Skip to content

පටුනට යන්න

දරුවෙකු පිළිකාවකින් පෙළෙන විට

දරුවෙකු පිළිකාවකින් පෙළෙන විට

දරුවෙකු පිළිකාවකින් පෙළෙන විට

“අපේ දුවට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තාම මගේ මුළු ලෝකයම නතර වුණා. ඒ වෙලාවේ අපට දැනුණේ හරියට දුව නැති වුණා වගෙයි.”—ජායිල්ටන්.

දරුවෙකුට පිළිකාවක් වැලඳීම ජීවිතයේ දෙමාපියන් මුහුණ දෙන අමිහිරි අද්දැකීමක්. ජාත්‍යන්තර පිළිකා මර්දන ආයතනයක් මෙසේ පැවසුවා. “සෑම වසරකම වාර්තා වන පිළිකා රෝගීන් අතරින් 1,60,000කටත් වඩා සිටින්නේ දරුවන්. ඒ වගේම අනතුරුවලින් සිදු වන ළමා මරණවලට පසුව තිබෙන්නේ පිළිකාවලින් සිදු වන ළමා මරණයි.” බ්‍රසීලයේ තිබෙන එක් පිළිකා මර්දන ආයතනයක් පවසන්නේ “සෑම වසරකම පිළිකා රෝගී දරුවන් 9,000ක් තම රටෙන් හඳුනාගන්නා” බවයි.

පිළිකාවක් වැලඳුණු විට ශල්‍යකර්ම, රසායනික චිකිත්සා සහ විකිරණ චිකිස්සා වැනි ප්‍රතිකාරවලට මෙන්ම ඉන් ඇති වන අතුරු ආබාධවලට දරුවන්ට මුහුණ දීමට සිදු වෙනවා. අනික් අතට භයක්, කෝපයක්, වරදකාරී හැඟීමක්, ලොකු කම්පනයක් වැනි තත්වයන්ට දෙමාපියන්ද මුහුණ දෙනවා. එක් පොතක සඳහන් වුණේ “දරුවෙක් පිළිකාවකින් පෙළෙන විට ඒක මුළු පවුලටම විශාල බලපෑමක් කරන” බවයි. එවැනි තත්වයකට මුහුණ දෙන්නේ කෙසේද කියා බලමු.—එම පොත À margem do leito—A mãe e o câncer infantil.

ඔවුන්ට උපකාර කළ හැකි එක් පිරිසක් වන්නේ වෛද්‍යවරුනුයි. අද්දැකීම් ලත් එක් වෛද්‍යවරයෙක් මෙසේ පැවසුවා. “මේ රෝගය ගැනත් ප්‍රතිකාරවලින් පසුව ඇති වන අතුරුඵල ගැනත් දෙමාපියන් සමඟ විවෘතව කතා කිරීමෙන් ඉදිරියේදී ඇති වන තත්වයන්ට මුහුණ දීමට ඔවුන්ට ශක්තිය ලැබෙනවා.” ඒ වගේම දෙමාපියන්ට සහනයක් දිය හැකි තවත් පිරිසක් වන්නේ දැනටමත් එවැනි තත්වයකට මුහුණ දී ඇති දෙමාපියනුයි. බ්‍රසීලයේ සිටින එවැනි දෙමාපියන් කිහිපදෙනෙකු පිබිදෙව්! සඟරාවට පැවසූ අදහස් දැන් අපි සලකා බලමු.

ජායිල්ටන් සහ නේයා. “අපේ දුවට වසා ලියුකේමියාව තියෙනවා කියලා අපි දැනගන්නකොට එයාට වයස අවුරුදු දෙකහමාරයි.”

කොතරම් කාලයක් ප්‍රතිකාර කළාද?

“අවුරුදු දෙකහමාරක් විතර රසායනික චිකිත්සාව කළා.”

මොන වගේ අතුරු ආබාධවලට මුහුණ දෙන්න සිදු වුණාද?

“දුවගේ කොණ්ඩේ ගියා. ඒ වගේම දත් කලු වුණා. නිතරම වමනේ දැම්මා. තුන් සැරයක් නිව්මෝනියාව හැඳුණා.”

ඒක ඔය දෙන්නාට බලපෑවේ කොහොමද?

“මුලින්ම අපි හුඟක් භය වුණා. ඒත් ටික ටික එයාගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙනකොට දුව සනීප වෙයි කියන විශ්වාසය අපට ආවා. දැන් දුවට අවුරුදු නවයක් වෙනවා.”

මෙවැනි තත්වයකට මුහුණ දෙන්න ඔබට උපකාරවත් වුණේ මොනවාද?

“යෙහෝවා දෙවියි. ඔහු ‘අපගේ සියලු පීඩාවලදී අපව සනසවන’ ආකාරය අපි අද්දැක්කා. (2 කොරින්ති 1:3, 4) ඊට අමතරව අපේ සභාවේ සහෝදර සහෝදරියෝ නිතරම අපිට දුරකථනයෙන් කතා කළා, ලියුම් එව්වා, අපි වෙනුවෙන් යාච්ඤා කළා. ඒ විතරක් නෙවෙයි මූල්‍යමය පැත්තෙනුත් උදව් කළා. දුවව වෙනත් ප්‍රදේශයක රෝහලකට මාරු කළ අවස්ථාවේදී එහේ හිටිය සහෝදරයන් අපිට නවාතැන්, ප්‍රවාහණ පහසුකම් දුන්නා. ඒ අයගෙන් ලැබුණ උපකාර විස්තර කරන්න අපට වචන නැහැ.”

ලුයීස් සහ ෆැබියානා. “වර්ෂ 1992දී අපේ දුවට දුර්ලභ ගණයේ ඩිම්බකෝෂ පිළිකාවක් තියෙනවා කියලා අපි දැනගත්තා. ඒ වෙනකොට එයාට වයස අවුරුදු 11යි.”

ඒ ගැන ඔයාලට හැඟුණේ කොහොමද?

“දුවට පිළිකාවක් තියෙනවා කියලා අපි මුලදී පිළිගත්තේ නැහැ.”

දුවට මොන වගේ ප්‍රතිකාර කළාද?

“දුවට ශල්‍යකර්මයක් වගේම රසායනික චිකිත්සාවත් කළා. මේ කාලයේදී අපි හුඟක් මානසිකව වැටුණා. දෙසැරයක්ම දුවට නිව්මෝනියාව හැඳුණා. දෙවැනි සැරේදී අපි හිතුවා එයා මැරෙයි කියලා. ඒ වගේම රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වුණ නිසා එයාගේ හමෙනුත් නහයෙනුත් ලේ ගලන්න පටන්ගත්තා. ඒත් ප්‍රතිකාර කරනකොට ඒ තත්වය හොඳ අතට හැරුණා.”

කොතරම් කාලයක් ප්‍රතිකාර කළාද?

“මුල් පරීක්ෂණයේ ඉඳන් මාස හයක් පුරා ප්‍රතිකාර කළා.”

අසනීපය සහ ප්‍රතිකාර ගැන දුවට හැඟුණේ කොහොමද?

“මොනවාද වෙන්නේ කියලා මුලින්ම දුවට කිසිම තේරුමක් තිබුණේ නැහැ. වෛද්‍යවරයා එයාට කිව්වා ‘ඔයාගේ බඩේ පුංචි බෝලයක් තියෙනවා, ඒක එළියට ගන්න ඕනේ’ කියලා. ඒත් ඊට වඩා තත්වය භයානකයි කියලා දුවට තේරුණා. ඒ නිසා එයාම මගෙන් ඇහුවා ‘තාත්තේ මට පිළිකාවක් හැදිලාද’ කියලා. ඒ වෙලාවේ මොනවද කියන්නේ කියලා මට හිතාගන්නවත් බැරි වුණා.”

දුවගේ අසනීප තත්වය ඔය දෙන්නට බලපෑවේ කොහොමද?

“ඒක විස්තර කරන්න වචන නැහැ. බෙහෙත් විදින්න දුව එයාගේ පුංචි අත දීගෙන ඉන්නකොට අපිට ඒක බලාගෙන ඉන්න බැරි වුණා. ඒ වගේ වෙලාවට මම නාන කාමරේට ගිහින් අඬඅඬා යාච්ඤා කළා. දවසක් මම බැරිම තැන දෙවිට කිව්වා ‘අනේ මගේ පුංචි දුව මැරෙන්නේ නැතුව මට මැරෙන්න ඉඩ දෙන්න’ කියලා.”

මේ වගේ තත්වයකට මුහුණ දෙන්න උපකාරවත් වුණේ මොනවාද?

“අපට ලොකු සහනයක් වුණේ අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියනුයි. අපේ සභාවේ විතරක් නෙවෙයි රට පුරාම හිටිය හුඟක් අය අපට දුරකථනයෙන් කතා කළා. එක කාලයකදී අපි හුඟක් මානසිකව වැටිලයි හිටියේ. එක සහෝදරයෙක් දුරකථනයෙන් බයිබල් පද කිහිපයක්ම අපිත් එක්ක කියෙව්වා. ඇත්තටම අපිට ඒ වෙලාවේ අවශ්‍ය වෙලා තිබුණ සහනය ඒ පදවලින් ලැබුණා.”

රොසිමෙරී. “දුවට ලියුකේමියාව තියෙනවා කියලා දැනගන්නකොට එයාට වයස අවුරුදු හතරයි.”

ඔයාට ඒ වෙලාවේ මොනවාද හිතුණේ?

“මට ඒක විශ්වාස කරන්න බැරි වුණා. උදේ හවස මම අඬඅඬා දෙවිට යාච්ඤා කළා. පොඩි දුවගේ අසනීප තත්වය ලොකු දුවටත් හුඟක් බලපෑවා. ඒ නිසා මට ලොකු දුවව මගේ අම්මගේ ගෙදර නතර කරන්න සිද්ධ වුණා.”

මොන වගේ අතුරු ආබාධවලට මුහුණ දෙන්න සිදු වුණාද?

“දුවට දිනපතා රසායනික චිකිත්සක ප්‍රතිකාර කළ නිසා එයාට රක්තහීනතාවය ඇති වුණා. ඊටපස්සේ එයාගේ ලේ වඩවන්න වෛද්‍යවරු යකඩ සහ එරිත්‍රොපොයටින් වගේ ඖෂධ වර්ග දුන්නා. සමහර වෙලාවට දුවට වලිප්පුව හැඳුණා.”

කොතරම් කාලයක් ප්‍රතිකාර කළාද?

“අවුරුදු දෙකහමාරක් විතර එක දිගටම එයාට රසායනික චිකිත්සාව කළා. ඒ නිසා එයා හුඟක් මහත් වුණා. ඒ වගේම කොණ්ඩෙත් ගියා. ඒත් දුව නිතරම හිනා වෙලා හිටිය නිසා මටත් දුවටත් ඒ තත්වය දරාගන්න පහසු වුණා. මේ විදිහට අවුරුදු හයක් විතර ගියාට පස්සේ වෛද්‍යවරු කිව්වා දැන් නම් දුවට පිළිකාවක ලකුණක්වත් නැහැ කියලා.”

මේ අසීරු තත්වයට මුහුණ දෙන්න ඔබට උපකාර වුණේ මොනවාද?

“මමයි දුවයි නිතරම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඒ වගේම බයිබලයේ සඳහන් වන විවිධ පීඩාවලට මුහුණ දුන්න අයගේ අද්දැකීම් අපි කියෙව්වා. ඒකත් අපිට ලොකු ශක්තියක් වුණා. ඊට අමතරව ‘හෙට දවස ගැන කනස්සලු වෙන්න එපා’ කියලා යේසුස් කිව්ව දේත් අපි නිතරම මතක් කරගත්තා. (මතෙව් 6:34) අපේ සභාවේ සහෝදර සහෝදරියනුත් රෝහල් සබඳතා කමිටුවේ අයත් අද්දැකීම් ලත් වෛද්‍ය කාර්ය මණ්ඩලයත් අපිට හුඟක් උපකාර කළා.”

දරුවෙකුට පිළිකාවක් වැලඳීම ඇත්තෙන්ම ඉතාමත් දුක්බර දෙයක්. ඔබේ හෝ ඔබ දන්නා හඳුනන කෙනෙකුගේ දරුවෙකු එවැනි තත්වයක සිටිනවා නම් ඔබට ඒ ගැන ලොකු වේදනාවක් ඇති වීම සාධාරණයි. (දේශනාකාරයා 3:4) නමුත් “යාච්ඤා අසන තැනැත්තා” වන යෙහෝවා දෙවි, ඔබ ඇඬූ කඳුළින් කරන කන්නලව්වලට සවන් දෙන බව කිසිවිටෙක අමතක කරන්න එපා.—ගීතාවලිය 65:2.

[13වන පිටුවේ කොටුව]

සහනයක් ලබා දෙන බයිබල් පද

“හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න.”—මතෙව් 6:34.

“අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි සහ පියාණන් වන තැනැත්තාණන්ට ප්‍රශංසා වේවා! මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය. සියලු සැනසිල්ලේ දෙවි ඔහුය. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය.”—2 කොරින්ති 1:3, 4.

“කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.”—ෆිලිප්පි 4:6, 7.

“ඔහු [දෙවි] ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:7.

[14වන පිටුවේ කොටුව/පින්තූරය]

ප්‍රේමණීය සැලසුමක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරයෙන් වැළකී සිටිනවා. (ක්‍රියා 15:20) ඒ නිසා ඔවුන්ගේ රෝහල් සබඳතා කමිටුව උත්සාහ කරන්නේ රුධිරය රහිත ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ව අවශ්‍ය වේලාවලදී රෝගීන්ට හඳුන්වා දීමයි.

[13වන පිටුවේ පින්තූරය]

නේයා, ස්තෙෆනි සහ ජායිල්ටන්

[13වන පිටුවේ පින්තූරය]

ලුයීස්, ඒලීන් සහ ෆැබියානා

[13වන පිටුවේ පින්තූරය]

ඒලීන් සහ රොසිමෙරී