වර්ෂ 1778දී ඉංග්‍රීසි ජාතික ගවේෂකයෙකු වූ ජේම්ස් කුක් මෙම මුහුද හරහා ගමන් කරන විට ඔහුගේ නෞකාවත් අයිස් අතර අතරමං වීමෙන් ඉහත කාරණය තවත් තහවුරු වුණා. ඉන් වසර සියයක් පමණ පසු ෆින්ලන්ත ජාතික නිල්ස් ඇඩොල්ෆ් එරික් නොඩෙන්ස්කිඕල්ඩ් පළමු වතාවට ලෝහවලින් තැනූ නැවකින් සාර්ථක ලෙස මේ හරහා ගමන් කළා.

රුසියාවේ දියුණුව

වර්ෂ 1917දී රුසියාවේ මහත් විප්ලවයක් ඇති වුණා. ඉන්පසු රුසියාවට අයත් ඒවා හැර අනික් සියලුම යාත්‍රා ආක්ටික් සාගරය හරහා ගමන් කිරීම තහනම් කළා. ඊට අමතරව 1930 ගණන්වල සිට සෝවියට් ජනරජය ආක්ටික් මුහුදේ ගමන් මාර්ග වඩාත් හොඳ අතට ගෙන ආවා. උතුරු වෙරළ තීරය දිගේ ආරම්භ වූ වෙළෙඳ ව්‍යාපාර නිසා බොහෝ ස්ථානවල වරායන් ඉදි වුණා. ඒ වගේම ආක්ටික් මුහුද හරහා ගමන් කිරීම සම්බන්ධයෙන් රුසියානු නාවිකයන්ට මනා දැනුමක් තිබුණා.

ශීත යුද්ධය පැවති කාලයේදීත් විදේශ යාත්‍රාවලට රුසියානු මුහුදු තීරය ඔස්සේ ආක්ටික් මුහුද හරහා යෑමට අවසර තිබුණේ නැහැ. නමුත් පසු කාලයේදී දේශපාලනික විප්ලවයන් හා ජාත්‍යන්තර වෙළෙඳාම් නිසා රුසියාවේ බලධාරීන් මෙම මුහුදු මාර්ගය විදේශික යාත්‍රා සඳහාත් විවෘත කළා. මෙම මාර්ග විවෘත කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබුණා. දැන් අපි ඒ ගැන ටිකක් සලකා බලමු.

වර්ෂ 2009 ගිම්හාන කාලය අතරතුරේදී භාණ්ඩ රැගත් ජර්මානු නෞකා දෙකක් බීරිං සමුද්‍ර සන්ධිය හරහා බටහිර දෙසට ගමන් කර ආසියාවේ හා යුරෝපයේ මුහුදු තීරය දිගේ එනම් ආක්ටික් සාගරයෙන් නෙදර්ලන්තයට පැමිණියා. මෙම කෙටි මාර්ගය නිසා ඔවුන්ගේ ගමනින් කිලෝමීටර් 5,560ක් හා දින දහයක් අඩු කරගැනීමට හැකි වුණා. ඊට අමතරව එම ගමනේදී ඩොලර් 4,50,000ක් පමණ එක් නැවකින් ඉතිරි කරගැනීමටද අවස්ථාව ලැබුණා.

අද වන විට ආක්ටික් ප්‍රදේශයේ තිබෙන අයිස් ක්‍රමක්‍රමයෙන් දියවෙමින් පවතිනවා. එය පරිසරයට හානියක් වුණත් ගිම්හාන කාලයේදී ඒ හරහා ගමන් කිරීමට කිසිම බාධාවක් නැහැ. * මේ ආකාරයට දිගින් දිගටම අයිස් දිය වීගෙන ගියොත් රුසියාවට අයත් මුහුදු තීරයෙන් නොගොස් ගැඹුරු මුහුද හරහා ගමන් කිරීමට ඔවුන්ට හැකියි. එසේ කිරීමට හැකි වුණොත් ඔවුන්ගේ ගමන තවත් කෙටි කරගත හැකියි.

[පාදසටහන]

^ 14 ඡේ. අයිස් දිය වීම නිසා ආක්ටික් මුහුද හරහා අවුරුද්දක් තුළ ගමන් කළ හැකි කාලය දීර්ඝ වී තිබෙනවා. එමෙන්ම බටහිර ආක්ටික් ප්‍රදේශයේ එම කාලය දෙගුණ වී තිබෙන අතර නැඟෙනහිර ආක්ටික් ප්‍රදේශයේ එය තෙගුණ වී තිබෙනවා.

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මුහුදු ගමන් මාර්ග

ශ්‍රීමත් හියු විලබි සහ රිචඩ් චැන්සලර්

විලෙම් බැරන්ට්ස්

වීටස් බීරිං

නිල්ස් ඇඩොල්ෆ් එරික් නොඩෙන්ස්කිඕල්ඩ්

අයිස්

[සිතියම]

ආක්ටික් සාගරය

උත්තර ධෘවය

ස්ථිර අයිස් තට්ටුව

ගිම්හාන කාලයේදී අයිස් ප්‍රමාණය

ශීත කාලයේදී අයිස් ප්‍රමාණය

ආක්ටික් වෘත්තය

ස්වීඩනය

ග්‍රීන්ලන්තය

කැනඩාව

ඇලස්කාව

බීරිං සමුද්‍ර සන්ධිය

රුසියාව

සයිබීරියාව

යුරල් කඳුවැටිය

නොවයා සෙම්ලියා

කෝලා අර්ධද්වීපය

ආඛෙන්ජල්ස්

මොස්කව්

[16වන පිටුවේ පින්තූරය]

ආක්ටික් මුහුදේ දිය වෙමින් පවතින අයිස් කඳු

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Library and Archives Canada/Samuel Gurney Cresswell collection/C-016105