Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

ඇමසන් වනයේ සැඟවුණු ජීවිත (2010 අප්‍රියෙල්) අගුආරුනා ගෝත්‍රිකයන් දෙවිවරුන් පස්දෙනෙකුට නමස්කාර කරන බව ඔබේ ලිපියේ සඳහන් වුණා. මමත් ඒ ගෝත්‍රයට අයත් කෙනෙක්. නමුත් අපි දෙවිවරුන් පස්දෙනෙකුට නමස්කාර කරන්නේ නැහැ. අගුආරුනා ගෝත්‍රිකයන්ගෙන් බහුතරයක් ක්‍රිස්තියානීන්. අපේ ගෝත්‍රිකයන් ඔබේ සඟරා නිතර කියවන නිසා එම වැරැද්ද නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි.

පේරු රටේ ටී. පී. ටී

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: අපේ ලේඛකයා තොරතුරු ලබාගත්තේ කලින් අගුආරුනා ගෝත්‍රිකයන් සමඟ ජීවත් වූ අයගෙන් සහ ඔවුන් ගැන ඇති මුද්‍රිත ප්‍රකාශනවලිනුයි. ඉන් එක් ප්‍රකාශනයක අගුආරුනා ගෝත්‍රිකයන්ගේ දෙවිවරුන් පස්දෙනෙකුගේ නම් සහ ඔවුන් ගැන විස්තර පවා සඳහන් වුණා. (Atlas Regional del Perú, 2004 Edition) කෙසේවෙතත් ඔබ සඳහන් කරන පරිදි සමහර ගෝත්‍රිකයන් දැන් ක්‍රිස්තියානි ආගම වැලඳගෙන තිබෙනවා. අපේ ලිපිය යම් වැරදි වැටහීමක් ඇති කිරීමට හේතු වුණා නම් ඊට සමාව අයැද සිටිමු.

ගොතගැසීමේ ගැටලුවට මුහුණ දීම (2010 මැයි) ඒ ලිපියට බොහොම ස්තුතියි! මම ඒ ගැටලුවට මුහුණ දෙන කෙනෙක්. ඒ නිසා මට හරි පාළුවක් දැනෙනවා. නමුත් මෙම ලිපිය කියවීමෙන් පසුව රෆායෙල් වගේ, වචනයක් ගොතගැහෙන කොට ටිකක් හිනා වෙලා ඒක ආපහු කියන්න උත්සාහ කරන්න ඕනේ කියලා හිතුවා.

ජපානයේ වයි. එස්

යෞවන අය අසති . . . මම ඇත්තටම වටිනා කෙනෙක්ද? (2010 මැයි) මට වයස අවුරුදු 12යි. මට ඉන්නේ අම්මා විතරයි. අම්මත් අසනීපෙන්. මෙම ලිපියේ “අන් අය ඔබ ගැන සැලකිලිමත් කියා ඔබට හැඟෙනවාද” කියන ප්‍රශ්නය දැක්කම මට හුඟක් දුක හිතුණා. මට හැඟුණේ කවුරුත් මට ආදරේ කරන්නේ නැහැ කියලයි. ඒ නිසා මම ඒ ගැන අම්මා එක්කත් අපේ සභාවේ වැඩිහිටි අය කිහිපදෙනෙක් එක්කත් කතා කළා. මම වටිනා කෙනෙක් කියලත් මට ආදරය කරන හුඟක් අය ඉන්නවා කියලත් තේරුම්ගන්න ඒ ලිපිය මට උපකාරවත් වුණා. යෙහෝවා දෙවි අපි වගේ පොඩි අය ගැනත් සැලකිලිමත් වෙනවා කියලා තේරුම්ගන්න මට උපකාර කළාට ඔබට හුඟක් ස්තුතියි.

ප්‍රංශයේ සී. එච්

අතීතයේ මා ලැබූ වේදනාකාරී අද්දැකීම් ගැන මට තියෙන දුක තුනී කරගන්නත් මම වටිනා පුද්ගලයෙක් කියන හැඟීම ඇති කරගන්නත් ඒ ලිපිය මට උපකාරවත් වුණා. එහි තිබුණු යෝජනා තුන මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ටිකක් ඉරුණු මුදල් නෝට්ටුව ගැන උදාහරණය විශේෂයෙන්ම මගේ සිතට කාවැදුණා. ඒ කදිම ලිපියට ඔබට ස්තුතියි!

දකුණු කොරියාවේ එස්. ඩබ්ලිව්