Skip to content

පටුනට යන්න

දුක දරාගන්නේ කෙසේද?

දුක දරාගන්නේ කෙසේද?

දුක දරාගන්නේ කෙසේද?

“යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි.”—ගීතාවලිය 34:18.

ආදරය කරන කෙනෙක් මිය ගිය විට මහත් වේදනාවක් දැනෙනවා. ඊට අමතරව කම්පනයක්, වරදකාරී හැඟීමක් හෝ කෝපයක් ඇති විය හැකියි. වියෝ දුකට මුහුණ දෙන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කොහොමවුණත් එවැනි තත්වයකට සාර්ථකව මුහුණ දීම සඳහා ප්‍රායෝගික උපදෙස් කිහිපයක් අපි දැන් සලකා බලමු.

හැඟීම්වලට ඉඩ දෙන්න

කලින් ලිපියේ සඳහන් කළ හෙලොයිසාගේ මව මිය ගියා. ඒ ගැන ඇය මෙසේ පැවසුවා. “මුලින්ම මම ටිකක් ඇඬුවත් පස්සේ ඒ දුක තද කරගෙන හිටියා. ඒ නිසා අන්තිමට මම අසනීප වුණා. මම දැන් අනික් අයට කියන්නේ ‘දුක තද කරගෙන ඉන්නේ නැතුව අඬන්න අවශ්‍ය වෙලාවට අඬන්න කියලයි.’ ඇත්තටම ඒකෙන් ලොකු සහනයක් දැනෙනවා.”

හෙලොයිසාට වඩා සිසීලියාගේ හැඟීම් වෙනස්. ඇගේ පුරුෂයා පිළිකාවක් නිසා මිය ගියා. ඉන් කාලයක් ගිය පසුවත් ඇගේ දුක අඩු වුණේ නැහැ. ඇය පැවසුවේ මෙයයි. “සමහර අය කියනවා ‘ඔයා දැන් දුක් වුණා ඇති’ කියලා. ඒ වෙලාවට මට හිතෙනවා ‘මම දුක් වෙන එක වැරදිද’ කියලා.”

සෑම කෙනෙක්ම දුක දරාගන්නේ එකම ආකාරයකට නොවෙයි. ඒ නිසා දුක් විය යුතු “නිවැරදි ක්‍රමය මෙයයි” කියා කිසිවෙකුට කියන්න බැහැ. සමහර අය කාලයක් පුරා දුකෙන් සිටින්න පුළුවන්. තවත් සමහර අය කෙටි කාලයකින් යථා තත්වයට පත් වෙන්න පුළුවන්. *

ශෝකය යනු ඉතාමත් ප්‍රබල හැඟීමක්. පුරාණයේ සිටි යාකොබ් නමැති පුද්ගලයාද එය අද්දුටුවා. ඔහුගේ පුත්, යෝසෙප් නැති වුණා කියා ඔහුට ආරංචි වූ විට ඔහුද මහත් සේ ශෝක වුණා. ඒ අවස්ථාවේදී සියලුදෙනා ඔහුව සැනසවීමට උත්සාහ කළත් ඔහු දවස් ගණනාවක්ම අඬා වැළපුණ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 37:35) නමුත් කෙනෙක් දිගින් දිගටම ශෝකයෙන් සිටිනවා නම් එය ඔහුගේ ශරීර සෞඛ්‍යයටත් බලපෑ හැකියි. එසේනම් ඉන් මිදීම සඳහා කළ හැක්කේ කුමක්ද?

සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. කලින් සඳහන් කළ සිසීලියා මෙවැනි දෙයක් පවසනවා. “සමහර වෙලාවට අඬලා අඬලාම මම හෙම්බත් වෙනවා.” ඉන් පෙනී යන්නේ ශෝකය කෙනෙකුට මානසිකව වගේම ශාරීරිකවත් බලපාන බවයි. ඒ නිසා සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමත් නිසි විවේකය හා පෝෂ්‍යදායී ආහාර ගැනීමත් අත්‍යවශ්‍යයි.

ශෝකයෙන් සිටින අවස්ථාවකදී කෑමට කිසිම ප්‍රියක් ඇති නොවන බව සත්‍යයයි. නමුත් ඔබ දිගටම ආහාර නොගෙන සිටිනවා නම් ඔබ අසනීප වීමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා පෝෂ්‍යදායී ආහාර සුළු ප්‍රමාණයක් හෝ ගැනීමට උත්සාහ කරන්න. *

ව්‍යායාම්ද අවශ්‍යයි. ව්‍යායාම් කරන විට ශෝකය වැනි හැඟීම් පාලනය කිරීමට උපකාර කරන හෝමෝනයන් මොළය මගින් නිපදවෙනවා. ඒ නිසා එක තැනකට කොටු වී සිටිනවා වෙනුවට ටිකක් ඇවිදීම වැනි සැහැල්ලු ව්‍යායාමයක යෙදෙන්න.

අන් අයගෙන් උපකාර පතන්න. මිය ගොස් තිබෙන්නේ ඔබේ විවාහ සහකරු හෝ සහකාරිය නම් අන් අයගේ උපකාරය ඔබට වඩාත් අවශ්‍ය වෙයි. සමහරවිට ඔබ දෙදෙනා පවුලේ වගකීම් බෙදාගෙන කරන්න ඇති. නමුත් දැන් ඔබට ඒ සියලු වගකීම් තනිවම දැරීමට සිදු වෙනවා. උදාහරණයකට මුදල් පාලනය හෝ නිවසේ වැඩකටයුතු බලාගත්තේ මිය ගිය තැනැත්තා නම් දැන් ඔබ ඒ සියල්ල කළ යුතුයි. නමුත් ඔබට ඒ සඳහා අද්දැකීම් නොතිබෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී පවුලේ කෙනෙකුගේ හෝ විශ්වාසවන්ත මිතුරෙකුගේ උපකාරය ඔබට බොහෝ සේ වටියි.—හිතෝපදේශ 25:11.

විශ්වාසවන්ත මිතුරෙකුව බයිබලයේ විස්තර කර තිබෙන්නේ ‘විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙක්’ ලෙසයි. (හිතෝපදේශ 17:17) ඒ නිසා මිතුරන්ට ඔබව බරක් වෙයි කියා සිතමින් ඔවුන්ගෙන් ඈත් වීමට උත්සාහ කරන්න එපා. අන් අය සමඟ කාලය ගත කරන්න. එසේ කිරීම ඔබේ ශෝකය දරාගන්න උපකාරයක් වෙයි. සැලීගේ අද්දැකීම වුණෙත් එයයි. ඇගේ මව මිය ගිය පසුව ඇය මෙසේ පැවසුවා. “මගේ යාළුවෝ මට තනි වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ අය වැඩ කරනකොට මාවත් හවුල් කරගත්තා. මගේ පාළුව තනිකම මකාගන්න ඒක ලොකු උපකාරයක් වුණා. කෙනෙක් ‘ඔයා හොඳින්ද’ වගේ ප්‍රශ්න අහනකොට අම්මා ගැන කතා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒකත් මට ලොකු සහනයක්.”

සොදුරු මතකයන් අවදි කරන්න. සමහරවිට මෙය පහසු දෙයක් නොවිය හැකියි. ඒ වුණත් අතීතයේ සතුටුදායක අවස්ථාවන් මතකයට නඟාගැනීමට උත්සාහ කරන්න. මුලින්ම එය සිතට වේදනාවක් ඇති කළත් කාලයත් සමඟ ඉන් ඔබට මහත් සහනයක් ලැබෙයි.

ඔබ කැමති නම් ඔබේ අද්දැකීම පොතක ලියන්න. උදාහරණයකට මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටින කාලයේදී ඔහුට හෝ ඇයට කියන්න ආශාවෙන් සිටි නමුත් කියාගන්න අවස්ථාව නොලැබුණු දේවල් ඔබට ලියන්න පුළුවන්. ඒ වගේම ඔබේ දුක තද කරගෙන සිටිනවා වෙනුවට ඔබට හැඟෙන දේවල්ද ලියන්න. බොහෝවිට මෙසේ කිරීමත් ඔබට මානසික සහනයක් වෙයි.

මිය ගිය තැනැත්තා භාවිත කළ දේවල් හෝ ඡායාරූප ළඟ තබාගැනීම ගැන කුමක් කිව හැකිද? සමහර අය සිතන්නේ මෙවැනි දේවල් ළඟ තබාගැනීමෙන් තමන්ගේ දුක තවත් වැඩි වන බවයි. නමුත් කලින් සඳහන් කළ සැලීගේ අද්දැකීම මීට වඩා වෙනස්. “අම්මා පාවිච්චි කළ හුඟක් දේවල් තවමත් මං ළඟ තියෙනවා. මගේ දුක දරාගන්න ඒ දේවල් මට ලොකු උපකාරයක්.” *

සැනසිල්ල ලබා දෙන දෙවිට ළං වන්න. බයිබලයේ මෙසේ පවසනවා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.” (ගීතාවලිය 55:22) ඒ වගේම ‘සැනසිල්ලේ දෙවි අපගේ සියලු පීඩාවලදී අපව සනසන’ බවත් එහි සඳහන් වෙනවා. (2 කොරින්ති 1:3, 4) ඒ නිසා දෙවිට ළං වන්න. ඒ සඳහා හොඳම දෙය වන්නේ යාච්ඤා කිරීමයි.

බයිබලය මාර්ගයෙන් දෙවි අපට මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. එනම් “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින” බවයි. (ක්‍රියා 24:15) මෙම පොරොන්දුව දී තිබෙන්නේ දෙවි නිසා, ශෝකයෙන් සිටින කෙනෙකුට ඉන් මහත් සහනයක් ලබාගත හැකියි. * රිය අනතුරකින් තම සහෝදරයාව අහිමි වූ ලෝරන් පවසන දෙයින් ඒ බව පැහැදිලි වෙනවා. “කොච්චර දුකෙන් හිටියත් බයිබලය කියවන එක මම නතර කළේ නැහැ. එක පදයක් හරි කියෙව්වා. සමහර බයිබල් පදවලට මම හුඟක් ආසයි. උදාහරණයකට ලාසරුස් මැරුණ වෙලාවේ යේසුස් මාර්තාට කිව්වා ‘ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි’ කියලා. ඒ වගේ මට සහනයක් ගෙන දෙන බයිබල් පද මම නැවත නැවත කියෙව්වා.—යොහන් 11:23.

“ශෝකයෙන් යටපත් වෙන්න එපා”

කාලයත් සමඟ ඔබ දුක දරාගැනීමට පුරුදු වෙනවා. නමුත් ඉන් අදහස් කරන්නේ මිය ගිය තැනැත්තාව ඔබ අමතක කළ බව නොවෙයි. එම තැනැත්තාව ඔබට කවදාවත් අමතක කරන්න බැහැ. නමුත් සිදු වන්නේ කාලයත් සමඟම ඔබ එම වේදනාවට මුහුණ දීමට හුරු වීමයි.

මිය ගිය තැනැත්තාව මතක් වන අතරේම ඔහු හා සම්බන්ධ යම් සතුටුදායක මතකයන්ද අවදි වෙයි. ඒ සම්බන්ධයෙන් ඈෂ්ලි පවසන දේ බලන්න. “අම්මා නැති වෙන්න කලින් දවසේ ටිකක් හොඳට හිටියා. දවස් කිහිපයකට පස්සේ එදා තමයි අම්මා ඇඳෙන් බැස්සේ. අක්කා අම්මගේ කොණ්ඩේ පීර පීර ඉන්නකොට මොනවා හරි දෙයකට අපි තුන්දෙනාම හුඟක් හිනා වුණා. දවස් ගාණකට පස්සේ එදා තමයි අම්මා හිනා වුණේ. අම්මා එදා හුඟක් සතුටින් හිටියා.”

මිය ගිය තැනැත්තා ඔබට ඉගැන්වූ දේවල් මතක් කරගැනීමෙන්ද ඔබට දුක දරාගැනීමට පහසු වෙනවා. ඒ ගැන සැලී මෙසේ පවසනවා. “මගේ අම්මා හොඳ ගුරුවරියක්. එයා උපදෙස් දෙන විදිහ හරිම ලස්සනයි. එයා කවදාවත් හිත රිදෙන විදිහට උපදෙස් දීලා නැහැ. ඒ විතරක් නෙවෙයි, හොඳ තීරණ ගන්නේ කොහොමද කියලත් කියලා දීලා තියෙනවා.”

මෙවැනි මතකයන් ඔබේ දුක දරාගැනීමට පමණක් නොව ජීවිතය ඉදිරියට ගෙන යෑමටත් උපකාරවත් වෙයි. ඇලෙක්ස් නම් යෞවනයා ඔහුගේ අද්දැකීම මෙසේ විස්තර කරනවා. “තාත්තා නැති වුණාට පස්සේ මම හුඟක් ඇඬුවා. මට කවදාවත් තාත්තව අමතක කරන්න බැහැ. ඒත් මම දුකෙන් යටපත් වුණේ නැහැ. තාත්තා මට හැමදාම කිව්වේ ‘සතුටින් ජීවත් වෙන්න’ කියලයි. මට තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි, එයා කියලා දුන්න විදිහට ජීවත් වෙන එක. අම්මා හරි තාත්තා හරි අහිමි වුණ කෙනෙකුට මම කියන්නෙත් ‘දුකෙන් යටපත් වෙන්නේ නැතුව දෙමව්පියන් ඔයාගෙන් බලාපොරොත්තු වුණ විදිහට ජීවත් වෙන්න’ කියලයි.”

[පාදසටහන්වල]

^ 7 ඡේ. ඔබ වියෝ දුකෙන් සිටින විට ඔබේ ජීවිතයට බලපාන බැරෑරුම් තීරණ එනම් පදිංචිය මාරු කිරීම, නැවත විවාහ වීම වැනි තීරණ ගැනීමෙන් වළකින්න. ඒ සඳහා ඔබ යථා තත්වයට පත් වන තුරු සිටින්න.

^ 10 ඡේ. මත්පැන්වලින් ශෝකය නැති කරන්න බැරි බව මතක තබාගන්න. ඉන් තාවකාලික සහනයක් දැනුණත් එසේ කිරීමෙන් ඊට ඇබ්බැහි වීමට තිබෙන ප්‍රවණතාව වැඩියි.

^ 16 ඡේ. එක් එක් කෙනා දුක දරාගන්නා ආකාරය වෙනස්. ඒ නිසා ඔබේ පෞද්ගලික මතයට අනුව ශෝකයෙන් සිටින කෙනෙකුට දේවල් කරන්න කියා බල කරන්න එපා.—ගලාති 6:2, 5.

^ 18 ඡේ. මිය ගිය අයගේ තත්වය ගැන සහ ඔවුන් සම්බන්ධයෙන් අපට තබාගත හැකි බලාපොරොත්තුව ගැන වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 6වන සහ 7වන පරිච්ඡේද බලන්න.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“කොච්චර දුකෙන් හිටියත් බයිබලය කියවන එක මම නතර කළේ නැහැ. එක පදයක් හරි කියෙව්වා.”—ලෝරන්

[7වන පිටුවේ කොටුව/පින්තූරය]

දොස් නඟාගැනීමෙන් වළකින්න

මිය ගිය තැනැත්තාගේ මරණයට ඔබත් වග කියන්න ඕනේ කියා ඔබට හැඟෙනවාද? ශෝකයෙන් සිටින විට එසේ සිතීම සාමාන්‍යයි. නමුත් ඔබට එවැනි හැඟීම් ඇති වෙනවා නම් ඒ ගැන විශ්වාසවන්ත කෙනෙකු සමඟ කතා කරන්න. එය ඔබට සහනයක් වෙයි.

අපි කෙනෙකුට කොතරම් ආදරය කළත් “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” සිදු විය හැකි නිසා අපට ඒවා වළක්වන්න බැහැ. (දේශනාකාරයා 9:11) උදාහරණයකට ඔබ ආදරය කළ කෙනෙක් යම් රෝගයකින් මිය ගියා කියා සිතන්න. රෝගය වැලඳුනේ ඔබේ වරදක් නිසා නොවෙයි. එය සුව කිරීමට ඔබේ පැත්තෙන් කළ හැකි සියල්ල ඔබ කරන්න ඇති. එසේනම් එම මරණයට වග කිව යුත්තේ ඔබ කියා සිතන්නේ කෙසේද?

මෙම අද්දැකීම ගැන සිතන්න. එක් දරුවෙක් රිය අනතුරකින් මිය ගියා. ඇගේ මව සිතුවේ තමාගේ වරද නිසා දරුවා මිය ගියා කියායි. “මුලින් මට හිතුණේ දුවට යන්න අවසර දුන්න නිසානේ එයා මැරුණේ කියලා. ඒත් පස්සේ මටම තේරුණා එහෙම හිතන එක සාධාරණ නැහැ කියලා. මොකද එයා ගියේ තාත්තත් එක්ක. ඒක වැරදි නැහැ. මේක හදිසි අනතුරක්.”

අපි අතින් අඩුපාඩුවක් වුණා කියා සිතමින් අපේ සිත හුඟක් වධ දෙන්න පුළුවන්. නමුත් හැමවිටම අපි අතින් සිදු වන්නේ සියයට සියයක්ම හරි දේ කියා අපි කිසිම කෙනෙකුට කියන්න බැහැ. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.” ඒ අනුව වචනයකින් හෝ අප අන් අයව රිදවන අවස්ථාවන් තිබෙනවා. එසේ නොවෙනවා නම් ‘කිසි වරදක් නොකරන පරිපූර්ණ කෙනෙකු බවට’ අප පත් වෙනවා. (යාකොබ් 3:2; රෝම 5:12) නමුත් අපි අතර එවැනි කිසිවෙකු නැති බව අප මතක තබාගත යුතුයි. ඒ නිසා ඔබේ අතින් වරදක් සිදු වුණා කියා සිතමින් අනවශ්‍ය ලෙස දුක් වෙන්න එපා. *

[පාදසටහන]

^ 36 ඡේ. මෙම කොටුවේ ඇති තොරතුරු රුගෙන තිබෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට . . . නමැති සඟරාවෙන්.

[6වන පිටුවේ පින්තූරය]

සමහර අවස්ථාවලදී තම වැඩිහිටි දරුවන්ව සැනසීමට වයසට ගිය දෙමාපියන්ට සිදු වෙනවා

[9වන පිටුවේ පින්තූර]

ඡායාරූප බැලීම, අන් අයගෙන් උපකාර ලබාගැනීම හා ඔබේ සිතුවිලි පොතක ලිවීමෙන් ඔබේ ශෝකයට මුහුණ දීමට ඔබට හැකි වෙයි