Skip to content

පටුනට යන්න

විශ්වාස කළ හැකි පිරිසක්

විශ්වාස කළ හැකි පිරිසක්

විශ්වාස කළ හැකි පිරිසක්

සැන්ටියාගෝ, ආර්ජන්ටිනාවේ කුලී රථ රියදුරෙක්. දිනක් ඔහුගේ රථයේ තිබී ඩොලර් 32,000ක මුදලක් සහිත බෑගයක් (රු. 36,00,000ක් පමණ) ඔහුට හමු වුණා. ඒ ගැන ඔහු දෙවරක් නොසිතා වහාම ඒ මුදල් අයිතිකරුට භාර දීමට පියවර ගත්තා.

මේ මුළු ලෝකයේම එවැනි අවංක මිනිසුන් සිටිනවා නම් මෙය මොන තරම් ලස්සන තැනක් වෙයිද! එවිට ඔබේ නිවසට දොරගුලු අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන කිසිම බියක් සැකක් නැතුව ඔහුව වෙන කෙනෙකු ළඟ තබා යන්න පුළුවන්. ඇත්තටම එවැනි කාලයක් සිහිනයක් පමණක්ද?

උසස් ප්‍රතිපත්තිවලින් යහපත් ප්‍රතිඵල

යේසුස්ගේ අනුගාමිකයෙකු වූ පාවුල්, තමන් සහ සෙසු ක්‍රිස්තියානීන් ගැන වරක් මෙසේ පැවසුවා. ‘අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.’ (හෙබ්‍රෙව් 13:18) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද දැඩි වෑයමක් දරන්නේ එසේ කිරීමටයි. අවංක කෙනෙකුව බයිබලයේ විස්තර කරන්නේ මෙසේයි. “ඔහුගේ මුවින් පිට වන්නේ අවංක වචනය. ඔහු වංචාවෙන් ලාභ ඉපයීම හෙළාදකියි. අල්ලස් ගැනීමේ සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ නොවෙයි.” (යෙසායා 33:15) දැන් අපි එවැනි කිහිපදෙනෙකුගේ අද්දැකීම් ගැන බලමු.

‘සත්‍යය කතා කිරීම.’ පිලිපීනයේ ජීවත් වන ඩොමින්ගෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. ඔහුගේ රැකියාව වන්නේ පොල් වත්තක කොප්පරා වියළීමයි. ඔහු ජීවත් වන්නෙත් එම වත්තේමයි. එහි සිදු වන දෙයක් ඔහු මෙසේ විස්තර කරනවා. “වත්තේ වැඩ කරන අය හරියට හොර වැඩ කරනවා. කොප්පරා ගෝණි කීයක් එකතු කළාද කියලා සමහර අය වැඩ බලන අයට කියන්නේ නැහැ. එහෙම කරන්නේ කොප්පරා ගෝණියක් දෙකක් හොරෙන් විකුණගන්නයි.”

නමුත් ඩොමින්ගෝ අන් අය වගේ බොරු කිව්වේ නැති නිසා ඔහුගේ රැකියාවත් උන්හිටි තැනත් අහිමි වෙන්න ගියා. ඒ ගැන ඔහු පවසන දේ බලන්න. “අපිට මේ වත්තෙන් යන්න වුණත් අපි බොරු කියන්නේ නැහැ කියලා වැඩ බලන අයට කිව්වා. ඒ නිසා ටික කාලයකට පස්සේ ඔහු කිව්වා ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ විශ්වාසය තියලා වැඩක් භාර දෙන්න පුළුවන් කට්ටියක්’ කියලා. ඒ වගේම ඔහු අපිට වගා කරන්න ඉඩම් කෑල්ලකුත් දුන්නා.”

‘වංචාවෙන් ලාභ ඉපැයීම ප්‍රතික්ෂේප කරයි.’ පියෙර්, අයබදු දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙක්. ඔහු ජීවත් වන්නේ කැමරූන්වලයි. පහසුවෙන්ම මුදල් උපයන්න ඔහුට ඕනෑ තරම් ක්‍රම තිබුණා. උදාහරණයකට කුලීකරුවන්ගේ වැටුප් මුදල් සියල්ල ලැබුණේ ඔහුගේ අතටයි. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “සේවයෙන් ඉවත් වූ අය වගේම මිය ගිය සමහර සේවකයන්ගේ නම්වලට පවා තවමත් රජය විසින් වැටුප් නිකුත් කරන බව මට තේරුණා. අවශ්‍ය නම් ඒ මුදල් මට වංචා කරන්න තිබුණා. නමුත් මම එහෙම නොකර හැම මාසයකම වාර්තාත් එක්කම ඒ සල්ලි සේප්පුවට දැම්මා.”

එහි ප්‍රතිඵලය ගැන ඔහු මෙසේ සිහිපත් කරනවා. “අවුරුදු දෙකකට පස්සේ විගණන නිලධාරීන් ආවා. පසුගිය කාලේ පුරා මම සේප්පුවට දැමූ ඒ විශාල මුදල් ප්‍රමාණය, සියලුම වාර්තා එක්ක ඔවුන්ට භාර දෙන්න ලැබීම ගැන මට හරි සතුටුයි. ඒ වෙලාවේදී මගේ අවංකකම ගැන ඒ නිලධාරීන් මාව හුඟක් අගය කළා.”

‘අල්ලස් ගැනීමෙන් වැළකීම.’ බ්‍රසීලයේ ජීවත් වන රිකාඩෝ, නොතාරිස්වරයෙක්. ඔහුට අල්ලස් දීමට බොහෝදෙනෙක් උත්සාහ කර තිබෙනවා. ඉන් එක් අවස්ථාවක් ගැන ඔහු මතකයට නඟන්නේ මෙසේයි. “දවසක් නීතිඥයෙක් මම දන්නේවත් නැතුව අපේ ගෙදරට CD යන්ත්‍රයක් එවලා තිබුණා. ඒ කාලේ හැටියට ඒක හුඟක් වටිනවා.”

රිකාඩෝ කළේ කුමක්ද? “ඒ පෙට්ටිය අරින්නෙවත් නැහැ කියලා මමයි බිරිඳයි තීරණය කළා. ඊටපස්සේ මම ඒක අරන් ගිහින් නීතිඥ කාර්යාලයේ මේසය උඩ තිබ්බාම එයා පුදුම වුණා. මම ඒක භාරගත්තේ නැත්තේ ඇයි කියලා එයාට පැහැදිලි කරන්න මට අවස්ථාව ලැබුණා. මම කළ ඒ දේ ගැන නීතිඥයාගේ ලේකම් හුඟක් පුදුම වුණා.”

අවංකව ජීවත් වීමට උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පමණක් නොවන බව ඇත්තයි. නමුත් කණ්ඩායමක් ලෙස ගත් කල අවංකකම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසිද්ධියක් උසුලනවා. මෑතකදී පෝලන්තයේ ව්‍යාපාරික ආයතනයක් විසින් ඔවුන්ගේ ශාඛා සියල්ලෙහිම සේවය සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පමණක් බඳවාගත්තේ ඒ නිසයි. එහි අළෙවි කළමනාකරු ඔවුන් ගැන මෙසේ පැවසුවා. “අවංක මිනිස්සු නම් හැම තැනම ඉන්නවා තමයි. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට හොඳ ප්‍රතිපත්ති තියෙනවා. ඔවුන් හැමෝම උත්සාහ කරන්නේ ඒ ප්‍රතිපත්ති රකින්නයි.”

දුප්පත් වුණත් විශ්වාසවන්තව

කෙනෙක් දුප්පත් නම් පොඩි වංචාවක් කළාට කමක් නැහැ කියා බොහෝදෙනෙක් සිතනවා. උදාහරණයකට 14 වියැති නයිජීරියානු පිරිමි ළමයෙකු අන්තර්ජාලය භාවිත කරමින් වංචනික ලෙස අන් අයගෙන් මුදල් ලබාගත්තා. එහිදී ඒ පිරිමි ළමයා තමා කළ වරද සාධාරණීකරණය කළේ මෙසේයි. “මම වෙන මොනවා කරන්නද? මගේ අම්මටයි තාත්තටයි නංගිටයි මම කොහොම හරි කන්න දෙන්න ඕනේ. අපිත් ජීවත් වෙන්න ඕනෙනේ.”

බයිබලයේ ඇති ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන අය ධන සම්පත් අතින් පොහොසත් වන බව බයිබලයේ සඳහන් වී නැහැ. නමුත් එවැනි අයට ඔවුන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍ය වන දේවල් ලැබෙන බව එහි පොරොන්දු වී තිබෙනවා. ඒ බව එහි සඳහන් වන්නේ මෙසේයි. “ඔහු කිසිදා කුසගින්නෙන්වත් පිපාසයෙන්වත් සිටින්නේ නැත.”—යෙසායා 33:16.

අන්ත දුගීකමෙන් පෙළෙන අයට අවංක වීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද කියා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. එසේනම් ඉතා අමාරුවෙන් එදා වේල සොයාගන්නා අය ගැන කුමක් කිව හැකිද?

කැමරූන් රටේ වෙසෙන බර්ත් නමැති වැන්දඹුව ගැන සලකා බලන්න. ඇයට මඤ්ඤොක්කා ආශ්‍රිත නිෂ්පාදන විකුණන කුඩා කඩයක් තිබෙනවා. ඇගේ වෙළඳාම ගැන ඇය මෙසේ පවසනවා. “සාමාන්‍යයෙන් පැකට් එකක කෑලි 20ක් තියෙන්න ඕනේ. ඒත් ගොඩක් අය ඒකට දාන්නේ කෑලි 17ක් හරි 18ක් හරි විතරයි. හැබැයි මම නම් එහෙම කරන්නේ නැහැ.

“සමහර දවස්වලට එකක්වත් විකිණෙන්නේ නැහැ. ඒ වගේ දවස්වලට මම කෑම කඩයකට ගිහින් පස්සේ සල්ලි දෙන්නම් කියලා කෑම එකක් ඉල්ලගන්නවා. එයාලාත් අදිමදි නොකර මට දෙනවා. ඒකට හේතුව ඒ අයට මාව විශ්වාස නිසයි. අද වෙන තුරු මම ඒ විශ්වාසය කඩ කරලා නැහැ.”

විශ්වාසවන්ත දෙවි කෙනෙක්

කෙනෙක් දුන් පොරොන්දුවක් ඒ ආකාරයටම ඉටු කරනවා නම් ඔහුව තව තවත් විශ්වාස කිරීමට අප පෙලඹෙනවා. යෙහෝවා දෙවිද එවැනි කෙනෙක්. ඒ බව අද්දුටු පුරාණයේ සිටි යොෂුවා පැවසුවේ ‘යෙහෝවා දෙවි දුන් එක පොරොන්දුවක්වත් කඩ නොවී සියල්ල ඒ අයුරින්ම ඉටු විය’ කියායි. (යොෂුවා 21:45) ඔහු මෙන් දෙවිගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීමට අපටත් හොඳ හේතු තිබෙනවාද?

ඇත්තෙන්ම ඔව්. අහසෙන් වැටෙන වර්ෂාව වළක්වන්න කිසිවෙකුට බැහැ. එලෙසම දෙවි දී තිබෙන පොරොන්දුවල ඉටු වීමද වළක්වන්න කිසිවෙකුට බැරි බව දෙවිම පවසා තිබෙනවා.—යෙසායා 55:10, 11.

බයිබලයේ මෙවැනි දෙයක්ද සඳහන් වෙනවා. “[දෙවි] දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක් පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.” (2 පේතෘස් 3:13) ඒ අනුව දෙවිගේ අරමුණ වන්නේ වංචනිකව කටයුතු කරන සියලුදෙනාවම මේ පොළොවෙන් ඉවත් කර ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමයි. දෙවි එම අරමුණු ඉටු කරන ආකාරය ගැන තවදුරටත් දැනගැනීමට ඔබ කැමතිද? එසේනම් ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැසෙන්න. නැත්නම් මෙම සඟරාවේ 5වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට ලියන්න.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අවංකකමේ වටිනාකම

පිලිපීනයේ ජීවත් වන ලූසියෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. දිනක් ඔහු වැඩ කරන ස්ථානයේ පොත් කබඩ් එකක් අස් කරමින් සිටින විට එහි තිබී ඔහුට ඩොලර් 27,500ක මුදලක් හමු වුණා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “මගේ ජීවිතයේ මුල් වතාවට ඩොලර් නෝට්ටුවක් දැක්කේ එදා තමයි.” ඒ මුදල් අයිති ආයතනයේ ප්‍රධානියා ඒ වන විට ව්‍යාපාර කටයුත්තක් සඳහා පිටව ගොස් සිටියා.

ඔහු පැමිණි පසු ලූසියෝ ඒ මුදල් ඔහුට භාර දුන්නා. එහි ප්‍රතිඵලය ගැන ලූසියෝ මෙසේ පවසනවා. “ඔහු මාව විශ්වාස කරලා මට තවත් වගකීම් දුන්නා. ඒ විතරක් නෙවෙයි අපේ මුළු පවුලටම ඉන්න කාමරයකුත් දුන්නා. මේ රටේ ජීවත් වෙන එක ලෙහෙසි නැහැ. නමුත් මම දෙවිගේ ප්‍රතිපත්තිවලට කීකරු වුණ නිසා යෙහෝවා දෙවි මාව බලාගත්තා.”

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“හොර බොරු නැහැ”

කැමරූන් රටේ ඩොයුලා වෙළඳසැලේ තිබෙන මොඑස්ගේ මාළු ලෑල්ල කවුරුත් දන්නවා. ඔහු මෙහෙම කියනවා. “මගේ කඩේ නම ‘තරාදිය.’ එහෙම කියන්නේ මෙහේ ඉන්න හුඟදෙනෙක් වගේ මම හොරට කිරන්නේ නැති නිසයි. හැබැයි මගෙන් මාළු අරන් යන හුඟක් අය ඒක තවත් තැනකට ගිහින් කිරලා බලනවා. එතකොට ඒ තරාදිවල පෙන්නන්නේ කිලෝ එකකට වඩා තියෙනවා කියලයි. මම හොරට කිරලා නැහැ කියලා එතකොට එයාලා තේරුම්ගන්නවා. හුඟක් අය මට මෙහෙම කියනවා. ‘අපි ඔයාගෙන්ම මාළු ගන්නේ ඔයා ළඟ හොර බොරු නැහැ කියලා අපි දන්න නිසයි.’”

[7වන පිටුවේ පින්තූරය]

“අපිට මේ වත්තෙන් යන්න වුණත් අපි බොරු කියන්නේ නැහැ කියලා වැඩ බලන අයට කිව්වා.”—පිලිපීනයේ ඩොමින්ගෝ.

[7වන පිටුවේ පින්තූරය]

“මගේ අවංකකම ගැන ඒ නිලධාරීන් මාව හුඟක් අගය කළා.”—කැමරූන්හි පියෙර්.

[7වන පිටුවේ පින්තූරය]

“නීතිඥයෙක් මට CD යන්ත්‍රයක් එවලා තිබුණා. ඒක අරින්නෙවත් නැහැ කියලා මමයි බිරිඳයි තීරණය කළා.”—බ්‍රසීලයේ රිකාඩෝ.

[7වන පිටුවේ පින්තූරය]

කිසිම දෙයක් විකිණුණේ නැති දවස්වලට ඇය කෑම කඩයකට ගිහින් පස්සේ සල්ලි දෙන්නම් කියලා කෑම එකක් ඉල්ලගන්නවා. ඒ වෙලාවට එයාලා අදිමදි නොකර ඇයට දෙන්නේ, සල්ලි ලැබුණ ගමන්ම ඇය ඒ ණය ගෙවනවා කියලා විශ්වාස කරන නිසයි.