Skip to content

පටුනට යන්න

ජවයේ හා සුන්දරත්වයේ හිමිකාරයා!

ජවයේ හා සුන්දරත්වයේ හිමිකාරයා!

ජවයේ හා සුන්දරත්වයේ හිමිකාරයා!

“මට නම් අශ්වයා තරම් ලස්සන සතෙක් තවත් නැහැ. උන්ව දැක්කම මට ඇති වෙන්නේ පුදුම ආදරයක්.”—අශ්වයන් බෝ කිරීමේ ප්‍රවීණයෙක් වන තෝමස්.

ඔබ අශ්වයන්ව දැක ඇති. උන්ගේ ගාම්භීර පෙනුම හා ආඩම්බර ගමන ඔබට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඒ වගේම උන් ඉතාමත් නිර්භීතයි. ඊට අමතරව උන්ට අසමසම ශක්තියක්ද තිබෙනවා.

ගෙවී ගිය සියවස් ගණනාව පුරාම මිනිසුන් විවිධ වර්ගයේ අශ්වයන්ව බෝ කර තිබෙනවා. ඒ අතරින් විශේෂ තැනක් හිමි වන්නේ අරාබිකරයේ අශ්වයාටයි. ඊට හේතුව උන්ගේ කඩවසම් පෙනුම, ජවය, වේගය සහ බුද්ධියයි. මෙම අශ්වයන්ව වැඩිවශයෙන් යොදාගන්නේ ක්‍රීඩාවලදීයි.

හොඳම අරාබිකරයේ අශ්වයන්ව බෝ කිරීමේ ගෞරවය හිමි වන්නේ පෝලන්තයටයි. ඔවුන් මේ අශ්වයන්ව කාලයක සිට බෝ කරනවා. අරාබිකරයේ අශ්වයන් මොන වගේද කියාත් උන් පෝලන්තයට ආවේ කෙසේද කියාත් දැන් අපි බලමු.

අරාබිකරයේ අශ්වයා

මේ අශ්වයන් පැවත එන්නේ මැදපෙරදිගින්. උන්ගේ ඉතිහාසය ගැන කලින් සඳහන් කළ තෝමස් මෙසේ පවසනවා. “අරාබිකරයේ අශ්වයන්ව මුලින්ම බෝ කළේ බෙඩුවින් කියන ගෝත්‍රිකයනුයි. උන් වෙනත් වර්ගයේ අශ්වයන් එක්ක එකතු වෙලා මිශ්‍ර පැටවුන් ඇති වීම වළක්වාගන්න ඒ අය වගබලා ගත්තා. අදටත් නියම වර්ගයේ අරාබිකරයේ අශ්වයන්ව අපිට දැකගන්න ලැබෙන්නේ ඒ අයගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි. සාමාන්‍යයෙන් අරාබිකරයේ අශ්වයන් අළු, රතට හුරු දුඹුරු හා කලු වර්ණවලින් දැකගන්න පුළුවන්.”

අරාබිකරයේ අශ්වයන්ව බෝ කරන තවත් කෙනෙක් වන සැනෙටා මෙසේ පවසනවා. “මේ අශ්වයන්ට අමුතුම ලස්සනක් තියෙනවා. බෝ කරන්නන් අතර පැරණිම අශ්වයන් වෙන්නේ අරාබිකරයේ අශ්වයනුයි.” නිර්භීතකම සහ ශක්තිය අතින් උන් හුඟක් ප්‍රසිද්ධයි. ඒ වගේම මහන්සියකින් තොරව උන්ට වැඩි දුරක් දුවන්නත් පුළුවන්. ඊට හේතුව උන්ට ශක්තිමත් පෙණහලු යුගළක් තිබීමයි.

අරාබියෙන් පෝලන්තයට

අරාබිකරයේ අශ්වයන් පෝලන්තයට ආවේ කෙසේද? තෝමස් ඒ ගැන මෙසේ පවසනවා. “පෝලන්ත රජුගේ නිලධාරීන් 16වන සියවසේදී නිතරම වගේ රාජකාරි කටයුතු සඳහා ඉස්තාන්බුල් නගරයට ගිහින් තියෙනවා. ඒ අය නැවත එනකොට මේ අශ්වයන්වත් අරගෙන එන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ අශ්වයන්ව පෝලන්තයේ බෝ කරන්න පටන්ගත්තේ 18වන සියවසේදීයි.” අශ්වයන්ව බෝ කිරීමේ තවත් ප්‍රවීණයෙක් වන ඉසබෙලා මෙසේ පැවසුවා. “අශ්වයන්ව පෝලන්තයට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේ, රජ පවුලක කෙනෙක් වන වාට්ස්වාෆ් සෙව්ස්කියි.” ඔහු අශ්වයන් 137දෙනෙකුව යුරෝපයට ගෙන්වාගෙන තිබෙනවා.

සෙව්ස්කිගේ උත්සාහය නිසා 1817 වන විට අරාබිකරයේ අශ්වයන්ව බෝ කිරීමේ පළමුවෙනි ගොවිපොළ නැඟෙනහිර පෝලන්තයේ ආරම්භ කළා. ඒ ගැන තෝමස් මෙසේ පවසනවා. “මුල් කාලයේදී මේ සතුන්ව බෝ කිරීම සාර්ථක වුණා. නමුත් ලෝක යුද්ධ කාලවලදී මේ ගොවිපොළවල් විනාශ වුණා. හුඟක් අශ්වයෝ මැරුණා. තවත් සමහර උන්ව සොරකම් කළා. ඉතිරි වුණ සත්තු ඉබාගාතේ ගියා. නමුත් දෙවෙනි ලෝක මහා යුද්ධය අවසන් වුණාට පස්සේ නැවතත් මේ ගොවිපොළවල්වල අශ්වයන්ව බෝ කරන්න පටන්ගත්තා.”

දැන් පෝලන්තයේ මේ වගේ අශ්වයන්ව බෝ කරන ස්ථාන 30ක් පමණ තිබෙනවා. මේවායේ හැඳී වැඩෙන්නේ හොඳම වර්ගයේ අරාබිකරයේ අශ්වයනුයි. ඒ නිසා මේ අශ්වයන්ව මිල දී ගැනීමටත් උන්ගේ සන්දර්ශන නැරඹීමටත් සෑම වසරකම විවිධ රටවලින් බොහෝ ධනවතුන් සහ අශ්වයන්ව බෝ කිරීමේ ප්‍රවීණයන් පැමිණෙනවා.

අශ්වයන්ව රැකබලා ගැනීම

හොඳම වර්ගයේ අරාබිකරයේ අශ්වයන්ව බෝ කිරීමට නම් උන්ට හොඳ සැලකිල්ලක් අවශ්‍යයි. අශ්ව ගොවිපොළක් හිමි මව්ගෝසාටා මෙසේ පවසනවා. “මේ අශ්වයන්ව බලාගන්න එක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. මේ සතුන්ට විශේෂ කෑම වට්ටෝරුවක් තියෙනවා. අපි එහෙම කරන්නේ උන්ගේ ශක්තියත් කඩවසම් පෙනුමත් රැකගන්න ඕනේ නිසයි. ගැබිනි සතුන් ගැන නම් ඊටත් වඩා වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ.” *

තවදුරටත් මව්ගෝසාටා මෙසේ පවසනවා. “උදෙන්ම අපි අශ්වයන්ට පිදුරු දෙනවා. ඒක හරිම පෝෂ්‍යදායි ආහාරයක්. ඒකෙන් උන්ට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ලැබෙනවා. ඒ වගේම පිදුරුවලට බාර්ලි, තිරිඟු හා ඕට්ස් වැනි ධාන්‍ය මිශ්‍ර කරනවා නම් ඒක තවත් පෝෂ්‍යදායි. හැබැයි උන් වැඩියෙන්ම ආස කරන්නේ අලුත් තණකොළවලටයි. ඒ වගේම අල, කැරට්, බීට්රූට්වලටත් හරි කැමතියි. ශීත කාලයේදී අපි උන්ට පිදුරු දාලා තියෙන ප්‍රෝටීන් බහුල ආහාරයක් දෙනවා. ඒත් මේ කිසිම කෑමක් තණ පිට්ටනිවලට ගිහින් කනවා වගේ නැහැ. අරාබිකරයේ අශ්වයන්ට තවත් අත්‍යවශ්‍ය දෙයක් තමයි ලුණු. ඒ ලුණුවලට විවිධ ඛනිජ හා ඖෂධ එකතු කරනවා. එහෙම කරන්නේ උන්ගේ කේන්ති යෑමේ ප්‍රවණතාව අඩු කරන්නයි. කවදාවත් මේ අශ්වයන් අපිරිසිදු වතුර බොන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවේම උන්ට පිරිසිදු වතුර දෙන්නත් වගබලා ගන්න ඕනේ.”

තවත් අනිවාර්යය දෙයක් වන්නේ දිනපතා උන්ගේ ඇඟ සහ වල්ගය පීරීමයි. උන්ව පිරිසිදු කිරීම සහ සිහින් ලෙස සම්බාහනය කිරීම සඳහා නිර්මාණය කළ විශේෂිත පණා හා බුරුසු තිබෙනවා. ඒ වගේම උන්ව අතින් පිරිමැදීමත් අවශ්‍යයි. තෝමස් මෙසේද පැවසුවා. “දිනපතාම අපි උන්ගේ කුර පිරිසිදු කරනවා. මේ නිසා විවිධ ආසාදන ඇති වීම වළක්වාගන්න පුළුවන්. ඒ වගේම උන්ගේ ඇස්, නාස්පුඩු, තොල් සහ කන් ගැනත් අපි හුඟක් සැලකිලිමත් වෙනවා.” කලින් සඳහන් කළ සැනෙටා තවදුරටත් මෙසේ පැවසුවා. “උන්ගේ හොඳ පෙනුම පවත්වාගන්න ඕනේ නම් උන්ට දුව පැන සෙල්ලම් කරන්න ඉඩ ඕනේ. ඒ වගේම උන්ට පෙරළෙන්න වැලි, මඩ සහ තණකොළ තියෙන්නත් ඕනේ. උන්ට හුඟක් දහඩිය දාන නිසා උන්ව හොඳින් පිහදාන්නත් අවශ්‍යයි.”

අශ්වයන්ව බලාගැනීමේදී සැලකිලිමත් විය යුතු තවත් වැදගත් දෙයක් තිබෙනවා. ඒ තමයි උන්ගේ හැඟීම් තේරුම්ගැනීම. ඒ ගැන මව්ගෝසාටා මෙසේ පවසනවා. “විශේෂයෙන් අරාබිකරයේ අශ්වයන්ට හොඳ ඉවක් තියෙනවා. මිනිස්සු උන්ව අතගානවාට, ආදරය කරනවාට උන් හරි කැමතියි. අශ්වයන්ට මේ වගේ සලකනවා නම් උන්ට ස්වාමියා ගැන තියෙන විශ්වාසය තව තවත් වැඩි වෙනවා. ඒ විශ්වාසය කොතරම් වැඩිවෙනවාද කියනවා නම් උන්ට ස්වාමියා නැතුව ඉන්න බැරි තත්වයකට පත් වෙනවා. උන් දිහා බලලා ආදරයෙන් හිනා වෙනකොට, බදාගන්නකොට නැත්නම් කැරට් අලයක් වගේ දෙයක් ආදරයෙන් දෙන වෙලාවට උන්ගේ හඬින් කියන්න පුළුවන් උන් ඒ ගැන කොච්චර සතුටු වෙනවද කියලා. අශ්වයන්ව බලාගැනීම එච්චර ලේසි නැහැ. ඒත් උන්ට ආදරේ නම් ඒක කරදරයක් නෙවෙයි.” තෝමස්ද මෙසේ පවසනවා. “මම අශ්වයන්ට හුඟක් ආදරෙයි. ඒත් අශ්වයන් එක්ක මේ තරම් හොඳින් කටයුතු කරන්නත් උන්ගේ විශ්වාසය දිනාගන්නත් මට හුඟක් කාලය ගියා.”

අශ්වයන්ගේ අනාගතය

මේ තේජාන්විත සත්වයා මිනිසුන්ගේ සිත් දිනාගෙන තිබෙනවා. නමුත් කනගාටුදායක දේ වන්නේ මිනිසුන්ගේ කෲර යුද්ධවලදී මේ අහිංසක සතුන්ගේ ජීවිත දහස් ගණනක් විනාශ වී තිබීමයි. නමුත් ඉදිරියේදී දෙවි සියල්ල පාලනය කරන විට සෑම කෙනෙක්ම ජවයේ හා සුන්දරත්වයේ හිමිකාරයාට ආදරයෙන් සලකයි.

[පාදසටහන]

^ 14 ඡේ. සෑම වසරකම පැටවෙකු බිහි කිරීමට වෙළඹකට හැකි වුණත් සෑම වසරකම පැටවෙකු ලබාගැනීමට බෝ කරන්නන් උත්සාහ කරන්නේ නැහැ. ගැහැනු සතෙකුගේ ආයු කාලය වසර 25ක් හෝ 30ක් වුණත් ඒ අතර කාලයේදී උන්ගෙන් ලබාගන්නේ පැටවුන් 15ක් හෝ 18ක් පමණයි.

[15වන පිටුවේ පින්තූරය]

මව සහ පැටියා

[16වන පිටුවේ පින්තූර]

දිනපතා කළ යුතු දේවල්

1. පරෙස්සමින් පීරීම

2. කුර පිරිසිදු කිරීම

3. ආදරය පෙන්වීම

[17වන පිටුවේ පින්තූරය]

හිම මත සෙල්ලම් කරන අවස්ථාවක්