Skip to content

පටුනට යන්න

මිනිසා සතු අද්විතීය ගුණාංග

මිනිසා සතු අද්විතීය ගුණාංග

මිනිසා සතු අද්විතීය ගුණාංග

එක්සත් ජනපදයේ වයස අවුරුදු 50ක පුද්ගලයෙක් දුම්රිය පැමිණෙන තුරු බලා සිටියා. දුම්රිය පැමිණෙන අතරේදී හදිසියේම ඔහු අසල සිටි තරුණයෙක් දුම්රිය මාර්ගයට වැටුණා. ඒ මොහොතේ ඔහු තම ජීවිතය ගැනවත් නොසිතා දුම්රිය මාර්ගයට පැන යෞවනයාගේ ජීවිතය බේරාගත්තා.

නාට්සි පාලන සමයේදී හිට්ලර්ව ගැලවුම්කරුවෙක් ලෙස සලකා “හායිල් හිට්ලර්” කියා ඔහුට ආචාර කිරීම අනිවාර්යය දෙයක් වුණා. නමුත් යේසුස් තුළින් මිස “වෙන කිසිවෙකු තුළින් ගැලවීම ලබාගත නොහැකි” බව දන්නා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එසේ කළේ නැහැ. (ක්‍රියා 4:12) ඒ නිසා ඔවුන්ව ගාල් කඳවුරුවල සිර කළා. නමුත් ඔවුන් තම විශ්වාසයන් හා ප්‍රතිපත්ති අත්හැරියේ නැහැ.

ඉහත සඳහන් අද්දැකීම්වලින් පෙනී යන්නේ තමන් ගැන නොසිතා වෙන කෙනෙකුගේ යහපත වෙනුවෙන් ඉදිරිපත් වීමට හා තමන්ගේ විශ්වාසයන් රැකගැනීම සඳහා තමන්ගේ නිදහස වුණත් කැප කිරීමට මිනිසුන් සූදානම් බවයි. මෙවැනි ගුණාංග සතුන් ළඟ තිබෙනවාද? එසේනම් මිනිසා පරිණාමය වුණා කියා පවසන්නේ කෙසේද? මිනිසා යනු බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක් කියා සිතීම සාධාරණ නොවේද? පහත සඳහන් ප්‍රශ්න කිහිපය ගැන සිතා බලන්න.

● හරි වැරැද්ද තීරණය කිරීම සඳහා මිනිසාට හෘද සාක්ෂියක් තිබෙන්නේ ඇයි?

● අවට පරිසරයේ ඇති දේවල් රස විඳින්න මිනිසාට හැකි වී තිබෙන්නේ ඇයි?

● සංගීතය හා චිත්‍ර වැනි දේවල් අපේ පැවැත්මට අත්‍යවශ්‍ය නොවුණත් මිනිසා ඉන් තෘප්තියක් ලබන්නේ ඇයි?

● දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍යයි කියා මිනිසුන් සිතන්නේ ඇයි?

● ‘අපි මේ පොළොවේ ජීවත් වෙන්නේ ඇයි’ සහ ‘ජීවිතේ අරමුණ කුමක්ද’ වැනි ප්‍රශ්න මිනිසුන්ට පමණක් ඇති වන්නේ ඇයි?

● කෙනෙක් මිය ගිය විට මිනිසුන් විවිධ චාරිත්‍ර වාරිත්‍ර පවත්වන්නේ ඇයි?

● මිනිසා පරිණාමය වුණා නම් සදාකාලයටම ජීවත් වීමේ ආශාවක් මිනිසා තුළ තිබෙන්නේ ඇයි?

පිළිතුරු සොයාගත හැකි මාර්ගය

ඉහත සඳහන් ප්‍රශ්නවලට බයිබලයෙන් පිළිතුරු ලබාගත හැකියි. එහි සඳහන් කරුණු කිහිපයක් අපි සලකා බලමු.

මිනිසා සතු ගතිලක්ෂණ. “දෙවි මනුෂ්‍යයාව [එනම් මුල් මිනිසා වූ ආදම්ව] සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි.” (උත්පත්ති 1:27; ලූක් 3:38) අප සියලුදෙනාම පැවත එන්නේ ආදම්ගෙන් නිසා හොඳ ගුණාංග විදහා පෙන්වීමේ හැකියාව අපට තිබෙනවා.

ආදරය කිරීම සහ ලැබීම. “දෙවි ප්‍රේමයයි.” (1 යොහන් 4:8) මිනිසාව නිර්මාණය කර තිබෙන්නේ දෙවිගේ ගතිලක්ෂණ ඇතුව නිසා උපන්දා සිට මිය යන තෙක්ම ඔහුට ආදරය අවශ්‍යයි. ක්‍රිස්තියානියෙක් වූ පාවුල් මෙසේ පැවසුවා. “මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.” (1 කොරින්ති 13:2) ඒ වගේම “ඔබ දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරන්න” කියාත් ඔහු පැවසුවා.—එෆීස 5:1.

දෙවිගේ මඟ පෙන්වීම් ලැබීමට ඇති අවශ්‍යතාව. “මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මත” කියා බයිබලයේ ලියා තිබෙනවා. (මතෙව් 4:4) දෙවි මොන වගේ කෙනෙක්ද කියාත් ඔහුගේ අරමුණ කුමක්ද කියාත් අපට බයිබලයෙන් දැනගත හැකියි. අනික් අතට සාර්ථක ජීවිතයක් ගත කිරීමට දෙවිගේ මඟ පෙන්වීම් අත්‍යවශ්‍යයි.

මිය යෑමට හේතුව. අප මිය යන්නේ ‘අපේ පව්කාර ස්වභාවය’ නිසයි. (රෝම 6:23) ඒ වගේම එම ස්වභාවය නිසා නමස්කාරය හා සදාචාරය සම්බන්ධ දෙවිගේ උසස් ප්‍රමිති රකින්නත් අපි අපොහොසත් වෙනවා. නමුත් දෙවිගේ අරමුණ වන්නේ මිනිසා තුළ තිබෙන පාපය ඉවත් කර කීකරු අයට “සදාකාල ජීවනය” ලබා දීමයි.—ගීතාවලිය 37:10, 11, 29; ලූක් 23:43.

ජීවිතයේ සැබෑ සතුට හා තෘප්තිය ලබන්න ඔබත් කැමති ඇති. ඒ වගේම ඔබ සතු හැකියාවන් දියුණු කරගන්නත් ඔබ කැමති ඇති. ඔබේ නිර්මාතෘ වන දෙවි ගැන දැනගන්නත් ඔහුගේ පොරොන්දු හා අරමුණ ඔබට බලපාන්නේ කෙසේද කියාත් දැනගන්න ඔබ කැමතිද? එසේනම් බයිබලය අධ්‍යයනය කරන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. එවිට ඔබ අදටත් සදාකාලයටත් සන්තෝෂවත් ජීවිතයක් ගත කරයි.—මතෙව් 5:3; යොහන් 17:3.

[9වන පිටුවේ කොටුව/පින්තූරය]

නැතුවම බැරි ආදරය

විද්‍යාඥයෙක් වන ජෙරල්ඩ් ෂ්රෝඩර් පැවසුවේ “දරුවෙකුගේ මොළයේ වර්ධනයට ආදරය අත්‍යවශ්‍ය” බවයි. ඒ නිසා ‘දරුවන්ට ප්‍රේම කරන්න’ කියා බයිබලයේ දී තිබෙන උපදෙස දෙමාපියන් අදාළ කරගැනීම කොතරම් වටිනවාද!—තීතස් 2:4.

[8, 9වන පිටුවල පින්තූරය]

සමහර දේවල් අපේ පැවැත්මට අත්‍යවශ්‍ය නොවුණත් අපි ඒවායින් ප්‍රීතියක් ලබනවා

[9වන පිටුවේ පින්තූරය]

ආහාර, ජලය හා සමානව ජීවත් වීමට දෙවිගේ මඟ පෙන්වීම්ද අත්‍යවශ්‍යයි