Skip to content

පටුනට යන්න

වසර පුරා කාර්යබහුල එඬේරුන්

වසර පුරා කාර්යබහුල එඬේරුන්

වසර පුරා කාර්යබහුල එඬේරුන්

ලොව පුරා සිටින එඬේරුන් බලාගන්නා බැටළුවන්ගේ සංඛ්‍යාව බිලියනයකටත් වඩා වැඩියි. උදාහරණයකට වේල්ස් රටේ ජනගහනය මෙන් තුන් ගුණයක් සිටින්නේ බැටළුවනුයි. උන්ව බලාගැනීමට අධික වෙහෙසක් දැරීමට සිදු වුණත් එඩේරෙකු ඉන් ලබන්නේ පුදුමාකාර සතුටක්. ඒ ගැන වේල්ස්හි එඬේරුන් වන ගර්වින්, යොවාන් හා රියෑන්ගෙන් අසා දැනගැනීමට ඔබ කැමති ඇති.

අලුත් පැටවුන්

සාමාන්‍යයෙන් බැටළුදෙනුන් පැටවුන් බිහි කරන්නේ වසන්ත සමයේදීයි. මේ කාලයේදී එඬේරුන් දිවා රෑ නොබලා වැඩ කරනවා.

ගර්වින්: “මේ කාලයේදී අපිට වැඩ වැඩි වුණත් අපි ලොකු ප්‍රීතියක් අද්දකිනවා. බොහෝ එඬේරුන්ට බැටළුවන්ව බලාගැනීමට හොඳින් පුහුණු කරන ලද බල්ලෙක් ඉන්නවා. විශේෂයෙන්ම මට මේ කාලයේදී උගෙන් ලැබෙන සහයෝගය වචනවලින් විස්තර කරන්න බැහැ.”

යොවාන්: “පැටවෙක් බිහි වෙනවා දකින එක මට අලුත් දෙයක් නොවුණත් මම ඒකෙන් ලොකු සතුටක් අද්දකිනවා.”

ලොම් කපන කාලය

බැටළුවන්ගේ ලොම් කපන්නේ ගිම්හාන කාලයේදීයි. බැටළුවාගේ වර්ගයට අනුව ලොම් කිලෝ දහයක් කපන අවස්ථාත් තියෙනවා. සමහර එඬේරුන් දවසකට බැටළුවන් 250කගේ විතර ලොම් කපනවා.

රියෑන්: “ඉස්සෙල්ලාම බැටළුවාගේ වල්ගය හරියේ තියෙන අපිරිසිඳු ලොම් ටික කපලා ඉවත් කරනවා. ඊටපස්සේ විශේෂ උපකරණයක් භාවිත කරලා සම්පූර්ණයෙන්ම ලොම් ටික කපනවා. පළපුරුදු එඩේරෙකුට නම් විනාඩි දෙකකින් මේක කරන්න පුළුවන්. ඊටපස්සේ ලොම් පිරිසිදු කරලා ගෝණිවලට දාලා විකුණන්න ගෙනියනවා.”

හිම වැටෙන කාලයට තණකොළ නැති නිසා කලින්ම එඩේරුන් තණකොළ කපාගෙන වේළාගන්නවා. මේ වැඩේ කරන්නේ පවුලේ අයගෙත් හිත මිතුරන්ගෙත් සහයෝගයෙනුයි.

යොවාන්: “තණකොළ කැපුවට පස්සේ තණ පිට්ටනියේ ඇවිදින්න යන්න මම හරිම ආසයි.”

අලුත් පරම්පරාවක ආරම්භය

කිරි වෑරූ පැටවුන්ව මවගෙන් වෙන් කරන්නේ ගිම්හාන කාලයේදීයි.

යොවාන්: “තණ පිට්ටනිවල සීමා මායිම් නැහැ. නමුත් අපිට අයිති නැති ඉඩම්වලට අපේ බැටළුවන් යන්නෙත් නැහැ. උන් ලේසියෙන් නැති වෙන්නෙත් නැහැ. උන් අපේ මායිම කොතනද කියලා හොඳට දන්නවා. බැටළුදෙනුන් ඒක ඉගෙනගන්නේ එඩේරාගෙන්. ඊටපස්සේ පැටවුන් මවගෙන් ඒක ඉගෙනගන්නවා. කලාතුරකින් හරි බැටළුවෙක් නැති වුණොත් ඌව හම්බවෙනකම් අපි දවස් ගාණක් වුණත් හොයනවා.”

රැළට අවශ්‍ය පිරිමි සතුන්ව මිල දී ගන්නේ මේ කාලයේදීයි. ගැහැනු සත්තු 25ක් හෝ 50කට එක හොඳ පිරිමි සතෙක් අවශ්‍යයි.

පිරිමි සතුන්ව රැළට එකතු කර සති දහයක් දොළහක් ගිය පසුව ගැහැනු සතුන් ස්කෑන් පරීක්ෂණයකට ලක් කරනවා. ඉන්පසුව පැටව් දෙතුන් දෙනෙක් පිළිසිඳගෙන ඉන්න බැටළුදෙනුන්ව වෙන් කරලා උන්ට විශේෂ සැලකිල්ලක් හා වැඩිපුර කෑම දෙනවා. වඳ සතුන්ව විකුණනවා.

විශේෂ සැලකිල්ලක් ලැබෙන කාලය

සීත කාලයේදී එඬේරාගේ කාලයෙන් වැඩි හරියක් ගෙවෙන්නේ බැටළුවන් සමඟයි. ගැබ්ගෙන සිටින සතුන්ට විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ වගේම තණපිට්ටනිවල තණකොළ නැති නිසා සතුන්ට ප්‍රමාණවත් ආහාර තිබෙන බවට එඬේරා වගබලා ගත යුතුයි.

ගර්වින්: “මේ කාලයේදී බැටළුවන්ට අවශ්‍ය ආහාර හා ආරක්ෂාව ලබා දීම එඩේරාගේ වගකීමයි.”

රියෑන්: “අවුරුද්දේ විවිධ කාලවල පරිසරයෙත් සතුන්ගෙත් ඇති වන පුදුමාකාර වෙනස්කම්, මට ගෙන දෙන්නේ කියා නිම කරන්න බැරි සතුටක්. එඩේරෙක් හැටියට මගේ බැටළුවන්ව ආදරයෙන් බලාගන්න කරන වැඩ කොටස දිගටම මාව සතුටින් තියනවා.”

[12වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

උතුරු අයර්ලන්තය

අයර්ලන්තය

ස්කොට්ලන්තය

වේල්ස්

එංගලන්තය

[14වන පිටුවේ පින්තූරය]

යොවාන් හොඳ පිරිමි සතෙකුව තෝරාගන්නවා

[14වන පිටුවේ පින්තූරය]

ගර්වින් සහ ඔහුගේ බල්ලා