Skip to content

පටුනට යන්න

ලොව සුප්‍රසිද්ධ ඔරලෝසුවක්

ලොව සුප්‍රසිද්ධ ඔරලෝසුවක්

ලොව සුප්‍රසිද්ධ ඔරලෝසුවක්

වර්ෂ 1834දී ලන්ඩනයේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ගින්නෙන් විනාශ වුණා. අලුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා හොඳ සැලැස්මක් අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් සැලසුම් තරගයක් පැවැත්වූවා. ඒ අතරින් ඔවුන් තෝරාගත්තේ ශ්‍රීමත් චාල්ස් බැරීගේ කුලුනක් සහිත ගොඩනැඟිල්ලක සැලැස්මයි. එම කුලුනෙහි ලෝකයේ තිබෙන විශාලම ඔරලෝසුව නිර්මාණය කරන ලෙසට අදාළ අමාත්‍යංශයෙන් නියෝගයක් ලැබුණා.

අද වන විට මෙම ඔරලෝසුව ලෝක ප්‍රසිද්ධියක් උසුලනවා. එය දැන් හඳුන්වන්නේ බිග් බෙන් ලෙසයි. නමුත් මුලින් එම නම තැබුවේ එහි තිබෙන විශාල සීනුවටයි.

දැවැන්ත ව්‍යාපෘතියක්

අඩි 316කින් යුත් මෙම කුලුනේ ඉදි කිරීම් 1843දී ආරම්භ කළා. ඉන් වසර තුනකට පසුව ඔරලෝසුව සෑදීමට කාර්මිකයෙකුව සෙවීමට පටන්ගත්තා. ඔවුන්ට අවශ්‍ය වුණේ තිතටම වේලාව දක්වන ඔරලෝසුවක් සෑදීමටයි. නමුත් එසේ කිරීම පහසු වුණේ නැහැ. සාමාන්‍යයෙන් විශාල කුලුනක ඔරලෝසුවක් සවි කළ විට එහි කටුවලට සුළඟ, හිම සහ අයිස්වලින් යම් බලපෑම් ඇති වෙනවා. ඒ වගේම එහි කටු මතට කුරුල්ලන් වසන නිසා එයත් යම් ආකාරයක බාධාවක්. කටුවට බාධා වීම, නිවැරදිව වේලාව දැක්වීමට බලපානවා. විශාරදයන් මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමින් සිටින අතර ඔරලෝසු සාදන්නෙකු වන එඩ්මන්ඩ් බෙකට් ඩෙනිසන් ඔරලෝසුව සෑදීම සඳහා සාර්ථක සැලැස්මක් ඉදිරිපත් කළා.

වසර දෙකක් ඇතුළත ඔරලෝසුවේ වැඩ නිම කළත් කුලුනේ වැඩ නිම වී තිබුණේ නැහැ. ඊට තවත් වසර පහක් පමණ ගත වුණා. ඒ අතරේදී ඩෙනිසන් යම් උපකරණයක් සෑදුවා. එම උපකරණය නිසා, ඔරලෝසුවේ කටුවලට විවිධ බාධා ඇති වුණත් ඒවා බට්ටාට බලපෑවේ නැහැ. ඒ මගින් නිවැරදිව වේලාව දැක්වීමට හැකි වුණා.

බිග් බෙන්ගේ උපත

ඊළඟට අවශ්‍ය වුණේ සීනු සෑදීමයි. එය නිර්මාණය කිරීමට ලන්ඩන් නගරයෙන් ඈත ප්‍රදේශයක තිබූ කම්හලකට භාර දුන්නා. සීනුව ටොන් 16කටත් වඩා බරයි. ඒ නිසා එය ලන්ඩනයට ගෙන ඒමට සිදු වුණේ නැවකින්. නමුත් එහි අධික බර නිසා නැවට හානි සිදු වුණත් කෙසේ හෝ සීනුව ලන්ඩනයට ගෙනාවා. පසුව වරායේ සිට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල දක්වා එය රැගෙන ආවේ අශ්වයන් 16ක් බඳින විශේෂ කරත්තයකිනුයි. ඉන්පසු සීනුව පරීක්ෂා කිරීම සඳහා ටික දවසක් යන තුරු පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ඉදිරිපිට එය එල්ලා තැබුවා.

සාමාන්‍යයෙන් විශාල සීනුවලට නම් තැබීම පුරුද්දක්ව තිබූ නිසා මෙය බිග් බෙන් ලෙස නම් කළා. සමහර අය පවසන්නේ පාර්ලිමේන්තුවේ සේවය කළ හැඩිදැඩි පුද්ගලයෙකු වූ ශ්‍රීමත් බෙන්ජමින් හෝල් නිසා ඒ නම යොදන්න ඇති බවයි. තවත් අය පවසන්නේ එවකට සිටි බොක්සිං ක්‍රීඩකයෙකු වන බෙන්ජමින් කෝන්ට්ගේ නම යොදාගන්න ඇති බවයි. ඒ කෙසේවෙතත් අද වන විට ඔරලෝසුවත් කුලුනත් දෙකම හඳුන්වන්නේ බිග් බෙන් ලෙසයි.

සීනුවට අනතුරු

සීනුව නාද කිරීමට භාවිත කළේ මිටියක් වැනි දෙයක්. මුලින් සෑදූ එම කොටස බර මදි කියා සිතූ නිසා නැවත කිලෝග්‍රෑම් 660ක් බර එකක් සවි කළත් එයින් සීනුව පිපුරුණා. එය පිළිසකර කිරීමට බැරි වූ නිසා සීනුව ගලවා නැවත උණු කර අලුත් සීනුවක් නිර්මාණය කළා. දෙවෙනි වතාවට තැනූ බිග් බෙන් සීනුවේ බර ටොන් 13.7යි. දෙවෙනි වරටත් මෙය පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල වෙත ගෙනෙන විට මිනිසුන් ඉතා උනන්දුවෙන් මඟ දෙපසට වී බලා සිටියා.

තවත් මාස කිහිපයකට පසු කුලුනේ වැඩ නිම වුණා. ඉන්පසුව මෙම දැවැන්ත සීනුව මෙන්ම සෑම විනාඩි 15කට වරක් නාද වන සීනු හතර හා ඔරලෝසුවේ අනිකුත් කොටස් කුලුනේ සවි කිරීමට කම්කරුවන් බොහෝදෙනෙක් දිවා රෑ නොබලා අපමණ වෙහෙසක් දැරුවා. අවසානයේදී ඒ සියලු වැඩ සාර්ථක ලෙස නිම කළා.

වර්ෂ 1859 ජූලි මාසයේදී පළමු වතාවට මුළු රටටම ඇසෙන්න පැයෙන් පැයට බිග් බෙන් නාද වෙන්න පටන්ගත්තා. නමුත් එයත් වැඩි කාලයකට නෙවෙයි. ඔක්තෝබර් මාසය වන විට දෙවෙනි වරටත් සීනුව පිපුරුවා. මේ වතාවේදී නම් සීනුව නැවත ගලවා පිළිසකර කිරීම ප්‍රායෝගික වුණේ නැහැ. ඒ නිසා සීනුවට වදින මිටියේ ප්‍රමාණය කුඩා කළ අතර සීනුවද ටිකක් කරකවා තැබුවා. එයින් මිටිය සීනුවේ වදින ස්ථානය වෙනස් වුණා. අද වන විටත් එම පිපුරුම බිග් බෙන් සීනුවේ දැකගත හැකියි.

ඓතිහාසික සිදුවීම්

වර්ෂ 1924දී BBC ගුවන් සේවය විසින් කුලුන ඇතුළේ මයික්‍රෆෝනයක් සවි කළා. එසේ කිරීමෙන් සෑම පැයකම වේලාව දැනුම් දීම සඳහා බිග් බෙන් සීනුවේ නාදයද රට පුරාම විකාශනය කිරීමට ඔවුන්ට හැකි වුණා. වසර අටකට පසුව BBC ලෝක ප්‍රවෘත්ති සේවයේ ආරම්භයත් සමඟ සීනුවේ නාදය ඒ ඔස්සේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලටත් සවන් දීමට අවස්ථාව ලැබුණා.

දෙවෙනි ලෝක මහා යුද්ධය පැවති කාලයේදී බ්‍රිතාන්‍යයේ බොහෝ ස්ථාන විනාශ වුණත් මෙම කුලුනට කිසිවක් සිදු වුණේ නැහැ. නමුත් 1976දී කාර්මික දෝෂයක් හේතුවෙන් ඔරලෝසුව ක්‍රියා විරහිත වුණා. ඒ වගේම එය සවි කර තිබූ ස්ථානයත් අබලන් වුණා. ඒත් සීනුවට නම් කිසි හානියක් වුණේ නැහැ. සති කිහිපයකින් නැවතත් පැයෙන් පැයට සීනුව නාද වෙන්න පටන්ගත්තා. නමුත් ඔරලෝසුව අලුත්වැඩියා කිරීමට තවත් මාස නවයක් ගත වුණා.

කාලයක් යන තුරු ඔරලෝසු ලෝකයේ දැවැන්තයා බවට පත් වී සිටියේ බිග් බෙන් ඔරලෝසුවයි. එමෙන්ම දැනට ලෝකයේ තිබෙන කටුවලින් වේලාව දක්වන ඔරලෝසු අතරින් නිවැරදිව වේලාව දැක්වීමේ ගෞරවය හිමි වන්නේද බිග් බෙන් ඔරලෝසුවටයි. බොහෝ රටවල බිග් බෙන් අනුරුවට සෑදූ ඔරලෝසු දැකගන්න ලැබෙනවා. එමෙන්ම එංගලන්තයේ සංචාරය කරන අය බිග් බෙන් බලන්න යන්න අමතක කරන්නේ නැහැ. ඇත්තටම බිග් බෙන් ලොව ප්‍රසිද්ධ ඔරලෝසුවක් කියා පැවසිය හැකියි.

[18වන පිටුවේ කොටුව⁄පින්තූර]

නිවැරදි වේලාව

සතියට තුන් වතාවක් කාර්මිකයෙකු ඔරලෝසුව අතින් වයින් කරන අතර ඒ සඳහා ඔහු පඩි 300ක් පමණ ඉහළට නැඟීම අවශ්‍යයි. ඒ වගේම වේලාව නිවැරදිද කියාත් ඔහු පරීක්ෂා කරනවා. එහි පැරණි කාසි තිබෙන අතර වේලාව අඩුවෙන් දක්වනවා නම් ඔහු කාසියක් ඔරලෝසුවේ බට්ටාට සවි කරනවා. වේලාව වැඩියෙන් දක්වනවා නම් තිබෙන කාසියක් අඩු කරනවා. මෙහි බට්ටා අඩි 13ක් දිගයි. එමෙන්ම එය එක් වරක් පැද්දෙන්න තප්පර දෙකෙක් ගත වෙනවා.

[පින්තූරය]

වේලාව නිවැරදි කිරීම සඳහා භාවිත කරන කුඩා කාසි

[හිමිකම් විස්තර]

Winding clock: AP Photo/​Lefteris Pitarakis; coins on ledge: Parliamentary copyright images are reproduced with the permission of Parliament

[19වන පිටුවේ පින්තූරය]

ටොන් 13.7කින් යුත් බිග් බෙන් සීනුව සෑම පැයකට වරක් නාද වෙයි

[හිමිකම් විස්තර]

Popperfoto/​Getty Images