Skip to content

පටුනට යන්න

සැබෑ ක්‍රිස්තියානීන්ට බොහෝදෙනා හිංසා පීඩා කරන්නේ ඇයි?

සැබෑ ක්‍රිස්තියානීන්ට බොහෝදෙනා හිංසා පීඩා කරන්නේ ඇයි?

බයිබලයෙන් පිළිතුරක්

සැබෑ ක්‍රිස්තියානීන්ට බොහෝදෙනා හිංසා පීඩා කරන්නේ ඇයි?

“මිනිසුන් ඔබට පීඩා කර ඔබව මරණයට පත් කරයි. ඔබ මගේ නාමය දරන නිසා සියලු ජාතීන් ඔබට වෛර කරයි.”—මතෙව් 24:9.

යේසුස් ඉහත සඳහන් වචන පැවසුවේ ඔහුට දරුණු ලෙස පීඩා කර මරණයට පත් කිරීමට ටික දවසකට පෙරයි. ඒ වගේම ඔහු තම අනුගාමිකයන්ට මෙසේද පැවසුවා. “ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි.” (යොහන් 15:20, 21) යේසුස් සෑමවිටම උත්සාහ කළේ අන් අය වෙනුවෙන් යහපත් දෙයක් කිරීමටයි. ඒ වගේම ඔහු මුළු මිනිස් වර්ගයාටම ප්‍රේම කළා. සැබෑ ක්‍රිස්තියානීන් උත්සාහ කරන්නෙත් ඔහුගේ එම ආදර්ශය අනුගමනය කරන්නයි. එසේනම් ඔවුන්ට අන් අය හිංසා පීඩා කරන්නේ ඇයි?

ඊට හේතු බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. දැන් අපි ඒ ගැන සලකා බලමු.

නිවැරදි දැනුම නොමැති වීම

“ඔබව මරණයට පත් කරන අය එසේ කිරීමෙන් තමන් දෙවිට මහත් සේවයක් කළ බව සිතන කාලයක් එයි. ඔවුන් ඒ දේවල් කරන්නේ ඔවුන් පියාණන්වත් මාවත් නාඳුනන නිසයි” කියා යේසුස් පැවසුවා. (යොහන් 16:2, 3) එදා යේසුස්ට සහ ඔහුගේ අනුගාමිකයන්ට හිංසා පීඩා කළ අය සැබෑ දෙවිට නමස්කාර කරන බව පැවසුවත් ඇත්තටම ඔවුන් බොරු ඉගැන්වීම්වලින් හා චාරිත්‍රවලින් නොමඟ ගොස් සිටියා. දෙවිට සේවය කරන්න ඔවුන්ට මහත් උද්‍යෝගයක් තිබුණත් “එම උද්‍යෝගය නිවැරදි දැනුම මත පදනම් වූ එකක් නොවේ” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—රෝම 10:2.

යේසුස්ගේ අනුගාමිකයන්ට බොහෝ සේ පීඩා කළ අය අතරින් පාවුල් ලෙස හඳුන්වන සාවුල් එක් කෙනෙක්. ඔහු තම අද්දැකීම විස්තර කරන්නේ මෙසේයි. ‘කලින් මා දෙවිට අපහාස කළ කෙනෙක්. මා මිනිසුන්ට පීඩා කළ මිනිසෙක්. මා ඒ සියල්ල කළේ නොදැනුවත්කම නිසයි.’ (1 තිමෝති 1:12, 13) නමුත් නිවැරදි දැනුම ලැබුණු පසුව ඔහු වෙනස් වී යේසුස්ගේ අනුගාමිකයෙක් බවට පත් වුණා.

අද දිනත් සැබෑ ක්‍රිස්තියානීන්ට පීඩා කළ සමහර අය නිවැරදි දැනුම ලැබුණු පසුව තම ජීවිත වෙනස් කරගෙන තිබෙනවා. ඒ නිසා දැන් ඔවුන්ද අන් අයගේ වෛරයට ලක් වෙනවා. නමුත් ඔවුන් කිසිවිටෙක එකට එක කරන්නේ නැහැ. ඊට හේතුව ‘ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න’ කියා යේසුස් දුන් ආඥාවට ඔවුන් කීකරු වන නිසයි. (මතෙව් 5:44) සැබෑ ක්‍රිස්තියානීන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෑම කෙනෙක්ම එම ආඥාවට කීකරු වෙනවා. එය දකින සමහර අය යම් දවසක සැබෑ ක්‍රිස්තියානීන් බවට පත් වීමට ඉඩ තියෙනවා.

ඊර්ෂ්‍යාව

රෝම ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත්ට ‘නායක පූජකයන් යේසුස්ව භාර දුන්නේ ඔහු ගැන ඔවුන්ට තිබූ ඊර්ෂ්‍යාව නිසා බව’ බයිබලයේ සඳහන් වෙනවා. (මාක් 15:9, 10) ඔවුන් යේසුස්ට ඊර්ෂ්‍යා කළේ ඇයි? සාමාන්‍ය ජනයා අතර පවා යේසුස්ට හොඳ පිළිගැනීමක් තිබුණ නිසයි. “මුළු ලෝකයම ඔහු පසුපස යනවා” කියා ආගමික නායකයන් පැවසීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. (යොහන් 12:19) පසු කාලයේදී සාමාන්‍ය ජනතාව යේසුස්ගේ අනුගාමිකයන් ඉගැන්වූ දේවලට ඇහුම්කන් දුන් නිසා ආගමික නායකයන් “ඊර්ෂ්‍යාවෙන් පිරී” සිටි බවත් ඔවුන්ගේ සේවයට බාධා කළ බවත් බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 13:45, 50.

“කැළි කසළවලින් පිරුණු මඩ වගුරක් හා සමාන වූ ඔවුන්ගේ අශිෂ්ට ක්‍රියාවලට ඔබ තවදුරටත් ඔවුන් සමඟ හවුල් නොවන නිසා ඒ ගැන පුදුම වන ඔවුහු, ඔබට නින්දා කරති” කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (1 පේතෘස් 4:4) ඉන් පැහැදිලි වන්නේ සැබෑ ක්‍රිස්තියානීන්ගේ යහපත් හැසිරීම නිසාත් ඔවුන් අන් අයගේ වෛරයට ලක් වන බවයි. සැබෑ ක්‍රිස්තියානීන් නිතරම උත්සාහ කරන්නේ වැරදි ක්‍රියාවලින් වැළකී සිටීමටයි. නමුත් ඔවුන් කිසිවිටෙක තමන් අන් අයට වඩා උසස් කියා පෙන්වීමට උත්සාහ කරන්නේ නැහැ.—රෝම 3:23.

ලෝකයේ මිනිසුන්ට සමාන නොවීම

දෙවිගෙන් ඈත් වූ අයව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “ලෝකයේ මිනිසුන්” ලෙසයි. ඔවුන් සිටින්නේ “මේ සමාජයේ දෙවියා” වන සාතන්ගේ පාලනය යටතේයි. (2 කොරින්ති 4:4) නමුත් බයිබලයේ අපට පවසන්නේ “ලෝකයටවත් මෙහි තිබෙන දේවලටවත් ඇල්මක් නොදක්වන්න” කියායි.—1 යොහන් 2:15.

බොහෝදෙනා සැබෑ ක්‍රිස්තියානීන්ට හිංසා පීඩා කරන තවත් හේතුවක් යේසුස් මෙසේ පැහැදිලි කළා. “ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමානව සිටියා නම් ඔවුන් ඔබට ඇලුම් කරයි. මන්ද ලෝකයේ සිටින මිනිසුන් තමන්ගේ පැත්තේ සිටින අයට ඇලුම් කරනවා. නමුත් ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසාත් මම ඔබව ඔවුන් අතරින් තෝරාගෙන තිබෙන නිසාත් ඔවුන් ඔබට වෛර කරනවා.”—යොහන් 15:19.

සැබෑ ක්‍රිස්තියානීන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උත්සාහ කරන්නේ දූෂණයෙන් හා අසාධාරණයෙන් පිරි මේ මිනිස් සමාජයෙන් ඈත් වී සිටීමටයි. ඇත්තටම එවැනි පිරිසකට හිංසා පීඩා කිරීම මොන තරම් කනගාටුදායකද! අනික් අතට බොහෝ අවංක මනුෂ්‍යයන් මේ සමාජය යහපත් එකක් කිරීමට උත්සාහ කරනවා. නමුත් ‘මේ සමාජයේ දෙවියා වන සාතන්’ ඊට ඉඩ දෙන්නේ නැහැ. කෙසේවෙතත් සාතන්ට සෑමදාම එසේ කිරීමට හැකි වන්නේ නැහැ. යෙහෝවා දෙවි ඉතාමත් ළඟදී ඔහුව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.—එළිදරව් 20:10, 14.

දෙවිගේ රාජ්‍යය මගින් සාතන්ව නැති කර දමන බවත් මිනිසුන්ට සාමයෙන් හා සන්තෝෂයෙන් මේ පොළොව මත සෑමදාම ජීවත් විය හැකි කාලයක් ළඟදීම පැමිණෙන බවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශ කරනවා. (මතෙව් 6:9, 10; 24:14) මෙම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔවුන්ට දෙවිගේ අනුමැතිය ලැබෙනවා. ඒ නිසා ඔවුන් කොතරම් හිංසා පීඩා අද්දැක්කත් දෙවිට කරන සේවය නතර කරන්නේ නැහැ.

මේ ගැන ඔබ සිතුවාද?

● සාවුල් යේසුස්ගේ අනුගාමිකයන්ට පීඩා කළේ ඇයි?—1 තිමෝති 1:12, 13.

● යේසුස්ගේ සතුරන්ට ඔහු කෙරෙහි තිබුණේ කිනම් හැඟීමක්ද?—මාක් 15:9, 10.

● දෙවිට ප්‍රේම නොකරන මිනිසුන් සමඟ සැබෑ ක්‍රිස්තියානීන් කටයුතු කරන්නේ කෙසේද?—1 යොහන් 2:15.

[21වන පිටුවේ පින්තූරය]

1945දී කැනඩාවේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිංසා පීඩාවලට මුහුණ දුන්නේ දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කිරීම නිසයි

[හිමිකම් විස්තර]

Courtesy Canada Wide