වංචනික ලෙස ක්‍රියා කරන්නේ ඇයි?
වංචනික ලෙස ක්‍රියා කරන්නේ ඇයි?
වේදනා නාශක ප්‍රතිකාර ක්‍රම සොයාගැනීම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ එක් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු ගැන පසු කාලයකදී හෙළි වුණේ, ඔහු 1996 සිට වසර දහයකට වැඩි කාලයක් පුරා ඔහු පළ කළ පර්යේෂණ වාර්තා සියල්ලම වංචාසහගත ඒවා බවයි.
“කෙනෙක් මේ වගේ වංචනික දේවල් කරන්නේ මොන හේතුවක් නිසාද කියලා මට නම් තේරෙන්නේ නැහැ” කියා වෛද්‍ය ස්ටීවන් එල්. ෂේෆර් පැවසුවා.—Anesthesiology News.
එවැනි ප්‍රවීණයෙක් අන් අයව රවටන්න පෙලඹුණේ ඇයි? කෙනෙක් එවැනි තත්වයකට පත් විය හැකි කරුණු හතරක් ගැන අපි සලකා බලමු.
● කෑදරකම. වෛද්‍ය ජෙරොම් කැසිර පැවසූ දෙයක් ද නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ මෙසේ උපුටා දක්වා තිබුණා. “ඖෂධ නිෂ්පාදන ආයතනවලින් පර්යේෂකයන්ට බොහෝ තෑගි බෝග සහ මුදල් ලැබෙනවා. ඒ නිසා එම ආයතනයේ නිෂ්පාදන ගැන වැඩි ප්‍රසිද්ධියක් ලබා දෙන ආකාරයෙන් කටයුතු කිරීමට ඔවුන් බැඳී සිටිනවා.”
● කෙසේ හෝ සාර්ථක වීමට උත්සාහ කිරීම. ජර්මනියේ විශ්වවිද්‍යාල සිසුන් යූරෝ දහස් ගණන් අල්ලස් ලෙස තම ගුරුවරුන්ට දී ඇති බව වාර්තා වෙනවා. ඔවුන් එසේ කර ඇත්තේ කෙසේ හෝ “ආචාර්ය” වැනි පදවියක් ලබාගැනීමටයි. තවත් සමීක්ෂණයකින් හෙළි වුණේ සමහර අය සාර්ථකත්වයක් ලැබෙන තෙක් වංචනික දේවල් කළත් ඉන්පසුව “සම්පූර්ණයෙන්ම අවංකව කටයුතු කිරීමට අදහස් කරගෙන සිටින” බවයි.
● හොඳ ආදර්ශ නොමැතිකම. උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් සම්බන්ධයෙන් එක් මහාචාර්යවරයෙක් පැවසූ දෙයක් ද නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ මෙසේ සඳහන් වුණා. “මේ අයට කිසිම සදාචාර හැඟීමක් නැහැ කියනවාට වඩා ඔවුන්ට ඒ සඳහා ගුරුවරුන්ගෙන්වත් උපදේශකයන්ගෙන්වත් සමාජයෙන්වත්
කිසිම උපකාරයක් ලැබිලා නැහැ කියන එක වඩාත් නිවැරදියි.”● පවසන දේ නොකිරීම. ශිෂ්‍යයන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි කරගනිමින් සමීක්ෂණයක් කළා. ඔවුන්ගෙන් සියයට 98ක්ම පැවසුවේ අවංකකම අත්‍යවශ්‍ය දෙයක් කියායි. නමුත් ඔවුන්ගෙන් සෑම දසදෙනෙකුගෙන් අටදෙනෙකුම පිළිගත්තේ තමන් දෙමාපියන්ට බොරු කියා ඇති බවයි. ඊට අමතරව ඔවුන්ගෙන් සියයට 64ක්ම පසුගිය වසර ඇතුළත විභාගවලදී වංචා කර තිබෙනවා.
උසස් සදාචාර ප්‍රමිති
මිනිසාව නිර්මාණය කර තිබෙන්නේ එකිනෙකා සමඟ විශ්වාසවන්තව කටයුතු කිරීමට බව මෙම පිටුවේ සඳහන් කොටුවේ ඇති වාර්තාවෙන් ඔප්පු වෙනවා. අනික් අතට “කුඩා කල පටන් මිනිසාගේ සිත නපුරටම යොමු වී තිබේ” කියා ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 8:21) එසේනම් අපි හැමදෙනාටම තිබෙන එම නරක නැඹුරුවාවට එරෙහි වෙමින් විශ්වාසවන්තව කටයුතු කරන්න පුළුවන්ද? ඔව්, ඒ සඳහා පහත සඳහන් වටිනා බයිබල් ප්‍රතිපත්ති අපි සියලුදෙනාටම ඉතා ප්‍රයෝජනවත් වෙයි.
● “ඔබව විශ්වාස කර ඔබ සමඟ සුහද ඇසුරක් පවත්වන ඔබේ අසල්වැසියාට විරුද්ධව නපුරක් කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.”—හිතෝපදේශ 3:29.
අපි නිතරම අන් අයගේ යහපත ගැන සිතනවා නම් ඔවුන් අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය කඩ කරන්නේ නැහැ. අපි එම ප්‍රතිපත්තිය අදාළ කරගන්නා විට කෑදරකම, ආත්මාර්ථකාමිත්වය සහ අන් අයගෙන් අයුතු ප්‍රයෝජන ගැනීම වැනි දේවල් ඉබේම නැති වී යයි.
● “සත්‍යය කතා කරන තැනැත්තා සදහටම පවතියි. නමුත් බොරු කියන දිව සැණෙකින් නිහඬ කරනු ලබයි.”—හිතෝපදේශ 12:19.
අවංක වීමෙන් පලක් නැහැ යන්න බොහෝදෙනාගේ මතයයි. නමුත් ඔබට වඩා වටින්නේ කුමක්ද? ‘ක්ෂණිකව ලැබෙන තාවකාලික ප්‍රයෝජනයක්ද? නැත්නම් ඔබට හොඳ නාමයක් ඇති කරන, කල් පවතින ප්‍රයෝජනයක්ද?’ උදාහරණයකට, ශිෂ්‍යයෙක් විභාගයකදී වංචනිකව කටයුතු කර ඉහළින් සමත් වෙන්න පුළුවන්. නමුත් රැකියාවේදී ඔහුගේ සුදුසුකම් ගැන ප්‍රශ්නයක් මතු නොවී තිබෙයි කියා සිතන්න පුළුවන්ද?
● “ධර්මිෂ්ඨයා දෙවිට විශ්වාසවන්තව සිටියි. එහෙයින් ඔහුගේ පුත්‍රයන්ද සන්තෝෂය ලබයි.”—හිතෝපදේශ 20:7.
ඔබට දරුවන් සිටිනවා නම් නිතරම ‘විශ්වාසවන්තව’ හා අවංකව කටයුතු කිරීමෙන් ඔවුන්ට හොඳ ආදර්ශයක් තබන්න. ඒ වගේම එසේ කටයුතු කිරීමෙන් ඔබ ප්‍රයෝජන ලබා ඇති ආකාරයද ඔවුන්ට කියන්න. දෙමාපියන් අවංකව කටයුතු කරනවා දරුවන් දකින විට ඔවුන්ද එසේ කිරීමට පෙලඹෙයි.—හිතෝපදේශ 22:6.
ඉහත සඳහන් බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පිරිසක් අද දින සිටිනවාද?
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ප්‍රංශ වැසියන් බොහෝදෙනෙකු පවසන්නේ “තමන් අවංක වීමෙන් ප්‍රයෝජනයක් නැති” බවයි. ඊට හේතුව “දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික යන ක්ෂේත්‍රයන්වල සිටින ඉහළ පෙළේ පුද්ගලයන් වංක මෙන්ම විශ්වාසය තැබිය නොහැකි අය” නිසයි.—Le Figaro පුවත්පත.
[5වන පිටුවේ කොටුව]
සහජයෙන්ම ලද දෙයක්
ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන මහාචාර්ය මයිකල් කොස්ෆෙල්ඩ් පවසන්නේ විශ්වාසය නමැති ගතිලක්ෂණය “මිනිසා තුළ සහජයෙන්ම දකින්න ලැබෙන දෙයක්” බවයි. එමෙන්ම ඔහු සොයාගත් තවත් දෙයක් වූයේ දෙදෙනෙක් අතර අදහස් හුවමාරුවක් සිදු වන විට ඔවුන් අතර විශ්වාසය ඇති කරන ඔක්සිටොසින් නමැති හෝමෝනය මොළය විසින් මුදාහරින බවයි. ඒ ගැන කොස්ෆෙල්ඩ් තවදුරටත් පැවසුවේ මෙසේයි. “එය මිනිසා තුළ පමණක් දකින්න ලැබෙන සුවිශේෂී ලක්ෂණයක්. විශ්වාසය නැති වූ විට එයින් මනුෂ්‍යයෙක් අමනුෂ්‍යයෙක් බවට පත් වෙනවා.”