Skip to content

පටුනට යන්න

ඉතිහාස කතාව වෙනස් කළ කාලගුණය

ඉතිහාස කතාව වෙනස් කළ කාලගුණය

ඉතිහාස කතාව වෙනස් කළ කාලගුණය

ලොව පුරා සුවිශේෂී සිදුවීම් රැසක් ඉතිහාසයට එක් කිරීමට කාලගුණය හේතු වී තිබෙනවා. එවැනි ඉතිහාසගත වාර්තා දෙකක් ගැන දැන් අපි සලකා බලමු.

සැඩ කුණාටුවක්

වර්ෂ 1588දී ස්පාඤ්ඤයේ ෆිලිප් රජ එංගලන්තය ආක්‍රමණය කිරීමට සැලසුමක් දියත් කළා. ඒ සඳහා ඔහු යුධ නැව් සමූහයක් පිටත් කරහැරියා. නමුත් ඔහුගේ සැලසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කාලගුණය ඉඩ දුන්නේ නැහැ.

එය සිදු වුණේ මේ ආකාරයටයි. ඉංග්‍රීසි ඕඩයේදී, ස්පාඤ්ඤ නැව් එංගලන්ත නැව් සමඟ සටන ඇරඹූ අතර එංගලන්තයේ නැව් වේගවත් නිසා ඔවුන් ස්පාඤ්ඤ නැව් බොහොමයකට හානි සිදු කළා. ස්පාඤ්ඤ නැව් කළේ ප්‍රංශයේ කැලයිස් වරාය වෙත යෑමයි.

අඳුරු වැටුණු පසුව එංගලන්ත නාවිකයන් පුපුරන ද්‍රව්‍ය පිරවූ නැව් කිහිපයකට ගිනි තබා ස්පාඤ්ඤ නැව් දෙසට එව්වා. සුළඟ සහ දියවැල් නිසා මෙම නැව් ඉලක්කය කරා ගමන් කරන බව ඔවුන් දැන සිටියා. මෙය දුටු ස්පාඤ්ඤ නාවිකයන් හැකි ඉක්මනින් පිටත් වීම සඳහා නැංගුරම්වල ලණු කපා දැමුවා. නමුත් හදිසි වී ඔවුන් ගත් මේ තීරණය ඥානවන්ත එකක් වුණේ නැහැ.

මෙම සිදුවීමෙන් පසුව දෙපිරිසම උතුරු දෙසට ගමන් කළා. පසුව එංගලන්ත හමුදාවේ පුපුරන ද්‍රව්‍ය හිඟ වූ නිසා ඔවුන් එංගලන්ත වෙරළ තීරයේ නතර වුණා. ස්පාඤ්ඤ හමුදාවට අවශ්‍ය වුණේ නැවත තම රට වෙත යෑමයි. නමුත් එංගලන්ත හමුදාව ඒ අවට සිටීමත් සුළඟ විරුද්ධ දිශාවට හැමීමත් නිසා ඔවුන්ට ආපසු හැරී යෑමට හැකි වුණේ නැහැ. ඒ නිසා ඔවුන් උතුරු දෙසටම ගමන් කළා.

ඒ වන විට ඔවුන්ගේ නැව්වලට හානි වී තිබුණු අතර බොහෝ සොල්දාදුවන්ද තුවාල වී සිටියා. ඒ වගේම තවත් අයට ශීතාද රෝගය වැලඳී තිබුණා. ඊට අමතරව ඔවුන් ආහාර හා ජල හිඟයකටද මුහුණ දුන්නා.

මේ ආකාරයට දුර්වල වී සිටි ස්පාඤ්ඤ නාවිකයන් කෙසේ හෝ ස්කොට්ලන්තය පසු කරමින් යන විට ඔවුන් දරුණු කුණාටුවකට හසු වුණා. සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවකදී නාවිකයන් කරන්නේ නැංගුරම් දමාගෙන සුළඟ නතර වන තුරු එක තැනකට වී සිටීමයි. නමුත් ස්පාඤ්ඤ හමුදාව කලින් ඔවුන්ගේ නැංගුරම්වල ලණු කපා දමා තිබූ නිසා මේ අවස්ථාවේදී ඔවුන්ට කුණාටුවට මුහුණ දීමට හැකි වුණේ නැහැ. මේ හේතුවෙන් නැව් 26ක් විනාශ වූ අතර ජීවිත 5,000ත් 6,000ත් අතර සංඛ්‍යාවක්ද අහිමි වුණා. අවසානයේදී ඔවුන් ස්කොට්ලන්තය හා අයර්ලන්තය පසු කරමින් වට රවුමෙන් තම රට වෙත පැමිණියා.

ස්පාඤ්ඤ හමුදාව තම රට වෙත පැමිණියත් ඔවුන් සමඟ ගිය 20,000කට පමණ නැවත ඒමට අවස්ථාව ලැබුණේ නැහැ. මේ විපතට ප්‍රධාන වශයෙන් හේතු වුණේ කාලගුණයයි. නමුත් ස්වභාවික විපත් ඇති කරන්නේ දෙවි කියා සිතාගෙන සිටි ඕලන්ද ජාතිකයන් මෙම ජයග්‍රහණය සැලකුවේ දෙවි විසින් අත් කර දුන් එකක් කියායි. ඒ නිසා එය සිහි කිරීමට ඔවුන් පදක්කමක්ද නිර්මාණය කළා. එහි සටහන් කර තිබුණේ “යෙහෝවා දෙවි එවූ සුළඟින් ඔවුන් ගසාගෙන ගියා” කියායි.

ධාරානිපාත වර්ෂාවක්

වර්ෂ 1815දී බෙල්ජියමේ වෝටර්ලූ ප්‍රදේශයේ යුද්ධයක් ඇති වුණා. එම අවස්ථාවේදීද ජය පරාජයට මූලිකවම බලපෑවේ කාලගුණයයි. පැය කිහිපයක් ඇතුළත සෙබළුන් 70,000කට අධික පිරිසකට තම ජීවිත අහිමි වුණා. ප්‍රංශ නායකයා වූ නැපෝලියන් තම හමුදාව සමඟ එංගලන්තයට විරුද්ධව යුද්ධයට පැමිණ කඳවුරු බැඳගත්තා. පසු දිනයේදී එංගලන්තයට ජර්මනියෙන් උපකාර ලැබෙන බව දැනගත් නැපෝලියන් අඳුර වැටීමට පෙර ජය අත් කරගැනීමට තීරණය කළා. එංගලන්තයට වඩා ප්‍රංශයට විශාල හමුදා භට පිරිසක් සිටි නිසා බැලූ බැල්මට ජයග්‍රහණය තිබුණේ නැපෝලියන් අතේයි.

යුද්ධයට පෙර දිනයේදී ධාරානිපාත වැසි ඇද හැලෙන්න පටන්ගත්තා. නැපෝලියන් සැලසුම් කරගෙන සිටියේ ඉක්මන් ජයග්‍රහණයක් ලැබීම සඳහා හිමිදිරියේම යුද්ධය ඇරඹීමටයි. නමුත් වර්ෂාව නිසා ඔහුගේ සැලසුම ක්‍රියාත්මක කිරීම පැය කිහිපයකින්ම ප්‍රමාද වුණා.

මෙතරම් ප්‍රමාද වීමට මූලික හේතුව වුණේ කුමක්ද? අධික වර්ෂාව නිසා පොළොව මඩ වගුරක් වී තිබීමයි. නැපෝලියන් බලාපොරොත්තු වුණේ ඔහුගේ කාලතුවක්කුවලින් උපරිම ප්‍රයෝජන ගැනීමටයි. නමුත් පොළොව මඩ වී තිබුණු නිසා ඒවා නිසි ලෙස හැසිරවීමට හැකි වුණේ නැහැ. ඒ වගේම කාලතුවක්කු උණ්ඩ සාදා තිබුණේ වරක් බිම වැටුණු පසුව නැවත වතාවක් එය උඩින් ගොස් තවත් ස්ථානයකට වැටෙන ආකාරයටයි. නමුත් මඩ තට්ටුව නිසා උණ්ඩ වරක් වැටුණු පසුව එතැනම නතර වුණා. එයත් නැපෝලියන්ගේ ජයග්‍රහණයට බාධාවක් වුණා. අවසානයේදී ඔහු පරාජය වුණ අතර ඔහුවද අල්ලාගනු ලැබුවා. නැපෝලියන්ගේ අරමුණට වර්ෂාව බාධා නොකළා නම් අද අපි දන්නා ඉතිහාස කතාව මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණා.

මෙතෙක් අපි සාකච්ඡා කළ සිදුවීම් දෙකෙන් පැහැදිලි වන්නේ ඉතිහාසයේ සමහර සිදුවීම් කණපිට පෙරළීමට කාලගුණය හේතු වූ බවයි. ඒ වගේම මේ අවස්ථා දෙකේදීම ජය ලැබුණේ එංගලන්තයටයි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයක් බවට පත් වීමට මේ ජයග්‍රහණත් හේතු වුණා.

[24වන පිටුවේ පින්තූරය]

ස්පාඤ්ඤ නැව් සමූහය

[හිමිකම් විස්තර]

© 19th era/​Alamy

[25වන පිටුවේ පින්තූරය]

වෝටර්ලූහි සටන

[හිමිකම් විස්තර]

© Bettmann/​CORBIS