Skip to content

පටුනට යන්න

එදා මම දෙවි කෙනෙකුව විශ්වාස කළේ නැහැ

එදා මම දෙවි කෙනෙකුව විශ්වාස කළේ නැහැ

එදා මම දෙවි කෙනෙකුව විශ්වාස කළේ නැහැ

චෙච් ජනරජයේ සිටින මහාචාර්ය ෆ්‍රාන්ටිෂෙක් විස්කොචිල් ස්නායු කායික විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙක්. ඔහු ලෝක ප්‍රසිද්ධයි. කලක් අදේවවාදියෙකුව සිටි ඔහු දැන් දෙවි කෙනෙකු සිටින බව තදින්ම විශ්වාස කරනවා. ඒ ගැන ඔහු පිබිදෙව්! සඟරාවට පළ කළ අදහස් කිහිපයක්.

මුලදී ඔබට ආගම ගැන තිබුණේ මොන වගේ අදහසක්ද?

මම හැදී වැඩුණේ දෙවි කෙනෙකුව විශ්වාස නොකළ පරිසරයකයි. මගේ තාත්තට පූජකයන්ව විහිළුවක් වගෙයි. එදා ඉඳලාම මම පරිණාමය සත්‍යයක් කියලා විශ්වාස කළා. වර්ෂ 1963දී ජීව සහ රසායනික විද්‍යාව යන අංශවලින් මම උපාධි ලැබුවා.

ඔබ ආ ගමන ගැන කියන්න පුළුවන්ද?

මම උපාධි ගත්තට පස්සේ ස්නායු ගැනත් නියුරෝන ගැනත් ඉන්ද්‍රියන් බද්ධ කිරීම සහ ඖෂධ ස්නායුවලට බලපාන ආකාරය ගැනත් බොහෝ පර්යේෂණ කළා. මම සොයාගත් බොහෝ දේවල් විද්‍යා සඟරාවලටත් විද්‍යා අත්පොත්වලටත් ඇතුළත් කළා. පසු කාලයේදී චෙච් ජනරජයේ පිළිගත් විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකයෙක් ලෙස මාව තෝරාගත්තා. වර්ෂ 1989දී මම චාල්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වුණා. ඒත් එක්කම මට බටහිර රටවලට ගිහින් පිළිගත් විද්‍යාඥයන්ව මුණගැහෙන්නත් අවස්ථාව ලැබුණා.

දෙවි ගැන ඔබට තිබුණේ මොන වගේ අදහසක්ද?

මට නම් හැඟුණේ දෙවි කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක් කියලයි. ඒ වගේම ආගමේ නාමයෙන් කරලා තියෙන කෲර දේවල් ගැන මට තිබුණේ ලොකු කේන්තියක්. ඒත් සමහර මහාචාර්යවරුන් වගේ දැන උගත් අය දෙවි කෙනෙකුව විශ්වාස කරන්නේ ඇයි කියලා මම කල්පනා කළා.

පරිණාමය ගැන තිබුණ විශ්වාසය ඔබ වෙනස් කළේ ඇයි?

මුලින්ම ඒ ගැන මට සැකයක් ඇති වුණේ ස්නායු අතර ඇති සම්බන්ධය අධ්‍යයනය කරනකොටයි. ඒවා සරලයි කියලා කිව්වත් අධ්‍යයනය කරනකොට මට තේරුණා ඒවා මොන තරම් සංකීර්ණද කියලා. මෙතරම් සංකීර්ණ දෙයක් ඉබේ ඇති වුණේ කොහොමද කියලා මම කල්පනා කළා.

දවසක් මම රුසියාවෙන් පැමිණි ප්‍රසිද්ධ විද්‍යාඥයෙකුගේ දේශනයකට සහභාගි වුණා. එදා ඔහු කිව්වා ස්වාභාවික වරණයෙන් සහ පරිණාමයෙන් ජීවීන් බිහි වෙන්න බැහැ කියලා. එතකොට කෙනෙක් ඇහුවා ‘එහෙමනම් ජීවීන් බිහි වුණේ කොහොමද’ කියලා. ඒ වෙලාවේ ඔහු පුංචි බයිබලයක් අරන් පෙන්නලා මෙහෙම කිව්වා. “බයිබලයේ උත්පත්ති පොතේ තියෙන වාර්තාව කියවන්න.”

පස්සේ මම එයාගෙන් ඇහුවා බයිබලය කියවන්න කිව්වේ ඇත්තටද කියලා. ඔහු මෙහෙම කිව්වා. “සාමාන්‍ය බැක්ටීරියා සෛලයක ප්‍රෝටීන් වර්ග සිය ගණන් තියෙනවා. ඒ එක් එක් ප්‍රෝටීනයකට ඇමයිනෝ අම්ල වර්ග 20ක් තියෙනවා වගේම ඒවා යම් නිශ්චිත පිළිවෙළකටත් සකස් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි හැම විනාඩි 20කටම සැරයක් තනි බැක්ටීරියා සෛලයකට දෙකකට බෙදෙන්නත් හැකියාව තියෙනවා. විද්‍යාඥයන් උපකල්පනය කර තියෙන්නේ, ජීවීන් බිහි වෙලා දැනට අවුරුදු බිලියන තුනක් හෝ හතරක් විතර වෙනවා කියලයි. ඒත් බැක්ටීරියා සෛලයක් වුණත් පරිණාමය වෙන්න, ඊටත් වඩා විශාල කාලයක් ගත වෙයි.

ඒ දේවල් ඔබට බලපෑවේ කෙසේද?

ඒ සාකච්ඡාවෙන් පස්සේ පරිණාමය ගැන තිබුණ සැකය තවත් වැඩි වුණා. ඒ නිසා ආගමට ළැදි යහළුවන් එක්ක ඒ ගැන කතා කළත් සෑහීමකට පත් වෙන්න පුළුවන් උත්තර මට ලැබුණේ නැහැ. පස්සේ මම තවත් විද්‍යාඥයෙක් එක්ක කතා කළා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. මටත් මගේ භාර්යාව වන එමාටත් අවුරුදු තුනක් තිස්සේ එයා බයිබලයේ තියෙන තොරතුරු පැහැදිලි කරලා දුන්නා. ඒකෙන් මම වැදගත් දේවල් දෙකක් දැනගත්තා වගේම ඒ ගැන පුදුම වුණා. එකක් තමයි, ක්‍රිස්තියානි කියලා කියාගන්නා ආගම්වල උගන්වන්නේ බයිබලයේ තිබෙන දේවල් නෙවෙයි. අනික් එක, බයිබලය විද්‍යා අත්පොතක් නොවුණට එය විද්‍යාවටත් එකඟයි.

දෙවි කෙනෙක්ව විශ්වාස කිරීම ඔබේ පර්යේෂණවලට බාධාවක් වුණාද?

නැහැ. තමන්ගේ ආගම මොකක් වුණත් හොඳ විද්‍යාඥයෙක් කළ යුතු වන්නේ ඕනෑම දේකට සාක්ෂි සෙවීමයි. දැන් මම දන්නවා අවට ලෝකයේ තියෙන පුදුමාකාර දේවල් අහම්බෙන් ඇති වෙලා නැහැ කියලා. මමත් තවත් විද්‍යාඥයන් බොහෝදෙනෙකුත් අහන්නේ ‘දෙවි මේවා නිර්මාණය කරන්න ඇත්තේ කොහොමද’ කියලයි. ඒ වගේම මගේ ආකල්ප වෙනස් කරගන්නත් ඒක මට උපකාරයක් වෙලා තියෙනවා. ඉස්සර මම, මං ගැනත් මගේ හැකියාවන් ගැනත් ඕනෑවට වඩා ආඩම්බර වුණා. ඒ වගේම තරඟකාරී ස්වභාවයකුත් තිබුණා. ඒත් දැන් මගේ හැකියාවන්ට මම ස්තුති කරන්නේ දෙවිටයි.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මමත් තවත් විද්‍යාඥයන් බොහෝදෙනෙකුත් අහන්නේ ‘දෙවි මේවා නිර්මාණය කරන්න ඇත්තේ කොහොමද’ කියලයි