Skip to content

පටුනට යන්න

අතීතයෙන් නැඟුණ මියැසි රාවය

අතීතයෙන් නැඟුණ මියැසි රාවය

අතීතයෙන් නැඟුණ මියැසි රාවය

ඉපැරණි සංස්කෘතීන්වල සංගීතයට හා සංගීත භාණ්ඩවලට හිමි වුණේ විශේෂ ස්ථානයක්. උදාහරණයකට පුරාණ ඊශ්‍රායෙලයේ රජ මාලිගාවේ නිතරම වගේ වීණාවේ මිහිරි නාදය ඇසුණා. (1 සාමුවෙල් 16:14-23) ඒ වගේම නමස්කාර කටයුතුවලදී මෙන්ම ජනයාට පණිවිඩ ගැන දැනුම් දෙන විට ඇසුණේ හොරණෑවේ තියුණු හඬයි. අනික් අතට සෑම උත්සවයකදී බෙර, රබන් හා අත්තාළම්වලින් නැඟුණ මහත් ශබ්දය රට පුරා දෝංකාර දෙන්න ඇති.—2 සාමුවෙල් 6:5; 1 ලේකම් 13:8.

“වීණාවද නළාවද වාදනය කරන සියල්ලන්ගේ ආදිපියා” ලෙස බයිබලයේ හඳුන්වා තිබෙන්නේ යූබල් නමැති තැනැත්තාවයි. (උත්පත්ති 4:21) ඒ නිසා ශුශිර භාණ්ඩ හා තත් භාණ්ඩ නිර්මාණය කිරීමේ පුරෝගාමියා ඔහු විය හැකියි.

මිහිරි සංගීතය ගැන බයිබලයේ බොහෝ අවස්ථාවල සඳහන් වෙනවා. නමුත් සංගීත භාණ්ඩ ගැන නම් වැඩි විස්තරයක් නැහැ. කොහොමවුණත් පුරාණ ලියවිලිවලින් හා වෙනත් සොයාගැනීම්වලින් ඉතිහාසයේ තිබූ විවිධ සංගීත භාණ්ඩ ගැන පැහැදිලි විස්තරයක් සපයන්න විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා. ඉන් සමහරක් ගැන දැන් අපි සලකා බලමු.

සමාඝාත සංගීත භාණ්ඩ

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් ගලවාගෙන රතු මුහුද හරහා මෙගොඩට ගෙන ආවා. ඒ අවස්ථාවේදී මෝසෙස්ගේ අක්කා වුණ මීරියම් හා “අනික් ස්ත්‍රීහුද රබන් ගසමින් හා නටමින්” දෙවිට ප්‍රශංසා කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (නික්මයාම 15:20) ඊශ්‍රායෙලයේ කර තිබෙන කැණීම්වලින් රබන් සොයාගෙන නැහැ. ඒ වුණත් රබන් ගසන කාන්තාවන්ගේ කුඩා පිළිම අක්ෂිබ්, මෙගිද්දෝ හා බෙත්-ෂෙයාන් නමැති ප්‍රදේශවලින් පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.

අතීතයේ ප්‍රීතිමත් අවස්ථාවලදී කාන්තාවන් රබන් අතැතිව ගී ගයමින් නැටීමට පුරුදු වී සිටියා. ඊට කදිම උදාහරණ කිහිපයක් බයිබලයේ සඳහන් වෙනවා. ඉන් එකක් වන්නේ ඊශ්‍රායෙලයේ නායකයෙකු වූ යෙප්තා, යුධ ජයග්‍රහණයක් ලැබූ අවස්ථාවයි. ජයග්‍රහණයෙන් පසුව ඔහු නිවසට පැමිණෙන විට ඔහුගේ දියණිය ‘රබානක් අතැතිව නටමින් ඔහුව හමු වීමට පැමිණියා.’ ඒ වගේම තවත් අවස්ථාවකදී දාවිත්ගේ වීර ක්‍රියාවන් අගය කරමින් කාන්තාවන් ‘රබන් ගසමින් ප්‍රීති ඝෝෂා නැඟුවා.’—විනිශ්චයකරුවෝ 11:34; 1 සාමුවෙල් 18:6, 7.

දාවිත්, රජ වූ පසු ඔහු දෙවිගේ නීතිය ඇතුළත්ව තිබූ ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනාවා. එය බයිබලයේ විස්තර කරන්නේ මෙසේයි. “දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් සෙනඟ ජුනිපර් ලීයෙන් සාදන ලද සංගීත භාණ්ඩද වීණාද කුඩා වීණාද රබන්ද අත්තාළම්ද වෙනත් සංගීත භාණ්ඩද වාදනය කරමින් යෙහෝවා දෙවිගේ නමස්කාරයේ කොටසක් වූ එම අවස්ථාවට සතුටින් සහභාගි වූහ.” (2 සාමුවෙල් 6:5) පසු කාලයේදී යෙරුසලමේ දේවමාලිගාවට වෙනම සංගීත කණ්ඩායමක් සිටි අතර ඔවුන් භාවිත කළේද අත්තාළම්, වීණා, හොරණෑ වැනි සංගීත භාණ්ඩයි. අනික් අතට ඔවුන් දුකෙන් සිටින අවස්ථාවලදී බොහෝවිට වාදන කළේ පන්තේරුව හෙවත් චල්වළල්ලයි.

සමාඝාත භාණ්ඩවලට අයත් වන තවත් සංගීත භාණ්ඩයක් වන්නේ අත්තාළම හෙවත් තාළම්පටයි. පුරාණ ඊශ්‍රායෙල්වරු කුඩා මෙන්ම විශාල අත්තාළම් භවිතා කර තිබෙනවා.

තත් සංගීත භාණ්ඩ

තත් සංගීත භාණ්ඩ අතරින් පුරාණ ඊශ්‍රායෙල්වරුන් අතර ඉතා ජනප්‍රිය වී තිබුණේ වීණාව හා කුඩා වීණාවයි. සාවුල් රජ වී සිටි කාලයේදී ඔහුගේ සිත සන්සුන් කිරීම සඳහා දාවිත් වාදනය කළේ වීණාව බව බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 16:16, 23) අතීතයේ සිටි අය විවිධ වීණා වර්ග 30කටත් වඩා භාවිත කරන්න ඇති බව පුරාවිද්‍යාඥයන් පවසනවා. ඊට හේතුව ඔවුන් සොයාගෙන තිබෙන බිතුසිතුවම්, කාසි, චිත්‍ර හා කැටයම්වල ඒවා දක්නට තිබීමයි.

කුඩා වීණාවත් ඒ හා සමාන සංගීත භාණ්ඩයක්. කුඩා වීණාව හා වීණාව, වාදකයාට පහසුවෙන් රැගෙන යා හැකිව තිබූ බව බොහෝ විශාරදයන් පවසනවා.

ශුශිර සංගීත භාණ්ඩ

“රිදී තළා හොරණෑ දෙකක් සාදන්න” කියා යෙහෝවා දෙවි එක් අවස්ථාවකදී මෝසෙස්ට පැවසුවා. (ගණන් කතාව 10:2) දේවමාලිගාවේ පැවැත්වූ උත්සව හා වෙනත් උත්සව දැනුම් දීම සඳහා ඊශ්‍රායෙල් පූජකයන් මෙම හොරණෑ භාවිත කළා. ඒ වගේම දිය යුතු පණිවිඩය අනුව නිකුත් කළ හඬද වෙනස් වුණා. නමුත් මේවායේ හැඩය මොන වගේද කියා නිශ්චිතවම කවුරුත් දන්නේ නැහැ. ඊට හේතුව ඒ කාලයේ භාවිත කළ කිසිම හොරණෑවක් මෙතෙක් සොයාගෙන නොතිබීමයි. නමුත් පැරණි හොරණෑවක් දක්වන කැටයමක් රෝමයේ ටයිටස්ගේ ආරුක්කුවේ දැකගන්න ලැබෙනවා.

ඊශ්‍රායෙල්වරුන් තවත් ආකාරයේ හොරණෑවක් භාවිත කර තිබෙන බව වාර්තා වෙනවා. මේවා නිර්මාණය කර තිබුණේ එළුවන්ගේ හා බැටළුවන්ගේ අංවලිනුයි. එක් හොරණෑ වර්ගයක් බටයක් සේ දිගටි හැඩයක් ගත් අතර ඒවාවල රනින් කළ විවිධ මෝස්තර තිබුණා. අනික් වර්ගයේ හොරණෑ වක්‍රාකාර හැඩයක් ගත් අතර ඒවාවල රිදීයෙන් කළ විවිධ මෝස්තර තිබුණා. එම හොරණෑ වර්ග දෙකම නම් කර තිබෙන්නේ ෂෝෆාර් ලෙසයි.

අතීතයේදී බොහෝවිට හොරණෑ භාවිත කළේ යම් සංඥාවන් දීමටයි. ඊට හේතුව හොරණෑවෙන් නිකුත්වන ප්‍රබල හඬ, දුර ඈතකට වුණත් ඇසීමයි. ඊශ්‍රායෙල්වරුන් ආගමික උත්සවවලදී එය භාවිත කළා. උදාහරණයකට සබත ආරම්භ වූ බව සහ අවසන් වූ බව ජනයාට දැනුම් දුන්නේ හොරණෑව නාද කිරීමෙනුයි. ඊට අමතරව යුධ සංඥා දීමටද හොරණෑව භාවිත කළා. උදාහරණයකට ඊශ්‍රායෙලයේ සිටි ගිඩියොන් නම් සෙන්පතියා ඔහුගේ සෙබළුන් සමඟ මිදියන් කඳවුර ආක්‍රමණය කළා. ඒ අවස්ථාවේදී හොරණෑ 300ක් එක විට පිඹිනු ලැබූ බව බයිබලයේ සඳහන් වෙනවා. ඉන් නැඟුණ රළු හඬ, මිදියන්වරුන්ගේ සිත් තුළ මොන තරම් බියක් ඇති කරන්න ඇද්ද කියා සිතා බලන්න.—විනිශ්චයකරුවෝ 7:15-22.

වෙනත් සංගීත භාණ්ඩ

මෙතෙක් සඳහන් කළ භාණ්ඩවලට අමතරව සීනු, නළා හා වෙනත් සංගීත භාණ්ඩ ගැන බයිබලයේ සඳහන් වෙනවා. නිදසුනකට, විවිධ සංගීත භාණ්ඩ වාදනය කළ සංගීත කණ්ඩායමක් බැබිලෝනියේ රජටත් සිටි බව දෙවිගේ සේවකයෙකු වූ දානියෙල් සඳහන් කරනවා.—දානියෙල් 3:5, 7.

අතීතයේදී රජ මාලිගාවලත් නමස්කාර ස්ථානවලත් කුඩා ගම්වලත් දිලිඳු පැල්පත්වලත් සංගීතයට විශේෂ තැනක් හිමි වී තිබුණා. ඒ අතින් බලන කල ඊශ්‍රායෙල්වරුන්ගේ පමණක් නොව වෙනත් ජාතීන්ගේ ජීවිතවලටද සංගීතය කළ මෙහෙවර අපමණයි!

[15වන පිටුවේ පින්තූරය]

අතීතයේ භාවිත කළ පන්තේරුවක්

[15වන පිටුවේ පින්තූරය]

දාවිත් රජ දක්ෂ වීණා වාදකයෙක්

[15වන පිටුවේ පින්තූරය]

රබාන අතීතයේ සිට පැවතෙන්නක්

[15වන පිටුවේ පින්තූරය]

සංඥා නිකුත් කිරීමට භාවිත කළේ හොරණෑවයි

[16වන පිටුවේ පින්තූරය]

ක්‍රි.පූ අටවන සියවසට අයත් රබානක් ගසන කාන්තාවකගේ පිළිරුවක්

[16වන පිටුවේ පින්තූරය]

වීණාවක් දැක්වෙන දෙවෙනි සියවසට අයත් කාසියක්

[16වන පිටුවේ පින්තූරය]

දේවමාලිගාවෙන් සොයාගත් මෙම ගලේ කොටා තිබෙන්නේ “හොරණෑ පිඹින ස්ථානය” යන වාක්‍ය කණ්ඩයයි

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pottery figurine: Z. Radovan/​BPL/​Lebrecht; coin: © 2007 by David Hendin. All rights reserved; temple stone: Photograph © Israel Museum, Jerusalem; courtesy of Israel Antiquities Authority