Skip to content

පටුනට යන්න

ප්‍රීතිමත් සේවයක සොඳුරු මතකයන්

ප්‍රීතිමත් සේවයක සොඳුරු මතකයන්

ප්‍රීතිමත් සේවයක සොඳුරු මතකයන්

පැවසුවේ හෙරවාටි නූහාර්ට්

මම ඉපදුණේ ඉන්දුනීසියාවේ සිරබන් නගරයේයි. ඒ නගරය බතික් රෙදිවලට හුඟක් ප්‍රසිද්ධයි. මගේ ජීවිතයත් හරියට විවිධ රටා දැමූ ලස්සන බතික් රෙද්දක් වගෙයි. ඒ ඇයි කියලා දැන් මම කියන්නම්.

මගේ අම්මයි තාත්තයි චීන ජාතිකයන්. ඒ වුණත් ඒගොල්ලන් ඉපදිලා තියෙන්නේ ඉන්දුනීසියාවේ. මම ඉපදුණේ 1952දීයි. වර්ෂ 1962දී අපේ අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. කාලයත් එක්කම අම්මයි, තාත්තයි, මමයි, අපේ පවුලේ තවත් හතරදෙනෙකුයි බව්තීස්ම වුණා.

පූර්ණකාලීනව දෙවිට සේවය කරන අයට අපේ ගෙදර දොර නිතරම ඇරිලයි තිබුණේ. ඔවුන්ගේ ආදර්ශ සහ අද්දැකීම් නිසා මමත් තීරණ කළා දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න. එතකොට මගේ වයස අවුරුදු 19යි. ඊට අවුරුද්දකට පස්සේ ජර්මානු ජාතික යෝසෆ් නූහාර්ට් එක්ක මම විවාහ වුණා. ඔහු සේවය සඳහා ඉන්දුනීසියාවට ඇවිත් තිබුණේ 1968දීයි. අපේ විවාහයෙන් පස්සේ අපි සේවය සඳහා සුමාත්‍රා දූපතට ගියා. යෝසෆ්ගේ පැවරුම වුණේ සංචාරක සේවකයෙක් ලෙස සාක්ෂිකරුවන්ගේ සභාවලට ගිහින් ඒ අයව දිරිගන්වන එකයි.

සුන්දර සුමාත්‍රා දූපත

ඉන්දුනීසියාවට දූපත් 17,000ක් අයත් වෙනවා. ඒ අතරින් විශාලත්වයෙන් දෙවෙනි ස්ථානය හිමි වෙන්නේ සුමාත්‍රා දූපතටයි. මුලින්ම අපි සේවය කළේ බටහිර සුමාත්‍රාවේ පැංඩෑංග් නගරයේ සිට කඳුකරයේ ටෝබා විල දක්වා ප්‍රදේශයේයි. පස්සේ කාලයේදී අපි දකුණු ප්‍රදේශයටත් ගියා. අපිට කාර් එකක් තිබුණත් ගමන් බිමන් ඒ තරම් පහසු වුණේ නැහැ. පාරවල හැම තැනම වළවල්. ඒ වගේම හරියට දූවිලි. ඒ විතරක් නෙවෙයි, පාලම් හදලා තිබුණේ පොල් කොටවලින්. සමහර අවස්ථාවලදී අපිට ගිනි කඳු පහු කරගෙන යන්න වුණා. ඒවා කොයි මොහොතේ පුපුරයිද කියලා කියන්න බැහැ. හුඟක් දවස්වලට අපි රෑ ගත කළේ ඇඳක්වත් නැති පැල්පත්වලයි. මූණ සොදගන්න වුණත් ගඟට යන්න වුණා. එහේ අය හුඟක් දුප්පත්. ඒ වුණත් යහපත්කම අතින් නම් හරිම පොහොසත්. ඒ අය අපිව ආදරයෙන් පිළිගත්තා විතරක් නෙවෙයි, හුඟක් අය බයිබලය ගැන ඉගෙනගන්නත් ලොකු ආශාවක් දැක්වූවා.

පැංඩෑංග් නගරයේ ජීවත් වුණ හුඟක් අය ඉස්ලාම් භක්තිකයන්. ඒ නිසා ත්‍රිත්වය නමැති ඉගැන්වීම වැරදියි කියලත් ඉන්නේ එක දෙවි කෙනෙක් විතරයි කියලත් බයිබලයෙන් පෙන්නුවාම ඒ අය පුදුම වුණා. (ද්විතීය කතාව 6:4) හුඟදෙනෙක් අපෙන් සඟරාත් ගත්තා. තවත් අය දිගටම බයිබලය පාඩම් කළා. අනික් අතට ටෝබා විල අවට ජීවත් වන බටාක් ජාතිකයන්ගෙන් වැඩිදෙනෙක් නම් ඒ අයගේම බයිබල්වලින් දෙවිගේ නම යෙහෝවා කියලා දැනගෙන තිබුණා. (ගීතාවලිය 83:18) ඒත් දෙවි ගැනත් දෙවිගේ අරමුණ ගැනත් ඔවුන්ට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා හුඟක් අය බයිබලය පාඩම් කරන්න කැමති වුණා. පස්සේ කාලයේදී ඒ අයත් උනන්දුවෙන් දෙවිට සේවය කරන්න පටන්ගත්තා.

අමතක නොවන ජාවා දූපත

වර්ෂ 1973දී අපිට ජාවා දූපතට පැවරුවක් ලැබුණා. ඒ කාලයේදී එහේ ජනගහනය මිලියන 80ක් විතර ඇති. * විවිධ චීන ගෝත්‍රිකයන් වගේම සුඩාන් හා ජාවානු ජාතිකයන් එක්කත් අපි බයිබලයේ තිබෙන පණිවිඩය බෙදාගත්තා.

ඉන්දුනීසියානු, ජාවා, සුඩාන්, ඉංග්‍රීසි වගේ භාෂා කිහිපයක්ම මට කතා කරන්න පුළුවන්. ඒ නිසා හුඟක් අයට ඒ අයගේම භාෂාවෙන් බයිබලය උගන්වන්න පුළුවන් වුණ එක ගැන මට හුඟක් සතුටුයි.

ඉන්දුනීසියාවේ අගනුවර ජකාර්තා නගරයයි. දවසක් මම වයස අවුරුදු 19ක ගැහැනු ළමයෙකුට පාරාදීසය ගැන කතා කළා. එතකොට ඒ ළමයා අඬඅඬා මට මෙහෙම කිව්වා. “මට මේ දේවල් ගැන කියලා දුන්නට ස්තුතියි. විශ්වවිද්‍යාල ගාස්තු ගෙවන්න හෙට වෙනකොට මම තව රුපියා මිලියන 1.5ක් හොයාගන්න ඕනේ. (රු. 18,000ක් පමණ) ඒ නිසා මම හිතුවේ ගණිකාවක් වෙලා හරි ඒ මුදල් හොයාගන්නවා කියලයි. ඒත් මම දැන් ඒ තීරණය වෙනස් කළා. උසස් අධ්‍යාපනයක් ලබනවාට වඩා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන එකයි වඩා වැදගත්. හොඳ තීරණයක් ගන්න පුළුවන් වෙන්න කියලා මම දෙවිට කළ යාච්ඤාවට මට පිළිතුරු ලැබුණා. ඔයාව හම්බවුණ එක ගැන මම හුඟක් සතුටු වෙනවා.” ඊටපස්සේ ඒ ළමයා දිගටම බයිබලය පාඩම් කළා. එයා වගේ හුඟක් අය ඔවුන්ගේ ජීවිත වෙනස් කරගෙන සන්තෝෂවත් ජීවිත ගත කරනවා.—යෙසායා 48:17, 18.

පාරාදීසයක් බඳු බෝර්නියෝ දූපත

ලෝකයේ තිබෙන දූපත් අතරින් විශාලත්වයෙන් තුන්වන තැන හිමි වෙන්නේ බෝර්නියෝ දූපතටයි. අපි ඊළඟට ගියේ ඒකටයි. එහේ හුඟක් කැලෑ, කඳු, ගංගා තියෙනවා. චීන ජාතිකයන් වගේම මැලේ ජාතිකයනුත් ඒ දූපතේ ඉන්නවා. ඒත් ඒ ප්‍රදේශයටම ආවේණික ගෝත්‍රය තමයි ඩෙයැක් ගෝත්‍රය. ඒ අය කාලයකට ඉස්සර තමන්ගේ සතුරන්ව මරලා ඔළු කපලා එල්ලලා තියාගත්තලු. ඒත් දැන් නම් එහෙම කරන්නේ නැහැ.

ඩෙයැක් අයව හම්බවෙන එක ලෙහෙසි පහසු දෙයක් වුණේ නැහැ. ඒ අයව බලන්න යන්න තියෙන්නේ කැලෑ හරහා තිබුණ ගංගාවලින්. අපි පුංචි බෝට්ටුවලින් යනකොට ගස් උඩ ඉන්න වඳුරෝ අපි දිහා බලාගෙන හිටියේ හරියට අපිව අඳුරනවා වගෙයි. පාට පාට කුරුල්ලන්වත් හුඟක් දැක්කා. ඒ වගේම අව්ව තපින කිඹුල්ලුන්ව දකිනකොට නම් පුංචි භයකුත් දැනුණා.

ඩෙයැක් අය ජීවත් වුණේ ගං ඉවුරු අසල නිසා ඔවුන්ගේ ගෙවල් තිබුණේ පොලොව මට්ටමට ටිකක් ඉහළින්. සාමාන්‍යයෙන් ඒ අය ගෙවල් හදන්නේ කැලෑවෙන් හොයාගන්න අමුද්‍රව්‍යවලිනුයි. සමහර ගෙවල් පොඩියි, තවත් ඒවා ලොකුයි. ඒ කාලයේ හුඟක් අය සුදු ජාතිකයන්ව දැකල තිබුණේ නැහැ. ඒ නිසා අපි ගමකට ඇතුල් වුණාම ළමයි යෝසෆ්ව දැකලා “පාස්ටර් ඇවිල්ලා, පාස්ටර් ඇවිල්ලා” කිය කියා ගම වටේ දුවනවා. ගමේ හැමෝම යෝසෙෆ්ට හොඳින් ඇහුම්කන් දුන්නා. ඒ වගේම හුඟක් අය බයිබලය පාඩම් කරන්නත් කැමති වුණා.

පැපුවා නිව් ගිනියාවට ගිය ගමන

ආගමික විරුද්ධවාදීකම් නිසා 1976 දෙසැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ රජය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සේවය තහනම් කළා. ඒ නිසා අපි සේවය සඳහා පැපුවා නිව් ගිනියාවට ගියා.

එහේ කතා කරන එක භාෂාවක් වෙන්නේ හිරි මොටු භාෂාවයි. ඒක ඉගෙනගන්න ඕනේ නිසා අපි මාස දෙකක් එහි අගනුවර වන මෝර්ස්බි වරායේ නතර වුණා. ඊටපස්සේ පැපුවා නිව් ගිනියාවට අයත් ඩාරු කියන කුඩා දූපතකට ගියා. එහේදී අපිට යුනිස් කියලා කාන්තාවක් මුණගැහුණා. එයා හුඟක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. ඒ වගේම හරිම ලොකු පෙනුමකුත් තිබුණා. අවුරුදු ගණනාවක් යුනිස් බුලත් කාලා තිබුණ නිසා එයාගේ දත්වල හොඳටම කහට බැඳිලයි තිබුණේ. එයා අපිත් එක්ක බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා. අපට හානි වෙන සියලුම නරක පුරුදු යෙහෝවා දෙවි හෙළාදකිනවා කියා දැනගත්තාම යුනිස් බුලත් කන එක නතර කළා. (2 කොරින්ති 7:1) දැන් එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. මේ වගේ හුඟක් අය බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නකොට අපිට මතක් වෙන්නේ “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න” කියන බයිබල් පදයයි.—ගීතාවලිය 34:8.

ටික කාලෙකට පස්සේ නැවත යෝසෆ්ට සංචාරක සේවකයෙක් හැටියට පැවරුමක් ලැබුණා. ඒ නිසා අපිට පැපුවා නිව් ගිනියාවේ අස්සක් මුල්ලක් නෑරම යන්න වුණා. එහේ භාෂා 820ක් විතර තියෙන නිසා අපිට තවත් භාෂා ඉගෙනගන්නත් වුණා. ඒ එක භාෂාවක් තමයි ටොක් පිසිං. එහේ සමහර තැන්වලට අපි පයින්, කාර් එකෙන්, බෝට්ටුවලින් වගේම තවත් සමහර තැන්වලට ගුවන්යානාවලිනුත් ගියා. එහේ හරිම රස්නෙයි. ඒ වගේම මදුරුවෝ පිරිලා. ඒ නිසා අපිට මැලේරියාවත් හැදුණා.

වර්ෂ 1985දී අපිට සොලොමන් දූපත්වල ශාඛා කාර්යාලයේ සේවය කිරීමට පැවරුමක් ලැබුණා. ඒ වගේම සොලොමන් දූපත්වල තිබුණ සභාවන්වල අයව දිරිගන්වන්නත් විශාල එක්රැස්වීම්වලට සහභාගී වෙන්නත් සිදු වුණා. මේ විදිහට අපිට හුඟක් දූපත්වලට යන්න හැකියාව ලැබුණා. මේ සැරේ අපිට ඉගෙනගන්න වුණේ පිජින් භාෂාවයි. බයිබලය ගැන ඉගෙනගන්න ආශාවෙන් සිටි හුඟක් අයව එහේදී අපිට හම්බවුණා.

මකන්න බැරි පාඩුවක්

ඉන්දුනීසියාවේ සාක්ෂිකරුවන්ගේ සේවයට දාලා තිබුණ තහනම 2001දී අයින් කළ නිසා අපි ආපහු ජකාර්තාවලට ගියා. ඊට ටික කාලයකට පස්සේ යෝසෆ්ට සමේ පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තා. එයාට ප්‍රතිකාර කරන්න අපි එයාගේ මව් රට වුණ ජර්මනියට ගියා. කොහොමවුණත් 2005දී ඒ කියන්නේ අපි විවාහ වෙලා වසර 33කට පස්සේ මගේ ආදරණීය ස්වාමිපුරුෂයා මිය ගියා. ඒත් ළඟදීම ඔහු පාරාදීස පොළොවක නැවත නැඟිටීම ලබනවා කියලා මම දන්නවා. (යොහන් 11:11-14) යෝසෆ් මිය යනකොට එයාට වයස අවුරුදු 62යි. ඒ කාලයෙන් අවුරුදු 40ක්ම යෝසෆ් වැය කරලා තිබුණේ යෙහෝවා දෙවිට පූර්ණකාලීනව සේවය කරන්නයි.

යෝසෆ් නැති වුණාට පස්සේ මම ආපහු ජකාර්තාවලට ආවා. කොහොමවුණත් යෝසෆ් නැති අඩුව මකන්න බැහැ. ඒත් බයිබලයේ තියෙන වටිනා සත්‍යයන් අනික් අයට කියලා දෙනකොට මට ලොකු සහනයක් දැනෙනවා. ඒ වගේම මම ඒකෙන් සතුටක්ද අද්දකිනවා. අතීතය දිහා හැරිලා බලනකොට ඇත්තෙන්ම යෙහෝවා දෙවි මට මොන තරම් තෘප්තිමත් ජීවිතයක්ද දීලා තියෙන්නේ කියලා මට හිතෙනවා.

[පාදසටහන]

^ 10 ඡේ. අද එහි ජනගහනය මිලියන 120යි.

[25වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඉන්දුනීසියාව

ජාවා

ජකාර්තා

සිරබන්

සුමාත්‍රා

පැංඩෑංග්

ටෝබා විල

බෝර්නියෝ

පැපුවා නිව් ගිනියා

මෝර්ස්බි වරාය

ඩාරු

සොලොමන් දූපත්

[26වන පිටුවේ පින්තූරය]

සොලොමන් දූපතේදී බයිබලය පාඩම් කළ එක් පවුලක් සමඟ

[26වන පිටුවේ පින්තූරය]

යෝසෆ් මිය යන්න ටික දවසකට පෙර නෙදර්ලන්තයේදී