මේ සියල්ල පිටුපසින් සිටින්නේ කවුද?
මේ සියල්ල පිටුපසින් සිටින්නේ කවුද?
ශුද්ධ බයිබලයේ සැබෑ දෙවිව විස්තර කර තිබෙන්නේ මේ ආකාරයටයි. “ආලෝකයේ උල්පත දෙවිය. ඔහු තුළ කිසි අන්ධකාරයක් නැත.” (1 යොහන් 1:5) ඒ නිසා අන්ධකාරයට අයිති වන අද්භූත, අධිමානුෂික හා ගුප්ත දේවල් පිටුපස සිටින්නේ සැබෑ දෙවි නොවෙයි. එසේනම් ඒ පිටුපස සිටින්නේ කවුද?
පේන කීම, ජ්‍යෝතිඃ ශාස්ත්‍රය, ශාස්ත්‍ර බැලීම, හූනියම් කිරීම, මළවුන්ගෙන් විචාරීම වැනි දේවල් ගැන ඔබ අසා ඇති. මෙවැනි දේවල් ආරම්භ වුණේ ඈත අතීතයේදී බැබිලෝනියෙනුයි. (යෙසායා 47:1, 12, 13) එතැනින් ආරම්භ වූ මේ සියල්ල පසු කාලයේදී ලොව පුරා ව්‍යාප්ත වුණා.
මේ සියල්ල පිටුපස සිටින්නේ කවුද කියා මෙම සිදුවීමෙන් පැහැදිලි වෙයි. එක් අවස්ථාවකදී අතීතයේ සිටි පාවුල් හා වෛද්‍යවරයෙක් වූ ලූක් ඇතුළු පිරිසකට ෆිලිප්පිය නම් නගරයේදී පේන කීමේ හැකියාවක් තිබූ තරුණියක්ව මුණගැසුණා. ඒ ගැන ලූක් මෙවැනි දෙයක් වාර්තා කරනවා. “තරුණ සේවිකාවක් අපට හමු විය. ඇයට භූතයෙකු වැහී සිටි නිසා ඇයට පේන කීමේ හැකියාවක් තිබිණ.”—ක්‍රියා 16:16-18.
මෙම තරුණියට පේන කීමේ හැකියාව ලැබුණේ භූතයන්ගෙන් බව පැහැදිලියි. එසේනම් ‘භූතයන් කියන්නේ කාටද? ඔවුන් ඇති වුණේ කෙසේද? එම ප්‍රශ්න දෙකට බයිබලයේ දෙන පිළිතුර දැන් අපි සලකා බලමු.
භූතයන් කියන්නේ කාටද?
යෙහෝවා දෙවි මිනිසාව නිර්මාණය කිරීමට බොහෝ කාලයකට පෙර ස්වර්ගයේ දේවදූතයන්ව නිර්මාණ කළා. ඔවුන්ව හැඳින්වූයේ “දෙවිගේ පුත්‍රයෝ” ලෙසයි. (යෝබ් 38:4, 7) මේ අයට බලය මෙන්ම නිදහස් තීරණ ගැනීමේ හැකියාවද තිබුණා. ඔවුන් කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව සිටියත් පසුව ඒ තත්වය වෙනස් වුණා.
දෙවි මිනිසාව නිර්මාණය කළ පසුව එක් දේවදූතයෙකුට වැරදි ආශාවක් ඇති වුණා. එනම් දෙවිට හිමි නමස්කාරය ඔහුට ලබාගැනීමයි. ඒ නිසා ඔහු ඉතා කපටි ලෙස සර්පයෙකුව යොදාගනිමින් මුල් ස්ත්‍රිය වූ ඒවව දෙවිට විරුද්ධ වීමට පෙලඹුවා. (උත්පත්ති 3:1-6) බයිබලයේ ඔහු ගැන සඳහන් වෙන්නේ “යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයා” කියායි. (එළිදරව් 12:9) පසුව යේසුස් ඔහුව ‘මිනී මරන්නෙක්’ ලෙස හැඳින්වූ අතර මෙසේද පැවසුවා. “ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ. ඔහු තුළ බලපවත්වන්නේ බොරුවයි. ඒ නිසා ඔහු පවසන්නේ බොරු පමණයි. මන්ද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියායි.”—යොහන් 8:44.
පසුව තවත් දේවදූතයන් සාතන් සමඟ එකතු වී දෙවිට විරුද්ධ වුණා. (උත්පත්ති 6:1, 2) මෙම “පව් කළ දේවදූතයන්” තමන්ට පවරා තිබූ සේවා ප්‍රස්තාව රැකගන්නවා වෙනුවට තමන්ට නියමිත වාසස්ථානය අත්හැර ගියා. (2 පේතෘස් 2:4; යූද් 6) භූතයන් කියා හඳුන්වන්නේ මෙම කැරලිකාර කණ්ඩායමයි. (යාකොබ් 2:19) ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ මිනිසුන්ව නොමඟ යැවීමටයි. පුරාණයේ සිටි දෙවිගේ සෙනඟ වූ ඊශ්‍රායෙල්වරුන් එම උගුලට හසු වුණා. (ද්විතීය කතාව 32:16, 17) එදා මෙන් අදත් මිනිසුන්ව නොමඟ යැවීමට සාතන් හා ඔහුගේ භූතයන් අසත්‍ය ඉගැන්වීම් ඇතුළත් ආගම් යොදාගන්නවා.—2 කොරින්ති 11:14, 15.
පරෙස්සම් වන්න!
සාතන් හා භූතයන් බලවත් බව ඇත්තයි. නමුත් දෙවිගේ උපකාරය ඇතුව ඔවුන්ට “විරුද්ධ සිටින්න” අපට හැකියි. (1 පේතෘස් 5:9) දෙවිගේ උපකාරය ලබන්න නම් අපි ඔහු පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබාගැනීමත් ඔහු අපෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීමත් අත්‍යවශ්‍යයි. පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා. ‘අප ඔබ වෙනුවෙන් නිරතුරුවම යාච්ඤා කරනවා. අප දිගටම ඉල්ලා සිටින්නේ ඔබට සියලුම ප්‍රඥාවත් දෙවිගේ බලය මගින් ලැබෙන වටහාගැනීමේ හැකියාවත් ලැබෙන්න කියාය. ඒ සමඟම දෙවිගේ කැමැත්ත පිළිබඳ පූර්ණ හා නිවැරදි දැනුමක් ඔබට ලැබෙන්න කියාත් ඉල්ලා සිටිමු. එවිට යෙහෝවා දෙවිව සියල්ලේදී සතුටු කරමින් ඔහුට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය ගත කිරීමට ඔබට හැකි වේ.’—කොලොස්සි 1:9, 10.
එෆීස නගරයේ සිටි බොහෝදෙනෙක් මන්තර ගුරුකම්වල නියැලුණා. නමුත් සත්‍යය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත් පසුව ‘ඔවුන් ගුරුකම් සඳහා භාවිත කළ පොත් පත් ගෙනැවිත් සියලුදෙනා ඉදිරියෙහි පුලුස්සා දැමූ’ බව බයිබලයේ වාර්තා වෙනවා. එම පොත් පත්වල වටිනාකම රිදී කාසි පනස්දහසක් වුණත් ඒවා විනාශ කිරීමට ඔවුන් පසුබට වුණේ නැහැ. (ක්‍රියා 19:17-19) මෙය මොන තරම් කදිම ආදර්ශයක්ද!—2 තිමෝති 3:16.
ආරක්ෂක පියවර
භූතයන්ගෙන් ආරක්ෂා වීමට බයිබල් ප්රතිපත්තිද අපට මහත් උපකාරයක් වෙනවා. එවැනි ප්‍රතිපත්ති කිහිපයක් සලකා බලමු.
“දෙවිගෙන් ලැබූ බවට පවසන සෑම පණිවිඩයක්ම විශ්වාස නොකරන්න. එම පණිවිඩ ඇත්තටම පැමිණෙන්නේ දෙවිගෙන්ද කියා සෝදිසි කර බලන්න.” (1 යොහන් 4:1) සමහර අවස්ථාවලදී ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්, ශාස්ත්‍ර හා පේන කියන්නන් වැනි අය පවසන දේවල් සත්‍යය විය හැකියි. උදාහරණයකට පාවුල්ට හා ඔහුගේ මිත්‍රයන්ට ෆිලිප්පි නගරයේදී හමු වූ තරුණිය පැවසූ දෙය බලන්න. “මේ මිනිස්සු මහෝත්තම දෙවිගේ සේවකයෝයි. ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ දෙවි ඔබට ගැලවීම ලබා දෙන ආකාරය ගැනයි.” (ක්‍රියා 16:17) ඇය පැවසූ දේවල් ඇත්තයි. නමුත් ඇයට එසේ කියන්න හැකි වුණේ භූතයන්ගේ උපකාරය නිසයි. ඒ බව තේරුම්ගත් පාවුල්, භූතයාට ඇගෙන් ඉවත් වී යන්න කියා අණ කළා. අපත්, කෙනෙක් උගන්වන දේවල් දෙවිගෙන් ලැබුණ දෙයක්ද නැත්නම් භූතයන්ගෙන් ලැබුණ දෙයක්ද කියා දැනගැනීමට, ඒවා බයිබලයේ ඇති ඉගැන්වීම් සමඟ සන්සන්දනය කර බැලීම අවශ්‍යයි.—ක්‍රියා 17:11.
“දෙවිට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි.” (යාකොබ් 4:7) භූතයන්, දෙවිගේ සතුරන් නිසා ඔවුන් අපගෙත් සතුරන්. ඒ නිසා භූතයන් හා සම්බන්ධ කිසිම දෙයකට ආශාවක්වත් දක්වන්න එපා. දිගටම දෙවි කැමති දේවල් කරන්න. (1 යොහන් 5:3) පුරාණ ඊශ්‍රායෙල්වරුන්ට දෙවි පැවසූ දේ බලන්න. “පේන කියන්නවත් මන්තර ගුරුකම් කරන්නවත් නැකත් බලන්නවත් මායා බලයෙන් දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. කොඩිවින සහ හදිහූනියම් කරන්නවත් කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. එවැනි දේවල් කරන කිසිවෙක් ඔබ අතරේ නොසිටිය යුතුයි. මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්.” (ද්විතීය කතාව 18:10-12) කිසිදාක දෙවිගේ ප්‍රමිති වෙනස් වන්නේ නැහැ.—ගලාති 5:19, 20.
“කිසිම මායා බලයකින් [දෙවිගේ සේවකයන්ට] හානි කළ නොහැකිය.” (ගණන් කතාව 23:23) යෙහෝවා දෙවි, භූතයන්ට වඩා හුඟක් බලවත්. අවසානයේදී ඔහු භූතයන්ව විනාශ කරනවා. ඒ බව දන්නා භූතයන් බියෙන් වෙව්ලන බව බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 2:19) මේ හේතුව නිසා යෙහෝවා දෙවිට සේවය කරන අය භූතයන්ට බිය වීම අවශ්‍ය නැහැ. ඔවුන්ට උපකාර කිරීමට දෙවි සූදානමින් සිටින අතර ‘ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ.’—2 ලේකම් 16:9; ගීතාවලිය 55:22.
“ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.” (දේශනාකාරයා 9:5) මිය ගිය අයට කිසිම දෙයක් කළ නොහැකි බව බයිබලයේ පැහැදිලි කරනවා. ඒ නිසා ඔවුන්ට බිය වන්න අවශ්‍ය නැහැ. (යෙසායා 26:14) මිය ගිය අය ලෙස ඇත්තටම පෙනී සිටින්නේ භූතයන්. ඔවුන් එසේ කරන්නේ මිනිසුන්ව රැවටීමටයි.
“‘යෙහෝවා දෙවිගේ මේසයට’ සහ භූතයන්ගේ මේසයට යන දෙකටම හවුල් වෙන්න ඔබට නුපුළුවන.” (1 කොරින්ති 10:21, 22) යෙහෝවා දෙවිට ප්‍රේම කරන අය අධිමානුෂික මෙන්ම අද්භූත දේවලට කිසිම ආකාරයකින්වත් හවුල් වෙන්නේ නැහැ. ඒ වගේම භූතයන්ට සම්බන්ධ පොත් පත්, චිත්‍රපටි, පරිගණක ක්‍රීඩා වැනි දේවලටද කාලය යොදවන්නේ නැහැ. * “කිසි කමකට නැති දේවල් දෙස මම නොබලන්නෙමි” කියා එක් බයිබල් ලේඛකයෙකු පැවසුවේ හොඳ හේතු ඇතුව බව පැහැදිලියි. (ගීතාවලිය 101:3) යෙහෝවා දෙවිට ප්‍රේම කරන අය දෙවි පිළිකුල් කරන සියලුම දේවල් පිළිකුල් කරනවා.—ගීතාවලිය 97:10.
භූතයන් නිතරම උත්සාහ කරන්නේ ඔවුන්ගේ සැබෑ තත්වය මිනිසුන්ගෙන් සැඟවීමටයි. නමුත් යෙහෝවා දෙවි බයිබලය මාර්ගයෙන් භූතයන්ගේ සැබෑ තත්වය හෙළි කර තිබෙනවා. ඔවුන් ඇත්තටම මිනිසුන්ට හානි කරන, බොරු කියන සතුරන්. නමුත් යෙහෝවා දෙවි ඊට වඩා කොතරම් වෙනස්ද! ඔහු සත්‍යය පවසන, ප්‍රේමණීය දෙවි කෙනෙක් බවත් අපි සදාකාලයටම සතුටින් ජීවත් වෙනවා දකින්න ඔහු කැමති බවත් අපිට ඊළඟ ලිපියෙන් දැනගත හැකියි.—යොහන් 3:16; 17:17.
[පාදසටහන]
^ 19 ඡේ. කෙනෙකුගේ ආගමික පසුබිම සහ ලබා තිබෙන බයිබල් දැනුම, ඔහු ගන්නා තීරණවලට බලපානවා. ඒ නිසා එක් එක් අය ගන්නා තීරණ විවිධයි. නමුත් අප ගන්නා තීරණවලට අපි දෙවිට ගණන් දිය යුතු බව මතක තබාගන්න. (රෝම 14:10, 12) අපි විනෝදය සඳහා තෝරාගන්නා දේවලට භූතයන් සම්බන්ධ දේවල් ඇතුළත්ද කියා සොයා බැලීම අවශ්‍යයි. ඔබ තීරණයක් ගන්නා විට අන් අයව බාධාවට පත් නොවන ආකාරයට ගැනීමටත් දෙවි ඉදිරියේ නිදොස්ව සිටීමටත් වගබලා ගන්න.