Skip to content

පටුනට යන්න

2—හොඳ පුරුදු

2—හොඳ පුරුදු

“කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි.” (එෆීස 5:29) පහත සඳහන් ප්‍රායෝගික ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කරගත හැකියි.

ප්‍රමාණවත් විවේකය. “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 4:6) සුවබර නින්දක් අත්‍යවශ්‍ය වුණත් කාර්යබහුල ජීවිතය අද මිනිසුන්ගෙන් එය සොරාගෙන තිබෙනවා. සමීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ අපේ ශරීරයේ සහ මොළයේ ඇති සෛල අලුත්වැඩියා වීම සිදු වන්නේ නිදාගන්නා කාලයේදී බවයි. නමුත් නිසි නින්දක් නොලැබෙන විට එය මතක ශක්තිය දුර්වල වීමට හේතු වෙනවා.

සුවබර නින්දක් ලබාගැනීමෙන් අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වෙන නිසා විවිධ ආසාදන, දියවැඩියාව, අංශභාගය, හෘද රෝග, පිළිකා, ස්ථූලභාවය, මානසික අවපීඩනය, ඇල්ෂයිමර් වැනි රෝග ඇති වීමට තිබෙන ප්‍රවණතාව අඩු වෙනවා. සමහර අය පැණි රස හා කෝපි වැනි කැෆේන් අඩංගු ආහාර මගින් නින්ද වළක්වාගන්නවා. නමුත් එසේ නොකර ශරීරයේ අවශ්‍යතාවට ඉඩ දෙන්න. වැඩිහිටියෙකුට දිනකට පැය හතක හෝ අටක නින්දක්ද යෞවනයන්ට ඊටත් වඩා වැඩි කාලයක නින්දක්ද අවශ්‍යයි. ඔබ එසේ කරනවා නම් ප්‍රබෝධමත්ව හා කාර්යක්ෂමව වැඩ කිරීමට හැකි වෙනවා. අනික් අතට නින්ද අඩු යෞවනයන් මානසික ගැටලුවලට මුහුණ දිය හැකියි.

සමහර අසනීපවලට හොඳම ප්‍රතිකාරය නින්දයි. උදාහරණයකට උණක් හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණ විට හොඳ විවේකයක් සහ දියර වර්ග ගැනීම පමණක් ප්‍රමාණවත් විය හැකියි.

නිරෝගීමත් දත් දෙපෙළක්. ආහාර ගැනීමෙන් පසුව හා විශේෂයෙන්ම නිදාගැනීමට පෙර ඔබේ දත් මදින්න. එමගින් දත් දිරා යෑමෙන් හා වීදුරුමස් ආසාදනවලින් ආරක්ෂා විය හැකියි. කුඩා කල සිටම මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන දරුවන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම නිරෝගීමත් දිවියක් ගත කරනවා. එක් සමීක්ෂණයකින් හෙළි වුණේ, අලි ඇතුන් මිය යන්නේ වයසට යෑම නිසාම නොව උන්ගේ දත් දිරා යෑමෙන් නිසි ලෙස ආහාර ගැනීමට බැරි වීම නිසා බවයි.

වෛද්‍යවරයාව හමු වීම. සමහර අය ඕනෑම අසනීපයකට අත්බෙහෙත් ගැනීමට පුරුදු වී සිටියත් මෙය සෑමවිටම සාර්ථක ක්‍රමයක් නොවෙයි. යම් අසනීපයකදී ඔබට වෛද්‍යවරයෙකු වෙත යෑම අවශ්‍යයි කියා හැඟෙනවා නම් නොපමාව වෛද්‍යවරයෙකු හමු වන්න. කල් ඇතුව රෝගය කුමක්ද කියා නිර්ණය කරගැනීමෙන් හොඳ ප්‍රතිඵල මෙන්ම අනවශ්‍ය වියදම්ද වළක්වාගත හැකියි.

කලින් කලට ඔබේ වෛද්‍යවරයා හමු වී ඔබට යම් අසනීපයක් තිබේදැයි කියා පරීක්ෂා කරගන්න. විශේෂයෙන්ම ගැබිනි මව්වරුන් එසේ කිරීම අත්‍යවශ්‍යයි. * නමුත් අපගේ සියලුම අසනීපවලට සුවයක් ලැබෙන්නේ දෙවිගේ පාලනය තුළදී පමණයි.—එළිදරව් 21:4, 5.

^ 8 ඡේ. වැඩි විස්තර සඳහා “ඔබේ පැතුම නිරෝගී දරුවෙක් නම් . . . ” නමැති 2009 නොවැම්බර් පිබිදෙව්! කලාපය බලන්න.