Skip to content

පටුනට යන්න

මිනිසත්බව වෙන්දේසි කළ යුගයක්

මිනිසත්බව වෙන්දේසි කළ යුගයක්

මිනිසත්බව වෙන්දේසි කළ යුගයක්

ඔබේම රටේ අය ඔබව වහලෙකු ලෙස වෙනත් රටකට විකුණුවොත් ඔබට කෙසේ හැඟෙයිද? දහහත්වන හා දහනවවන සියවස් අතර කාලයේදී අප්‍රිකාවේ සිදු වූයේ ඒ හා සමාන දෙයක්. එහි වෙරළාසන්නයේ පිහිටි ඔයිඩා නගරය වහලුන්ව වෙළඳාම් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වී තිබුණා. මේ නගරයේ සිට පමණක් වහලුන් මිලියනයකටත් අධික සංඛ්‍යාවක් විකුණා තිබෙනවා. කෑදර ව්‍යාපාරිකයන් මෙලෙස තම රටවැසියන්ව විකුණා දැමුවේ මත්පැන්, රෙදි, වළලු මෙන්ම කඩු, කිනිසි, තුවක්කු වැනි දේවල් ලබාගැනීමටයි.

එම කාලය තුළ අප්‍රිකානුවන් මිලියන 12කටත් අධික සංඛ්‍යාවක් වහලුන් ලෙස විකුණා තිබෙනවා. ඔවුන්ව රැගෙන ගියේ වතුවල හා පතල්වල බර වැඩ කිරීමටයි. මෙම වහලුන්ගෙන් සියයට 85ක්ම ගෙන ගොස් තිබෙන්නේ බ්‍රසීලයට හා විවිධ රටවල තිබූ ජනපදවලටයි. එම ජනපදවල අයිතිකරුවන් වුණේ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ස්පාඤ්ඤය හා ඕලන්දයයි. ඒ වගේම සියයට හයක් පමණ ඇමරිකාවටත් ගෙන ගොස් තිබෙනවා කියා එක් පොතක සඳහන් වුණා. *American Slavery—1619-1877.

වහලුන් ලෙස අල්ලාගත් අය තම මව් රටට සමු දුන්නේ ඔයිඩා වෙරළේදීයි. මෙම ස්ථානයට පැමිණීම සඳහා ඔවුන්ට කිලෝමීටර් හතරක් පමණ ඇවිදීමට සිදු වුණා. අත් පාවලට දම්වැල් දමාගෙන ඇවිදීම ඔවුන්ට පහසු එකක් වුණේ නැහැ. ඒ වගේම ඒ අතරතුර කෲර වධ හිංසාවලටද ඔවුන් මුහුණ දුන්නා. ඔවුන්ගේ නික්ම යෑම සිහි වීම සඳහා අද ඔයිඩා වෙරළ තීරයේ විශාල ආරුක්කුවක් ඉදි කර තිබෙනවා. එය හඳුන්වන්නේ සමු දීමේ දොරටුව ලෙසයි.

විශාල ව්‍යාපාරයක ආරම්භය

ඈත අතීතයේ සිට අප්‍රිකානු ගෝත්‍රිකයන් අතර ගැටුම් පැවතුණා. ජය ගත් ගෝත්‍රික නායකයන් පරාජය වූ ගෝත්‍රියන්ව වහලුන් ලෙස ගෙනැවිත් අරාබි වෙළෙඳුන්ට විකුණුවා. පසු කාලවලදී බටහිර රටවලින්ද ගැනුම්කරුවන් පැමිණියා. මෙම ගැටුම් නිසා ජයග්‍රාහී ගෝත්‍රිකයන්ට මෙන්ම කෑදර වෙළඳුන්ටද විශාල වාසි ප්‍රයෝජන අත් වුණා. තවත් සමහර අයව පැහැරගෙන ගොස් වහලුන් ලෙස විකුණුවා. සමහර අවස්ථාවලදී ගෝත්‍රික නායකයාගේ අනුග්‍රහය අහිමි වුණ ඔහුගේම පවුලේ සාමාජිකයන්ව පවා වහලුන් ලෙස විකුණා තිබෙනවා.

මේ ආකාරයට වහලුන්ව මිල දී ගත් ප්‍රසිද්ධ ගැනුම්කරුවෙක් වූයේ බ්‍රසීලියානු ජාතික ෆ්‍රැන්සිස්කු ෆේලික්ස් ඩී සවුසායි. වහලුන්ව වෙළඳාම් කිරීම සඳහා ඩී සවුසා 1788දී ඔයිඩාහි වෙරළට ආසන්නයේ ඉදි කර තිබූ බලකොටුව යොදාගත්තා. මේ කාලයේදී බෙනින් රටේ රජුව සිටියේ ඇඩන්ඩෝසන් නමැති රජයි. නමුත් ඩී සවුසා සහ රජ අතර ගැටුමක් තිබුණ නිසා ඔහු රජුගේ සහෝදරයා වූ ගේසෝ සමඟ හවුල් වුණා. පසුව 1818දී ඔවුන් රජව පන්නා දැමුවා. ඉන්පසුව ගේසෝ සහ සවුසා ඔවුන්ගේ මිත්‍රත්වය යොදාගත්තේ ඔවුන්ගේ වාසි ප්‍රයෝජන සඳහායි.

ගේසෝගේ අරමුණ වුණේ ඔහුගේ බලය ව්‍යාප්ත කිරීමයි. ඒ සඳහා ඔහුට යුරෝපයෙන් අවිආයුධ ගෙන්වාගැනීමට අවශ්‍ය වුණා. ඒ නිසා ඔහු ඩී සවුසාව ඔයිඩාහි ආණ්ඩුකාරයා බවට පත් කර වහල් වෙළඳාම ඔහුට භාර දුන්නා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඩී සවුසාද මෙම වෙළඳාමෙන් විශාල මුදල් කන්දරාවක් උපයාගත්තා. ඔහුගේ වහල් වෙළඳපොළට දේශීය වෙළඳුන් පමණක් නොව විදේශීය වෙළඳුන් පවා පැමිණියා.

කඳුලින් තෙත් වූ ගමනක්

ඈත අතීතයේදී වහලුන් වෙළඳාම් කිරීමේ මධ්‍යස්ථානයක් වුණේ 1721දී ඉදි කළ පෘතුගීසි බලකොටුවයි. අද එය කෞතුකාගාරයක්. මුලින්ම අප්‍රිකාවේ විවිධ ප්‍රදේශවලින් සොයාගන්නා වහලුන්ව දම්වැල්වලින් ගැටගසා මෙම බලකොටුව වෙත ගෙන එනවා. මෙම වහලුන් පැන යෑමෙන් වළක්වාගැනීම සඳහා ඔවුන්ව රැගෙන එන්නේ රාත්‍රී කාලයේදීයි. මේ ආකාරයට දින ගණනාවක් පුරා රාත්‍රී කාලයේදී ඔවුන්ට ගමන් කිරීමට සිදු වුණා. ගමන අවසානයේදී බලකොටුව තුළ තිබෙන පිට්ටනියක ඔවුන්ව සිර කළා.

ඉන්පසුව සිදු වුණේ වහලුන්ව වෙන්දේසි කිරීමයි. වෙන්දේසියේදී මිල දී ගත් වහලුන්ට ගැනුම්කරුවන් විසින් රත් කළ යකඩයකින් ලකුණක් දමනවා. අවසානයේදී ඔවුන්ව වෙරළට ගෙන ගොස් ඔවුන් එන තුරු බලා සිටි නැව් කරා කුඩා බෝට්වුවලින් රැගෙන යනවා.

තම මව්බිම ගැන ඇති මතකයන් මකා දැමීම සඳහා ගනුදෙනුකරුවන් විසින් චාරිත්‍රයක් අනුගමනය කිරීමට ඔවුන්ට බල කළා. එය නම් අමත කිරීමේ ගස ලෙස නම් කර තිබූ ගසක් වටා ගමන් කිරීමයි. කාන්තාවක් එය වටා හත් වතාවක්ද පිරිමි කෙනෙකු නව වතාවක්ද ගමන් කළ යුතු වුණා. කිසිවක් කරකියාගත නොහැකි අසරණ වහලුන් කළේ ඒ වටා ගමන් කිරීමයි.

එම වහලුන්ගේ දුක්බර ගමන අපට මතක් කර දෙන තවත් දෙයක් වන්නේ සොමායි නමැති පැල්පත් සමූහය සිහි වීම සඳහා ඉදි කර තිබෙන ස්මාරකයයි. එම පැල්පත් තුළ තිබෙන්නේ අසරණ වහලුන්ගේ දුක්බර කතාවයි. ඔවුන්ව රැගෙන යෑමට පැමිණෙන නැව් එනතුරු වහලුන්ව මෙම පැල්පත්වල මාස ගණන් සිර කර තැබුවා. වෙළඳුන් ඉන් බලාපොරොත්තු වුණේ නැව තුළ තිබෙන කටුක ජීවිතයට කල් තියාම ඔවුන්ව හුරු කිරීමයි. මේ අතර කාලයේදී මිය යන සියලුදෙනාටම සිදු වුණේ එකම මිනී වළකට හිමිකම් කියන්නයි.

එම ස්මාරකය නම් කර තිබෙන්නේ සොමාචි ලෙසයි. වහලුන්ගෙන් සහ වෙළඳුන්ගෙන් පැවත එන අය සෑම වසරකම ජනවාරි මාසයේදී මේ ස්මාරකය අසලට රැස් වෙනවා. ඔවුන් ඉන් බලාපොරොත්තු වන්නේ අතීතයේදී වහල් වෙළඳාමේ හවුල් වූ තම මුතුන්මිත්තන් අතින් සිදු වූ අසාධාරණකම්වලට සමාව අයැදීමයි.

අතීතයේදී මෙම වහලුන් සමු දීමේ දොරටුව අසලට පැමිණි විට ඔවුන්ට පෙනෙන්න තිබුණේ නිමක් තෙරක් නැති නිල්වන් මුහුද පමණයි. මෙම වෙන් වීම දරාගත නොහැකි වුණු සමහර අය තම මව්බිම සිහි වීම පිණිස අවසාන වතාවට වෙරළේ වැලි කෑ බව වාර්තා වෙනවා. ඒ වගේම තවත් අය තමන්ට දමා තිබූ දම්වැලෙන්ම ගෙල සිර කරගෙන දිවි නසාගෙන තිබෙනවා. ඔවුන්ගේ මේ සමුගැනීම සිහි වීම පිණිස විශාල ආරුක්කුවක් ඉදි කර තිබෙන අතර එහි දම්වැල් දමාගෙන සිටින වහලුන්ගේ රූපද නෙළා තිබෙනවා. ඉන් අපට මතක් කර දෙන්නේ ඔවුන්ගේ සමුගැනීමයි.

යුක්තිය හිස ඔසවයි

වහලුන්ව රැගත් අවසාන නෞකාව ඔයිඩා වෙරළේ සිට ඇමරිකව බලා පිටත් වුණේ 1860 ජූලි මාසයේදීයි. එසේ රැගෙන ගිය වහලුන්ට තම ස්වාමිවරුන් යටතේ වැඩි කාලයක් සේවය කිරීමට ලැබුණේ නැහැ. ඊට හේතුව 1863දී වහල් වෙළඳාම නතර කර වහලුන්ව නිදහස් කිරීමට ඇමරිකාව විසින් පියවර ගැනීමයි. ටිකෙන් ටික වෙනත් රටවල්ද 1888දී බ්‍රසීලයද වහල් වෙළඳාමට සමු දුන්නා. *

අප්‍රිකානුවන්ගෙන් පැවත එන විශාල පිරිසක් අද ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ වගේම අප්‍රිකානුවන් අතර ජනප්‍රිය වූඩූ ලෙස හඳුන්වන විජ්ජා හා මායා බන්ධන ක්‍රියා අද බටහිර රටවලද දැකගත හැකියි.

එදා මෙන් අද මිනිසුන්ව විකිණීම සඳහා වෙන්දේසි නොකළත් අද ලොව පුරා මිලියන ගණන් මිනිසුන් වහලුන්ගේ තත්වයට පත් වී තිබෙනවා. ඒ කෙසේද? බොහෝ අය ආර්ථික ප්‍රශ්නවලින්ද තවත් අය අසාධාරණ ලෙස කටයුතු කරන පාලන ක්‍රම නිසාද දුක් විඳිනවා. (දේශනාකාරයා 8:9) ඒ වගේම බොරු ආගමික ඉගැන්වීම් හා මිථ්‍යා විශ්වාසයන්ටද වහල් වී සිටිනවා. මෙවැනි වහල්භාවයකින් ගලවාගැනීමට මිනිස් පාලකයන්ට හැකි වෙයිද? කොහොත්ම බැහැ. එය කළ හැක්කේ මුළු මිනිස් වර්ගයාටම එක හා සමාන ලෙස සලකන යෙහෝවා දෙවිට පමණයි. ඒ වගේම දෙවිගේ වචනය වන බයිබලයේ ඇති සත්‍ය ඉගැන්වීම් තුළින් මිනිසාට සැබෑ නිදහසද සොයාගත හැකියි. එවිට “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව” ඔවුන්ට අත් වෙන බව ස්ථිරයි.—රෝම 8:21; යොහන් 8:32.

[පාදසටහන්වල]

^ 3 ඡේ. ඇමරිකාවට ගෙන ගියේ සුළු පිරිසක් වුණත් එහිදී ඔවුන්ට දරුවන් ලැබුණ නිසා ඔවුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වුණා.

^ 17 ඡේ. වහල්භාවය ගැන බයිබලයේ සඳහන් වන තොරතුරු දැනගැනීමට 2001 සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපයේ “වහල් වෙළඳාම දෙස දෙවි බලා සිටියේ ඇස් කන් පියාගෙනද?” යන ලිපිය බලන්න.

[24වන පිටුවේ කොටුව/පින්තූරය]

මිනිසුන්ව වහලුන් කළේ කවුද?

බොහෝ අය පවසන්නේ කෑදර වෙළඳුන් ගම්වලට කඩාවැදී බලහත්කාරයෙන් මිනිසුන්ව ගෙන ගිය බවයි. ඉතිහාසඥයෙක් වන ශ්‍රීමත් රොබට් හාම්ස් පැවසුවේ “අප්‍රිකානු නායකයන්ගේ හා වෙළඳුන්ගේ සහය නොතිබුණා නම් මිලියන ගණන් මිනිසුන් කිසි දවසක වහලුන් බවට පත් නොවන” බවයි. ඉන් ඔප්පු වන්නේ “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත” යන බයිබලයේ සඳහන් වදන්වල සත්‍යයතාවයි.—දේශනාකාරයා 8:9.

[හිමිකම් විස්තර]

© Réunion des Musées Nationaux/​Art Resource, NY

[22වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

අප්‍රිකානුවන් මිලිනය 12ක් පමණ වහලුන් ලෙස විකුණා තිබෙනවා

අප්‍රිකාව

බෙනින්

ඔයිඩා

වහල් වෙළඳ තීරය

[22, 23වන පිටුවල පින්තූරය]

වර්ෂ 1721දී ඉදි කළ පෘතුගීසි බලකොටුව අද කෞතුකාගාරයක්

[හිමිකම් විස්තර]

© Gary Cook/​Alamy

[23වන පිටුවේ පින්තූරය]

මුකවාඩම් දමා බැඳ සිටින වහලෙකුගේ පිළිරුවක්

[23වන පිටුවේ පින්තූරය]

අප්‍රිකානු වහලුන්ව සිහි වීම පිණිස ඉදි කර ඇති සමු දීමේ දොරටුව

[හිමිකම් විස්තර]

© Danita Delimont/​Alamy