Skip to content

පටුනට යන්න

ඔබ සතු අගනා ආභරණයක්!

ඔබ සතු අගනා ආභරණයක්!

ඔබ සතු අගනා ආභරණයක්!

● “රන් ඇත. බොහෝ කොරල්ද තිබේ. එහෙත් දැනුම පතුරුවන තොල් අගනා ආභරණ වැනිය” කියා ප්‍රඥාවන්ත සලමොන් රජ පැවසුවා. (හිතෝපදේශ 20:15) ඒ කාලයේදී පමණක් නොව අදටත් රන් ඉතාමත් වටිනවා. ඒ වගේම කොරල්වල වටිනාකමද වැඩියි. නමුත් ඒ සියල්ලටම වඩා අපේ තොල් අගනා බව සලමොන් රජ පැවසුවා. ඔහු ඉන් අදහස් කළේ තොල්වල පිටාතර පෙනුම ගැනවත් අලංකාරය ගැනවත් නොව ඉන් පිට කරන වචන ගැනයි.

අපේ වචන යහපත්, කාරුණික හා ප්‍රේමණීය නම් අපේ තොල් අගනා ආභරණවලට සමාන කළ හැකියි. ඒ වගේම අපි දෙවි ගැන සත්‍යය ප්‍රකාශ කරනවා නම් අපට තිබෙන්නේ දැනුම පතුරුවන තොල් කියා පැවසිය හැකියි. දෙවි ගැන සත්‍යය දැනගැනීමට අපට හැකි වන්නේ බයිබලය මාර්ගයෙනුයි.—යොහන් 17:17.

නමුත් කනගාටුවට කරුණ වන්නේ බොහෝදෙනෙක් තම අගනා තොල්වලින් දෙවි ගැන බොරු පැතිරවීමයි. උදාහරණයකට ඔවුන් පවසන්නේ ලෝකයේ සිදු වන සෑම නරක දේකටම දෙවි වග කිව යුතුයි කියායි. නමුත් බයිබලයේ පවසන්නේ ‘මිනිසෙකු තමාගේම මෝඩකම නිසා ජීවිතය අවුල් කරගන්නා’ බවයි. ඒත් ඔහු ‘දොස් කියන්නේ දෙවිටයි.’—හිතෝපදේශ 19:3.

තවත් අය තමාගේ වචනවලින් අන් අයව රවටනවා. එවැනි අය ඕපාදූප කතා කරමින් බොරු පතුරුවනවා. ඔවුන් ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “පණ වුණත් දෙන බවට බොරු මවාපෑමක් කරන කෙනා රිදී ආලේප කළ මැටි භාජනයක් මෙනි.” (හිතෝපදේශ 26:23) ඇත්තෙන්ම මෙවැනි අයගේ ප්‍රිය වචන පිටුපස තිබෙන්නේ නපුරු සිතුවිලියි.—හිතෝපදේශ 26:24-26.

මිනිසුන් ඉදිරියේ නපුරු සිතුවිලි සැඟ විය හැකි වුණත් දෙවි ඉදිරියේ එසේ කරන්න බැහැ. අපි ඇත්තටම මොන වගේ අයද කියා ඔහු දකිනවා. යේසුස් එක් අවස්ථාවකදී ආගමික නායකයන්ට පැවසුවේ මෙයයි. “අන්ධ පරිසිවරුනි, කුසලානයත් දීසියත් පිටතින් පවිත්‍ර කරන්න කලින් ඒවායේ ඇතුළත පවිත්‍ර කරන්න.” (මතෙව් 23:26) අපේ සිත පිරිසිදු බවත් දෙවි පිළිබඳ සත්‍යය දේවලින් පුරවා තිබෙන බවත් අපේ වචනවලින් ඔප්පු වෙයි. එවිට අන් අය ඉදිරියේ පමණක් නොව දෙවි ඉදිරියේද අපේ තොල් අනර්ඝ ආභරණ මෙන් වෙනවා.

[19වන පිටුවේ පින්තූරය]

පිරිසිදු සිතක් ඇති අයගේ තොල් අනර්ඝ ආභරණ හා සමානයි