ළඟදීම තවත් භූමිකම්පා
ළඟදීම තවත් භූමිකම්පා
නවීන උපකරණ නිපදවීමත් සමඟ දරුණු භූමිකම්පා සියය ගණන් වාර්තා කිරීමට භූ විද්‍යාඥයන්ට හැකි වුණා. ජනාකීර්ණ නොවන ප්‍රදේශවල සිදු වන භූමිකම්පා එතරම් ගැටලුවක් නොවෙයි. නමුත් ඉතා ජනාකීර්ණ නගරවල භූමිකම්පාවක් ඇති වූ විට එයින් විශාළ දේපළ හානියක් මෙන්ම මිනිස් ජීවිත රැසක්ද අනතුරට ලක් වෙනවා.
භූමිකම්පාවක දරුණුකම මැනීමට විවිධ ක්‍රම තිබෙනවා. උදාහරණයකට 2010 ජනවාරි 12වනදා හයිටි රටේ සිදු වූ භූමිකම්පාව වාර්තා වෙන්නේ, ජීවිත හා දේපළ විශාල ප්‍රමාණයක් නැති කළ දරුණුම භූමිකම්පාව ලෙසයි. නමුත් 2010 වසරේ මුල්භාගයේ රික්ටර් මාපක අගයන් අතින් ඒ හා සමාන හෝ ඊට වඩා දරුණු භූමිකම්පා සිදු වී තිබෙනවා. අපි ඉන් කීපයක් සලකා බලමු.
ජනවාරි 3, සොලොමන් දූපත්, රික්ටර් මාපක 7.1
සොලොමන් දූපත් අවට ඇති වූ මේ දරුණු භූමිකම්පාව නිසා අඩි හයත් දහයත් අතර උස සුනාමි රැල්ලක් හටගත්තා. විපත සිදු වූ රෙන්ඩෝවා දූපත බැලීමට ආපදා නිරීක්ෂණ කමිටු සාමාජිකයෙකු වන ලෝටී යේට්ස් ගුවනෙන් ගමන් කළා. එහි බයිනාරා ගම්මානය ගැන ඔහු මෙසේ පැවසුවා. “මුළු ප්‍රදේශයම යට වෙලා තිබුණා. ගෙවල් 16ක් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ඒ වගේම තවත් ගෙවල් බොහොමයකට හානි වෙලා තිබුණා.”
භූමිකම්පාව සිදු වීමට පැය දෙකකට පමණ පෙර රික්ටර් මාපක 6.6ක භූ කම්පනයක් ඇති වුණා. එයට භය වූ බොහෝදෙනා කඳුකරයට පලා ගියා. එසේ කිරීම නිසා ඔවුන්ට තම ජීවිත ගලවාගැනීමට හැකි වුණා.
පෙබරවාරි 26, ජපානයේ රියුකියු දූපත්, රික්ටර් මාපක 7.0
මෙම භූමිකම්පාව සිදු වුණේ රියුකියු දූපත්වලට අයත් ඔකිනාවා දූපතේ සිට කිලෝමීටර් 80ක් පමණ ඈතිනුයි. එය අලුයම 5:31කට පමණ සිදු වුණා. මුලින්ම සුනාමි අනතුරු ඇඟවීමක් කළත් පසුව එහි අවදානමක් නැති බව නිවේදනය කළා. අවුරුදු 90ක් පමණ ඔකිනාවා දූපතේ ජීවත් වූ කාන්තාවක් පැවසුවේ ඇගේ ජීවිත කාලයේ අද්දුටු දරුණුතම භූමිකම්පාව එය කියායි.
පෙබරවාරි 27, දකුණු ඇමරිකාවේ චිලී, රික්ටර් මාපක 8.8
පසුගිය වසර 100 ඇතුළත ලෝකයේ ඇති වූ දරුණුතම භූමිකම්පාව සිදු වුණේ 1960දීයි. රික්ටර් මාපක 9.4ක් වූ එය සිදු වුණේ චිලී රටේයි. පසුව 1985දී රික්ටර් මාපක 7.7ක භූමිකම්පාවක්ද සිදු වුණා. මේ නිසා ඉදි කිරීමේ ක්ෂේත්රයේ නව ප්‍රමිති කිහිපයක් හඳුන්වා දීමට සිදු වුණා.
එම ප්‍රමිති නිසා 2010 වසරේ සිදු වූ භූමිකම්පාවෙන් ගොඩනැඟිලි කිහිපයක් ආරක්ෂා වුණා. නමුත් වෙනත් ආකාරයේ දේපළ හානි සිදු වුණා. ඊට අමතරව 500ක් පමණ මිය ගිය අතර ඉන් අඩක්ම මිය ගියේ භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි රළ නිසයි.
අප්‍රියෙල් 4, මෙක්සිකෝවේ බාජා කැලිෆෝර්නියා, රික්ටර් මාපක 7.2
මෙම භූමිකම්පාව සිදු වුණේ මෙක්සිකාලි නගරයෙන් කිලෝමීටර් 47ක් ඈතකිනුයි. එම ප්‍රදේශයේ එතරම් මිනිසුන් නැහැ. කෙසේවෙතත් මෙක්සිකෝවේ හා දකුණු එක්සත් ජනපදයේ බොහෝ නගරවලටත් එම භූ කම්පනය මද වශයෙන් බලපෑවා.
මැයි 9, ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා, රික්ටර් මාපක 7.2
මෙම භූමිකම්පාව සිදු වුණේ බන්ඩා අසෙ නගරයෙන් කිලෝමීටර් 217ක් පමණ ඈත මුහුදෙයි. බොහෝ අය තම නිවෙස් අතහැර ගිය අතර නැවත ඒවායෙහි පදිංචියට පැමිණීමටද භය වුණා. එම භූමිකම්පාවෙන් කිසිම ජීවිත හානියක් වාර්තා වුණේ නැහැ.
ඉදිරියේදීත්
අනාගතයේදී තවත් දරුණු භූමිකම්පා ඇති වෙයිද? එක්සත් ජනපදයේ භූ විද්‍යා දෙපාර්තුමේන්තුව ඊට මෙසේ පිළිතුරු දෙනවා. “මෙතෙක් ඇති වුණා වගේම අනාගතයේදීත් ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා.”
“ඇති වී තිබෙන දරුණු භූමිකම්පාවලින් පෙනී යන්නේ ඒ සඳහා අපට කළ හැකි දේවල් සීමිත බවයි. ආරක්ෂා වීම සඳහා අනතුරු ඇඟවීමට යම් ක්‍රම තිබුණත් අපට ඒවා වළක්වන්න බැහැ. අනාගතයේදීත් අපිට දරුණු භූමිකම්පා බලාපොරොත්තු වෙන්න වෙයි” කියා එක් පුවත්පතක සඳහන් වුණා.
අද පවතින දුෂ්ට සමාජය විනාශ වීමට පෙර දරුණු භූමිකම්පා ඇති වන බව බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.—මතෙව් 24:3, 7; මාක් 13:8; ලූක් 21:11.
[20, 21වන පිටුවේ සිතියම]
2010 ජනවාරි සිට මැයි දක්වා සිදු වූ රික්ටර් මාපක 7.0 හෝ ඊට වඩා දරුණු භූමිකම්පා
මෙක්සිකෝව
හයිටි
චිලී
ජපානය
ඉන්දුනීසියාව
සොලොමන් දූපත්