Skip to content

පටුනට යන්න

විනෝද වෙන්න මට අවසර නොදෙන්නේ ඇයි?

විනෝද වෙන්න මට අවසර නොදෙන්නේ ඇයි?

යෞවන අය අසති

විනෝද වෙන්න මට අවසර නොදෙන්නේ ඇයි?

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන 17 හැවිරිදි ඇලිසන්, * ඇගේ පන්තියේ සිදු වන දෙයක් ගැන මෙසේ විස්තර කළා.

“හැම සඳුදාම කතාව සති අන්තය ගැන. සාද, පිරිමි ළමයි, පිස්සු වැඩ කරලා පොලිසියෙන් පැන්නුව හැටි වගේ දේවල් තමයි. මොනවා වුණත් ඒගොල්ලන් නම් හොඳට විනෝද වෙලා තියෙනවා. හවස ගියාම ගෙදර එන්නේ පාන්දර. ඒ අයගේ අම්මලා තාත්තලාට නම් ගාණක්වත් නැහැ.

“ඊටපස්සේ මගෙන් අහනවා සති අන්තයේ මම මොනවද කළේ කියලා. මම ඉතිං මොනවද කළේ, ක්‍රිස්තියානි රැස්වීම්වලට ගියා, දේශනා සේවයේ ගියා, එච්චරයි. ඒක කියන්න බැරි නිසා මම කියනවා ‘කිසිම දෙයක් කළේ නැහැ’ කියලා. එතකොට එයාලා කියනවා ‘අපරාදේ! ඔයාටත් අපිත් එක්ක එන්න තිබුණනේ’ කියලා. ඒ වෙලාවට නම් මට දුක හිතෙනවා.

“කොහොම හරි සඳුදා දවස නම් ගෙවාගන්නවා. ඒත් ඊටපස්සේ පටන්ගන්නේ ඊළඟ සති අන්තයේ මොනවද කරන්නේ යන්නේ කියලා. හැම සතියෙම මෙහෙමයි. මට ඒගොල්ලොත් එක්ක විනෝද වෙන්න ලැබෙන්නේ නැති නිසා මට තියෙන්නේ කියන දේ අහගෙන ඉන්න එක විතරයි.”

මිතුරන් සමඟ විනෝද වීමට ඇති වන ආශාව සාමාන්‍යයි. නමුත් යහළුවන් එක්ක විනෝද වීමට ඔබට කිසිම අවසරයක් නැහැ කියා ඔබ සිතනවාද? ඔබේ දෙමාපියන් දමන නීති සාධාරණ නැහැ කියා ඔබට සිතෙනවාද? පහත සඳහන් දේවල් අතරින් ඔබේ මිතුරන් සමඟ එකතු වී ඔබ කිරීමට කැමති මොන වගේ දේවල්ද?

◯ ගඟේ හෝ මුහුදේ නාන්න යන්න

◯ සංගීත සංදර්ශනයකට යන්න

◯ චිත්‍රපටියක් බලන්න

◯ සාදයකට යන්න

◯ වෙනත් .....

විනෝද වීම අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි. (දේශනාකාරයා 3:1, 4) යෞවනයෙක් වන ඔබ සතුටින් සිටිනවා දකින්න යෙහෝවා දෙවි කැමතියි. (දේශනාකාරයා 11:9) ඒ වගේම ඔබේ දෙමාපියනුත් එයට කැමති බව මතක තියාගන්න. නමුත් ඔවුන් ඔබට අවසර දීමට පෙර මේ කරුණු දෙක ගැන සැලකිලිමත් වෙනවා. (1) විනෝදය සඳහා කරන්නේ කුමක්ද? (2) විනෝද වෙන්නේ කවුරුන් සමඟද?

විනෝද වීම සඳහා ඔබේ යහළුවන් එකතු වෙනවා කියා සිතන්න. ඒ සඳහා ඔබටත් ආරාධනාවක් ලැබෙනවා. එවිට යනවාද, නැද්ද කියා ඔබට තීරණය කළ හැකියි. නමුත් ඉන් ඇති වන හොඳ හෝ නරක ප්‍රතිඵලවලට ඔබට මුහුණ දීමට සිදු වන බවත් මතක තබාගන්න. (ද්විතීය කතාව 32:29; හිතෝපදේශ 7:6-23) සමහරවිට ඔබ මෙවැනි තීරණයක් ගැනීමට ඉඩ තිබෙනවා. ඊට උදාහරණ කිහිපයක්.

තීරණය: නොකියා යනවා.

ඔබ එසේ තීරණය කරන්න ඇත්තේ: දෙමාපියන්ගේ අවසරය නැතුව වුණත් ඕනෑම දෙයක් කළ හැකි බව මිතුරන්ට පෙන්වීමට. ඒ වගේම දෙමාපියන්ට වඩා හොඳින් ඔබට යම් කාරණා තේරුම්ගන්න පුළුවන් කියා සිතීම සහ ඔවුන්ව ගණන් නොගැනීම නිසයි.—හිතෝපදේශ 15:5.

ප්‍රතිඵල: දෙමාපියන්ට ඔබ විශ්වාසවන්තව කටයුතු නොකරන නිසා යම් දවසක යහළුවන්ටත් ඔබ විශ්වාසවන්තව නොසිටියි කියා යහළුවන් සිතන්න පුළුවන්. ඒ වගේම ඔබ කළ දේ දෙමාපියන් දැනගත්තොත් ඔබ කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසය බිඳෙන අතර ඔවුන්ගේ සිතත් රිදෙයි. ඊට අමතරව යම් දඬුවමක් දීමටත් ඉඩ තිබෙනවා. කොහොමවුණත් දෙමාපියන්ට අකීකරු වී හෝ හොරෙන් යෑම හොඳ දෙයක් නොවෙයි.—හිතෝපදේශ 12:15.

තීරණය: යන්නේ නැහැ.

ඔබ එසේ තීරණය කරන්න ඇත්තේ: යහළුවන් කරන්න යන දේ එතරම් හොඳ දෙයක් නොවෙයි කියා හෝ එයට සහභාගී වන අය හොඳ අය නොවෙයි කියා ඔබට සිතෙන නිසා. (1 කොරින්ති 15:33; ෆිලිප්පි 4:8) අනික් අතට යහළුවන්ගේ ආරාධනාව පිළිගැනීමට ආශාවක් තිබුණත් දෙමාපියන්ගෙන් ඒ ගැන අසන්න තිබෙන බිය නිසා.

ප්‍රතිඵල: යහළුවන් එක්ක එකතු නොවෙන්න ඔබටම හොඳ හේතුවක් තිබෙනවා නම් ඔබගේ තීරණය යහළුවන්ට කියන්න ඔබ බිය වන්නේ නැහැ. නමුත් ඔබ නොයන්නේ ඒ ගැන දෙමාපියන්ගෙන් අසන්න තිබෙන බිය නිසා නම්, ඊට සහභාගී වීමට බැරි වීම ගැන ඔබ දුක් වෙයි.

තීරණය: අහලා බලනවා.

ඔබ එසේ තීරණය කරන්න ඇත්තේ: ඔබ වෙනුවෙන් යම් තීරණ ගන්න දෙමාපියන්ට අයිතියක් තිබෙන බවත් ඔබ ඔවුන්ට කීකරු විය යුතු බවත් ඔබ පිළිගන්න නිසා. (කොලොස්සි 3:20) හොරෙන් දේවල් කර දෙමාපියන්ගේ සිත් රිදවන්න අකමැති නිසා. (හිතෝපදේශ 10:1) ඔබේ අදහස් ඉදිරිපත් කිරීමට එය ඔබට අවස්ථාවක් සලසා දෙන නිසා.

ප්‍රතිඵල: ඔබ දෙමාපියන්ට දක්වන ගෞරවය හා ආදරය ඔවුන් හුඟක් අගය කරයි. ඔබේ ඉල්ලීම සාධාරණයි කියා ඔවුන් සිතනවා නම් ඔවුන් ඒ සඳහා අවසර දෙයි.

අවසර නොදෙන්නේ ඇයි?

දෙමාපියන් අවසර නොදෙන විට යම් දුකක්, කේන්තියක් හෝ කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔවුන් එසේ කරන හේතුව දැනගැනීම, දෙමාපියන්ව හොඳින් තේරුම්ගැනීමට ඔබට උපකාරවත් වෙයි. සමහරවිට ඔවුන් අවසර නොදෙන්නේ පහත සඳහන් හේතු නිසා විය හැකියි.

දැනුම හා ජීවිතයේ අද්දැකීම්. උදාහරණයකට ජීවිතාරක්ෂක භටයින් සිටින ස්ථානයක දිය නෑමට අපි වඩාත් කැමතියි. ඊට හේතුව අපට නොපෙනෙන අනතුරු ඔවුන්ට හඳුනාගත හැකි බවත් යම් අනතුරක් දුටු සැණින් ඔවුන් අපව ආරක්ෂා කරන බවත් අප දන්නා නිසයි.

ඒ හා සමානව ඔබේ දෙමාපියන් ජීවිතයේ ලබා තිබෙන අද්දැකීම් හා දැනුම නිසා ඔබට නොපෙනෙන අනතුරුදායක තත්වයන් ඉක්මනින්ම හඳුනාගන්න ඔවුන්ට හැකියි. ඒ නිසා යම් අවස්ථාවලදී ඔබේ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔවුන් එසේ කරන්නේ ඔබට විය හැකි යම් අනතුරකින් ඔබව වළක්වාගන්න මිස ඔබේ සතුටට බාධා කිරීමට නොවන බව මතක තබාගන්න.

ආදරය. ඕනෑම මවකගේ හා පියෙකුගේ ආශාව වන්නේ තම දරුවන්ව ආරක්ෂා කරගැනීමයි. ඔවුන් ඔබට ආදරය කරන නිසා හැකි අවස්ථාවලදී අවසර දෙයි. නමුත් අනතුරක් තිබෙන බව පෙනුණොත් එපා කියයි. එසේ කරන්නේ ඉන් ඔබට හානියක් සිදු වුණොත් ඔබටත් ඔවුන්ටත් ජීවිත කාලය පුරාම දුක් විඳින්න වෙන බව ඔවුන් දන්නා නිසයි.

ඔබ දෙන තොරතුරු ප්‍රමාණවත් නොවීම. ඔබ යන ගමන ගැන දෙමාපියන්ට පැහැදිලි නැත්නම් හෝ ඔබ සම්පූර්ණ තොරතුරු ඔවුන්ට පවසා නැත්නම් බොහෝදුරට ඔබේ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කරන්න ඉඩ තිබෙනවා.

අවසර ලබාගන්නේ කෙසේද?

අවසර ලබාගැනීම සඳහා ඔබ විසින් ඉටු කළ යුතු කරුණු හතරක් තිබෙනවා.

අවංක වෙන්න: ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මට මේ ගමන යන්න ඕනේ ඇයි? මට විනෝද වෙන්න ඕනේ නිසාද, නැත්නම් නොගියොත් යහළුවන් විහිළු කරන නිසාද? එසේත් නැත්නම් මම කැමති ගැහැනු ළමයා හෝ පිරිමි ළමයා එන නිසාද? මෙම ප්‍රශ්නවලට ඔබේ පිළිතුර කුමක්ද? ඔබේ දෙමාපියන් ඔබේ වයස පසු කර සිටින නිසා ඔබේ හැඟීම් ඔවුන්ට හොඳින් තේරුම්ගන්න පුළුවන්. ඒ නිසා අවංකව ඔවුන්ට සියලු දේ පවසන්න. එවිට ඔවුන් ඔබේ අවංකකම හුඟක් අගය කරයි. ඔවුන් ඔබට යම් මඟ පෙන්වීම් දෙන්නේ ඔබේම ප්‍රයෝජනයට බවත් මතක තබාගන්න. (හිතෝපදේශ 7:1, 2) අනික් අතට දෙමාපියන්ට බොරු කියා අසු වුණොත් ඉන් සිදු වන්නේ ඉදිරියේදී ඔබ කරන ඕනෑම ඉල්ලීමක් ඔවුන් ප්‍රතික්ෂේප කිරීමයි.

අවස්ථාව ගැන සිතන්න: දෙමාපියන් මහන්සියෙන් සිටින විට හෝ වැඩ ඇරී නිවසට පැමිණි වහාම ඔවුන් සමඟ ඔබේ අවශ්‍යතාව ගැන කතා කරන්න එපා. ඔවුන් නිදහසේ සිටින අවස්ථාවක ඒ ගැන කතා කරන්න. ඒ වගේම අවසාන මොහොත වන තුරු බලාගෙන ඉන්නත් එපා. එසේ කළොත් ඔබට අවසර නොලැබෙන්න පුළුවන්. කල් ඇතුව අදාළ කාරණය ගැන කතා කරනවා නම් ඔබේ දෙමාපියන් එය අගය කරයි.

සියලු තොරතුරු දෙන්න: දෙමාපියන් අසන සියලුම ප්‍රශ්නවලට හොඳින් පිළිතුරු දෙන්න. උදාහරණයකට “ඔයත් එක්ක යන්නේ කවුද,” “වැඩිහිටියෙක් ඉන්නවාද,” “අවසන් වෙන්නේ කීයටද” වැනි ප්‍රශ්නවලට ඔබ “දන්නේ නැහැ” කියා පැවසුවොත් ඔබට අවසර නොලැබීමට තිබෙන ඉඩ කඩ වැඩියි.

හොඳ ආකල්පයක් තබාගන්න: ඔබේ දෙමාපියන් සතුරන් කියා සිතනවා වෙනුවට ඔවුන් ඔබේ මිතුරන් කියා සිතන්න. යම් අවස්ථාවක ඔවුන් අවසර නොදුන්නොත් ඒ ගැන කෝප නොවී ඔවුන්ව තේරුම්ගැනීමට උත්සාහ කරන්න. උදාහරණයකට සංගීත සංදර්ශනයකට යෑමට ඔබ දෙමාපියන්ගෙන් අවසර ඉල්ලන විට ඔබ යන තැන ගැනත් එන අය ගැනත් යන වියදම ගැනත් ඔවුන් සිතනවා විය හැකියි. දෙමාපියන් අවසර නොදුන්නොත් “මාව විශ්වාස නැද්ද,” “අනික් හැමෝම යනවා මට තමයි යන්න නැත්තේ,” “අනික් අයගේ අම්මලා තාත්තලා ඒගොල්ලන්ගේ දරුවන්ට නිදහස දෙනවා ඔයාලා තමයි දෙන්නේ නැත්තේ” වැනි දේවල් පවසන්න එපා. ඔවුන්ගේ තීරණය පිළිගන්න. එසේ කිරීමෙන් ඔබ පෙන්වන්නේ දෙමාපියන්ට ගෞරව කරන බවයි. ඒ වගේම ඊළඟ වතාවේදී ඔබට අවසර දීම ගැන ඔවුන් ටිකක් කල්පනා කර බැලීමට ඉඩ තිබෙනවා.

[පාදසටහන]

^ 3 ඡේ. නම වෙනස් කර ඇත.

[11වන පිටුවේ කොටුව/පින්තූරය]

“මම කවදාවත් අම්මගෙයි තාත්තගෙයි විශ්වාසය කඩ කරලා නැහැ. ඒ නිසා ඒගොල්ලන් මාව හුඟක් විශ්වාස කරනවා. මගේ යාළුවන් ගැන එයාලා දන්නවා. යාළුවන් වැරදි දෙයක් කරනවා නම් මම භය නැතුව එතනින් අයින් වෙනවා.”

[පින්තූරය]

කිම්බලි

[12වන පිටුවේ කොටුව]

දෙමාපියන්ගෙන් අසන්න

මෙම ලිපියේ සාකච්ඡා කරන දේවල් ගැන ඔබේ දෙමාපියන් සිතන්නේ කුමක්ද කියා ඔබ දැනගන්න කැමතිද? එසේනම් සුදුසු වෙලාවකදී ඔබේ දෙමාපියන්ගෙන් ඒ ගැන අසන්න. ඔවුන්ගෙන් ඇසීමට බලාපොරොත්තු වන ප්‍රශ්නයක් පහත ලියන්න.

.....

[12වන පිටුවේ පින්තූරය]

ජීවිතාරක්ෂක භටයින් මෙන් ඔබේ දෙමාපියන්ටද අනතුරු දුර තියා හඳුනාගත හැකියි