Skip to content

පටුනට යන්න

යෞවන අය අසති

අන් අයගේ සිත දිනාගන්නේ කෙසේද?

අන් අයගේ සිත දිනාගන්නේ කෙසේද?

“මේ සම්මුඛ පරීක්ෂණය මං හිතුවටත් වඩා හොඳයි වගේ. මම හැසිරෙන්නෙත් හරියට යාළුවෙක් වගේනේ. කතා කළෙත් එයාට නම කියලයි. කතා දෙකක් නැහැ රැකියාව මට ලැබෙයි.”

“හරි පුදුමයි. මේ අයදුම්පත එවලා තියෙන්නේ මෙයාද කියලා හිතාගන්නත් බැහැ. හැසිරෙන විදිහ! පළවෙනි දවසෙම මෙහෙම නම් රැකියාව දුන්නොත් මොනවා වෙයිද?”

මෙහි සිටින රැකියා අයැදුම්කරු අතින් සිදු වන වැරදි තුනක් හඳුනාගත හැකිද?

  1. ․․․․․

  2. ․․․․․

  3. ․․․․․

පිළිතුරු පහත දැක්වේ

1. ඔහු ඇඳ සිටින්නේ තැනට ඔබින ආකාරයෙන් නොවෙයි. 2. සම්මුඛ පරීක්ෂකට මිතුරෙකු මෙන් ඔහුගේ නමින් ඇමතීම සුදුසු නැහැ. 3. ඔහු වාඩි වී සිටින්නේ අගෞරවනීය ලෙසයි.

ඔබ මුල් වතාවට යම් කෑමක රස බලනවා කියා සිතන්න. එය කටට ගත් සැණින්ම එහි රස කුමක්ද කියාත් ඔබ ඊට ප්‍රිය කරනවාද නැද්ද කියාත් ඔබ නිගමනය කරනවා.

ඔබ මුල් වතාවට කෙනෙකුව හමු වන විට සිදු වන්නෙත් ඒ හා සමාන දෙයක්. සුළු මොහොතකින් ඔබ ඔහු ගැන යම් නිගමනයකට පැමිණෙනවා. ඒ වගේම ඒ මොහොතේම ඔහුත් ඔබ ගැන යම් නිගමනයකට පැමිණෙන බව අමතක කරන්න එපා.

කෙනෙක් ඔබව දුටු සැණින් මොන වගේ නිගමනයකට පැමිණෙයිද? ඔබ රැකියාවක්, මිතුරෙක් හෝ විවාහ වීමට කෙනෙක් සොයමින් සිටිනවා නම් එය බොහෝ සේ බලපානවා. ඒ නිසා කෙනෙකු තුළ ඔබ ගැන හොඳ හැඟීමක් ඇති කිරීම සඳහා ඔබට සැලකිලිමත් විය හැකි පැති තුනක් ගැන දැන් අපි සලකා බලමු.

1. ඇඳුම් පැළඳුම්

පිටතින් බලා කෙනෙකු ගැන යම් නිගමනයකට පැමිණීම අසාධාරණයි කියා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් බොහෝවිට සිදු වන්නේ ඒ දෙයමයි.

ඒ නිසා තැනට සුදුසු ආකාරයට ඇඳ පැළඳ සිටීම ඉතාමත් වැදගත්. උදාහරණයකට මුහුදු වෙරළට යන විට අඳින ඇඳුමක් කවදාවත් සම්මුඛ පරීක්ෂණයක් සඳහා ගැළපෙන්නේ නැහැ. ඒ නිසා තැනට සුදුසු ඇඳුම් තෝරාගැනීමේදී මතක තබාගත යුතු වැදගත් කරුණ වන්නේ විනීතකම හා පිළිවෙළයි. එක් යෞවනියක් වන ක්ලැරිසාගේ අදහස වුණේ බොහෝදෙනෙක් අවස්ථාවට අනුව ඇඳ පැළඳ සිටීමට නොදන්නා බවයි. *

මතක තබාගන්න. ඔබ මොන වගේ කෙනෙක්ද කියා ඔබ ඇඳ පැළඳ සිටින ආකාරයෙන් හෙළි වෙනවා.

“කෙනෙක් අවිනීතව හරි අපිළිවෙළකට හරි ඇඳගෙන ඉන්නවා නම් මම ඒ වගේ අයත් එක්ක කතා කරන්න ආස නැහැ. ඒ කෙනා ඇඳ පැළඳගෙන ඉන්න විදිහෙන් එයා මොන වගේ කෙනෙක්ද කියලා මම නිගමනය කරනවා.”—ඩයෑන්.

බයිබලයේ දිරිගන්වන්නේ ‘විනීතකම සහ හොඳ සිහිකල්පනාව’ පෙන්වන “මනා පිළිවෙළකින් යුත් වස්ත්‍ර” ඇඳ පැළඳ සිටින්න කියායි.—1 තිමෝති 2:9.

ඔබෙන්ම මෙසේ අසාගන්න: ‘මම අඳින්නේ පළඳින්නේ පිළිවෙළකටද, නැත්නම් අපිළිවෙළකටද? මම ඇඳ පැළඳ සිටින ආකාරය නිසා කෙනෙක් මාව දුටු සැණින්, මම සිහිකල්පනාවෙන් ක්‍රියා නොකරන කෙනෙක් කියා නිගමනය කරයිද?

යෝජනාවක්: හොඳින් ඇඳ පැළඳ සිටීමට පුරුදු වී සිටින කෙනෙකු ඔබ දන්නවා නම් ඔහුගෙන් හෝ ඇයගෙන් උපදෙස් ලබාගන්න.

2. කතාබහ

ඔබ කතා කරන විලාසයෙන් ඔබ යටහත්පහත් කෙනෙක්ද, උඩඟු කෙනෙක්ද, මිත්‍රශීලී කෙනෙක්ද, නැත්නම් අනික් අයගේ අවධානය ලබාගැනීමට උත්සාහ කරන කෙනෙක්ද කියා හෙළි වෙනවා. විශේෂයෙන්ම ඔබ විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක කතා කරන විට ඒ ගැන පරෙස්සම් වෙන්න. යෞවනියක් වන වැලරි මෙසේ පවසනවා. “මම ආසම නැති දෙයක් තමයි පිරිමි ළමයෙක් නිතරම තමන් ගැන විතරක් කතා කරන එක. අනික් අතට සමහර පිරිමි ළමයි මුල් හමුවීමේදීම ගැහැනු ළමයා ගැන ඕනෑවට වඩා විස්තර අහනවා. ඒකෙන් වෙන්නේ ඒ ගෑනු ළමයා අපහසුතාවට පත් වෙන එක විතරයි. හුඟක් වෙලාවට ආපහු ඒ කෙනාව හමු වෙන්න ඇය කැමති වෙන්නෙත් නැහැ.”

මතක තබාගන්න. ඔබේ වචනවලින් ඔබේ සිතුවිලි මොන වගේද කියා හෙළි වෙනවා.

“පිරිමි ළමයෙක් එක්ක කතා කරනකොට, එයා සාමාන්‍ය විදිහට කතා කරනවාටයි මම කැමති. ඕනෑවට වඩා හිතහිතා කතා කරනවාට මම කැමති නැහැ. ඒක හරිම අසාමාන්‍යයි.”—සෙලේනා.

බයිබලයේ මෙවැනි උපදෙසක් දෙනවා. “කතාබහ වැඩි වූ විට වරදකට හසු වීමේ ඉඩකඩද වැඩිය. එහෙත් බුද්ධිමත් තැනැත්තා තම වචන කල්පනාකාරීව හසුරුවයි.”—හිතෝපදේශ 10:19.

ඔබෙන්ම මෙසේ අසාගන්න: ‘ඕනෑවට වඩා කතා කිරීමෙන් හා අඩුවෙන් කතා කිරීමෙන් වැළකී, අවශ්‍ය ප්‍රමාණයට කතා කරන්න මට පුළුවන් කොහොමද? මම කතා කරන විදිහ අනික් අයට මං ගැන වැරදි හැඟීමක් ඇති කරනවාද?’

යෝජනාවක්: සංවාදයක් හොඳින් හසුරුවන්න පුළුවන් කෙනෙක් අනික් අයත් එක්ක කතා කරන්නේ කෙසේද කියා නිරීක්ෂණය කරන්න. ඔහු පාවිච්චි කරන ක්‍රම ඔබටත් පාවිච්චි කරන්න පුළුවන්ද කියා බලන්න.

3. හැසිරීම

කියන දේට වඩා ඔබ හැසිරෙන ආකාරයෙන් ඔබ ගැන බොහෝ දේවල් හෙළි වෙනවා. ඒ නිසා අන් අය ඔබේ කතාව පමණක් නොව ඔබේ හැසිරීමත් නිරීක්ෂණය කරන බව මතක තබාගන්න. විශේෂයෙන්ම විවාහ වීමට කෙනෙකු සොයන විට ඒ ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි. කේරී නමැති යෞවනිය මෙසේ පැවසුවා. “පොඩි දේවලදී පවා ආචාරශීලී වීමෙන් කෙනෙකුට ගෞරවය පෙන්වන්න පුළුවන්.”

මතක තබාගන්න. අපේ හැසිරීම හරියට දැන්වීම් පුවරුවක් වගෙයි. අපේ හැසිරීම දිහා බලලා අපි ඇත්තටම මොන වගේ අයද කියා හැමෝටම දැනගන්න පුළුවන්. (හිතෝපදේශ 20:11) එසේනම් ඔබේ හැසිරීමෙන් ඔබ ගැන කුමක් හෙළි වෙයිද?

“කෙනෙක් කතා කරනකොට හොඳින් සවන් දීම හුඟක් වැදගත්. ඒ වගේම වෙන කෙනෙක් කතා කරනකොට මැදට පැනලා කතා කරන එකත් එච්චර හොඳ නැහැ.”—නටාලියා.

බයිබලයේ මෙසේ පවසනවා. “අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න.”—ලූක් 6:31.

ඔබෙන්ම මෙසේ අසාගන්න: ‘මම හොඳින් හැසිරෙන කෙනෙක්ද? මම අනික් අය ගැන සැලකිලිමත්ද? මම විශ්වාසවන්ත කෙනෙක්ද? මම වෙලාවට වැඩ කරනවාද?

යෝජනාවක්: වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න. ඒ සඳහා සැලසුම් කරන්න. උදාහරණයකට නියමිත වෙලාවකට යම් ස්ථානයක සිටීමට අවශ්‍ය නම් විනාඩි දහයකටවත් කලින් එතැන සිටීමට සැලසුම් කරන්න. එවිට යම් හේතුවක් නිසා පරක්කු වීමට සිදු වුණත් නියමිත වෙලාවට අවශ්‍ය තැන සිටීමට ඔබට හැකි වෙයි.

සැලකිල්ලට ගන්න: කෙනෙකුගේ සිත දිනාගැනීම සඳහා බොරු මවාපෑම් කරන්න එපා. (ගීතාවලිය 26:4) ඔබ දියුණු විය යුතු පැති ගැන අවංකව කල්පනා කර බලන්න. ඒ වගේම ඒවා දියුණු කරගන්න. ඔබ එසේ කරනවා නම් මුල් අවස්ථාවේදී පමණක් නොව ඕනෑම අවස්ථාවක අන් අයගේ සිත් දිනාගනිමින් කටයුතු කිරීමට ඔබට හැකි වෙයි. (කොලොස්සි 3:9, 10) අන් අය ඔබ ගැන යම් නිගමනවලට පැමිණෙන්නේ ඔබ කියන කරන දේ අනුවයි. ඒ නිසා ඔබ ඇඳුම් පැළඳුම්, කතාබහ හා හැසිරීම ගැන සැලකිලිමත් වෙන්න. එසේ කිරීමෙන් අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කරන්න ඔබටත් හැකි වෙයි.

^ 16 ඡේ. නම් වෙනස් කර ඇත.