කෙළවරක් නැති දුක් කරදර
කීයූ නම් තැනැත්තාගේ දුක් කරදර පටන්ගත්තේ ඔහුගේ පියාගේ මරණයත් සමඟයි. ඔවුන්ගේ ගව රැළ ළඟපාත වගාවකට හානි කිරීම හේතුවෙන් පියාව මරා දමණු ලැබුවා. පසුව සෙබළුන් පිරිසක් විසින් ඔහුගේ අම්මවත් සහෝදරියන් දෙදෙනාවත් ඝාතනය කළා. ඒ වගේම බිම්බෝම්බයකට හසු වීමෙන් ඔහුගේ එක් පාදයක්ද අහිමි වුණා. ඔහු පවසන්නේ “මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ” කියායි.
මිනිසුන්ට දුක් කරදර පැමිණෙන්නේ කිසිම භේදයකින් තොරවයි. ස්වභාවික විපත්, අපරාධ හා ලෙඩ රෝග ඊට කදිම උදාහරණයි. මිනිසාට සහනයක් ගෙන ඒමට විවිධ සංවිධාන උත්සාහ කරනවා. නමුත් ඒවා සාර්ථක වී තිබෙනවාද?
උදාහරණයකට ආහාර හිඟකම් නැති කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵල ගැන සලකා බලමු. ඒ ගැන එක් පුවත්පතක මෙවැනි දෙයක් සඳහන් වුණා. ස්වභාවික විපත් නිසා බොහෝ අයට උන්හිටි තැන් අහිමි වීම පමණක් නොව ආහාර හිඟකම්වලටද මුහුණ දීමට සිදු වී තිබෙනවා. ආහාර ප්‍රශ්නයට විසඳුමක් ගෙනෙන්න විවිධ සංවිධාන උත්සාහ කළත් දූෂණය නිසා ඒවා කඩාකප්පල් වෙනවා.—Toronto Star.
දේශපාලනික, සමාජීය හා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, දුක් වේදනා නැති කිරීමට පෙරමුණ ගත්තත් ඒවායින් ලැබී තිබෙන ප්‍රතිඵල ඉතා අල්පයි. උදාහරණයකට ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වුණත් දිලිඳුකම තුරන් වී නැහැ. වෛද්‍ය ක්ෂේත්‍රය කොතරම් දියුණු වුණත් ලෙඩ රෝග නැති වී නැහැ. ඒ වගේම ආරක්ෂක අංශ තර වී තිබුණත් අපරාධවල අඩුවක් නැහැ.
ඇත්තටම මෙතරම් දුක් වේදනා පවතින්නේ ඇයි? අපිට පිහිට වීමට කිසි කෙනෙක් නැද්ද? බොහෝ අය එම ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයෙන් සොයාගෙන තිබෙනවා. අපිත් ඒවා ගැන සොයා බලමු.