Skip to content

පටුනට යන්න

රිය අනතුරු වළක්වාගනිමු!

රිය අනතුරු වළක්වාගනිමු!

රිය අනතුරු වළක්වාගනිමු!

අධි වේගයෙන් ආ වාහනයක් පාර හරහා ගොස් අසල තිබූ කණුවක ගැටුණා. විශාල ශබ්දයක් සමඟම වීදුරු කැබලි පාර පුරා විසිරී ගියා. එවැනි සිදුවීම් අප ඕනෑම කෙනෙක් දැක ඇති. සමහරවිට එවැනි අද්දැකීමක් ඔබට තිබෙනවා නම් එය කවදාවත් ඔබට අමතක වෙන එකක් නැහැ. එක් වාර්තාවක සඳහන් වුණේ “සෑම වසරකම රිය අනතුරුවලින් මිනිසුන් මිලියන 1.2ක් මිය යන අතර මිලියන 50ක් තුවාල ලබන” බවයි.

ඔබත් රිය පදවන කෙනෙක් නම් ඔබෙත් අන් අයගෙත් ජීවිත ආරක්ෂා කරගත හැකි ආකාරය දැන් අපි සලකා බලමු.

වේගය, ආසන පටි, දුරකථනය

සෑම රටකම වගේ රිය පැදවීමේ වේගය සම්බන්ධයෙන් යම් නීති තිබෙනවා. එවැනි සීමා දමා තිබෙන්නේ අපේම ආරක්ෂාව සඳහායි. නමුත් අපේ පෞද්ගලික වාසියක් සඳහා අප එම සීමාවන් ඉක්මවා යනවා නම් කුමක් සිදු විය හැකිද? සමහරවිට ඔබට යම් ස්ථානයකට විනාඩි කිහිපයකට කලින් යෑමට හැකි වෙයි. නමුත් විනාඩි කිහිපයක් වෙනුවෙන් ඔබෙත් අන් අයගෙත් ජීවිතවලට යම් අවදානමක් ගැනීම අවශ්‍යද?

වාහනයක ආසන පටි සවි කර තිබෙන්නේ ගමන් කරන්නන්ගේ ආරක්ෂාවටයි. වර්ෂ 2005 සිට 2009 අතර කාලය තුළ ආසන පටි පැළඳීම නිසා ඇමරිකාවේ පමණක් 72,000කටත් අධික පිරිසකගේ ජීවිත ආරක්ෂා වූ බව වාර්තා වෙනවා. ඒ වගේම නවීන පන්නයේ වාහනවල ආසන පටිවලට අමතරව වායු බෑග්ද (air bag) සවි කර තිබෙනවා. නමුත් ආසන පටි පැළඳ සිටියේ නැත්නම් හදිසි අනතුරකදී ඉන් බලාපොරොත්තු වන තරම් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආසන පටි පැළඳීම අත්‍යවශ්‍යයි. ඊට අමතරව වාහනය පදවන විට ජංගම දුරකථනය භාවිතයෙන්ද වළකින්න.

සැලකිලිමත් වන්න

වැසි දවසක මෙන්ම මඩ හෝ බොරලු සහිත මාර්ගයක ගමන් කරන විට මාර්ගය ලිස්සීමට ඉඩ තිබෙනවා. ඒ නිසා එවැනි මාර්ගයක ගමන් කරන විට වේගය අඩු කරන්න. අනික් අතට සමහර රටවල අය හිම සහිත පාරවල ගමන් කිරීමේදී ඊට සරිලන ටයර් භාවිත කරනවා.

බොහෝවිට රිය අනතුරු අධිකව සිදු වන ස්ථානයක් වන්නේ මංසන්ධියි. ඒ ගැන එක් රියදුරු පුහුණුකරුවෙක් මෙවැනි අදහසක් පළ කළා. මංසන්ධියක තිබෙන විදුලි සංඥා පුවරුවේ කොළ වර්ණය දැල්වුණු සැණින් වාහනය ඉදිරියට ගන්න එපා. තත්පර කිහිපයක් ඉවසන්න. ඊට හේතුව වම් පසින් හෝ දකුණු පසින් තිබෙන වාහනයක්, විදුලි සංඥාව නොසලකා ඉදිරියට පැමිණියොත් ඔබේ වාහනයේ ගැටී අනතුරක් විය හැකි නිසයි.

රිය අනතුරු වළක්වාගැනීම සඳහා වාහනය හොඳ තත්වයක තබාගැනීමත් අත්‍යවශ්‍යයි. උදාහරණයකට ජනාකීර්ණ මාවතක ඔබ ධාවනය කරමින් සිටින අතරතුර වාහනයේ තිරිංගවල යම් දෝෂයක් ඇති වුණොත් කුමක් සිදු වෙයිද කියා සිතා බලන්න. ඒ නිසා කලින් කලට ඔබේ වාහනයේ තත්වය පරීක්ෂා කර අවශ්‍ය සකස් කිරීම් කරගැනීමට මතක තබාගන්න.

බීමත්ව රිය පැදවීම

හොඳ රියදුරෙක් වුණත් බීමත්ව රිය පදවනවා නම් එය ඉතාමත් භයානකයි. වර්ෂ 2008දී රිය අනතුරු නිසා ඇමරිකාවේ 37,000දෙනෙකුට වඩා මිය ගියා. ඊට තුනෙන් එකකටම හේතු වී තිබෙන්නේ බීමත්ව රිය පැදවීමයි. මත්පැන් සුළු ප්‍රමාණයක් පානය කර තිබුණත් ඉන් සිදු විය හැකි හානිය විශාලයි. ඒ නිසා සමහර අය කිසිවිටෙක මත්පැන් පානය කර වාහන පදවන්නේ නැහැ.

මාර්ග නීතිවලට කීකරු වීම, ආසන පටි භාවිත කිරීම, වාහනය හොඳ තත්වයක තබාගැනීම හා රිය පැදවීමට පෙර මත්පැන් නොගැනීමෙන් බොහෝ අනතුරු වළක්වාගත හැකියි. ඒ වගේම ජීවිත ගණනාවක් රැකගැනීමටත් හැකියි. නමුත් එය ඔබ සම්බන්ධයෙන් සැබෑවක් වන්නේ ඔබත් එම කාරණා අදාළ කරගන්නවා නම් පමණයි. ඒ නිසා එම කරුණු අදාළ කරගනිමින් ඔබෙත් අන් අයගෙත් ජීවිත ආරක්ෂා කිරීමට උත්සාහ කරන්න.

[11වන පිටුවේ කොටුව/පින්තූරය]

මදක් නවතින්න!

“නිදි කිරමින් රිය පැදවීමත් බීමත්ව රිය පැදවීමත් එක හා සමානයි” කියා නින්ද ගැන පර්යේෂණ පවත්වන ඇමරිකාවේ එක් ජාතික ආයතනයක් පැවසුවා. රිය පදවන විට නිදිමත ඇති වෙනවාද කියා හඳුනාගැනීම අපහසුයි. නමුත් ඒ බව දැනගැනීමට පහත සඳහන් කරුණු ඔබට උපකාරවත් වෙයි. *

දිගින් දිගටම ඈනුම් යෑම

හිස කෙළින් තබාගෙන සිටීමට අපහසු වීම

ඕනෑකමින් ඇසිපිය ගැසීම

පසු කරමින් පැමිණෙන ස්ථාන අමතක වීම

මාර්ග සංඥා අමතක වීම

වාහනය ඒ මේ අත යන බවක් දැනීම

එම ලක්ෂණ ඔබට දැනුණොත් වහාම වාහනය පැදවීමට වෙන කෙනෙකුට දෙන්න. නැත්නම් මදක් නතර වී සුළු විවේකයක් ගන්න. එසේ කිරීමෙන් ඔබේ ගමන මදක් ප්‍රමාද වුණත් ජීවිත හානියකින් වැළකීම ගැන ඔබ සතුටු වෙයි.

[පාදසටහන]

^ 16 ඡේ. මෙම තොරතුරු ලබාගත්තේ National Sleep Foundation ආයතනයෙනුයි.