Skip to content

පටුනට යන්න

මන බඳිනා ගීයක නොදුටු වරුණ

මන බඳිනා ගීයක නොදුටු වරුණ

මන බඳිනා ගීයක නොදුටු වරුණ

සංගීතයට අද සමාජය තුළ තිබෙන්නේ විශාල ඉල්ලුමක්. ඒ නිසා සංගීතය අද දැවැන්ත ව්‍යාපාරයක් බවටද පත් වී හමාරයි. ඒ වගේම දවසින් දවස තාක්ෂණයත් හිණි පෙත්තටම නඟින නිසා එය සංගීතයට විශාල පිටුවහලක් වී තිබෙනවා. සංගීතය අද ලෝකය පුරාම කොතරම් ජනප්‍රිය වී තිබෙනවාද කියනවා නම් අද බොහෝදෙනාගේ සිහිනය වී තිබෙන්නේ සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තරුවක් වීමයි. නමුත් එය සිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ඊට හේතුව ගීතයක් ජනප්‍රිය කරගැනීම පිටුපස විශාල වැඩකොටසක් තිබීමයි. දැන් අපි එය පියවරෙන් පියවර සලකා බලමු.—“සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක්” නමැති කොටුව බලන්න.

පද රචනය හා තනුව

මුලින්ම (1) ගීත රචකයන්, ප්‍රේක්ෂකයන්ගේ හද බැඳගන්නා වචන යොදාගනිමින් අර්ථවත් ගීතයක් රචනා කරයි. බොහෝවිට ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇදගන්නා මාතෘකාවක් වන්නේ ආදරයයි. පද රචනයෙන් පසුව රසිකයන්ගේ හදේ රැඳෙන තනුවක් නිර්මාණය කරනවා.

ඉන්පසුව ගීත රචකයා එම ගීතය පෙරහුරු පටිගත කිරීමක් කර, එය පටිගත කරන ආයතනයකට ලබා දෙනවා. එයට හොඳ රසික ප්‍රතිචාරයක් ලැබෙයි කියා ඔවුන්ට සිතුණොත් ඔවුන් (2) ඔහු සමඟ ගිවිසුමක් අත්සන් කරනවා. නමුත් සමහර අවස්ථාවලදී එම ගීතය මිල දී ගෙන වෙනත් ජනප්‍රිය ගායකයෙකු ලවා පටිගත කිරීමට ආයතනය තීරණය කළ හැකියි.

පටිගත කිරීම

ඊළඟට සිදු කරන (3) පටිගත කිරීමේ ක්‍රියාවලියද එතරම් පහසු කාර්යයක් නොවෙයි. ඒ නිසා පටිගත කිරීමේ ආයතන විසින් පළපුරුදු අධ්‍යක්ෂකවරයෙකුව තෝරාගන්නවා. ඒ වගේම සුදුසු ශබ්දාගාරයක්ද අවශ්‍යයි. පසුව සංගීත භාණ්ඩ, වාදකයන් හා පසුබිම් ගායකයන්වද යොදාගනිමින් පටිගත කිරීම ආරම්භ කරනවා.

සාමාන්‍යයෙන් එක් එක් සංගීත භාණ්ඩවල වාදන, ගායකයාගේ හා පසුබිම් ගායකයන්ගේ කොටස්ද පටිගත කරන්නේ වෙන වෙනමයි. පසුව සියලුම පටිගත කිරීම් එකතු කර (4) ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් ගීතය සම්පූර්ණ කරනවා.

ප්‍රචාරණ කටයුතු

ගීතයක් පටිගත කළ පසු එය ප්‍රසිද්ධ කිරීම සඳහා පටිගත කරන ආයතන මගින් ගීතයට සරිලන (5) රූප රචනයක් කරනවා. ගීතය හා ගායකයා ජනතාව අතර ඉතා ජනප්‍රිය වීමට බොහෝවිට බලපාන්නෙත් මෙම රූප රචනයයි. ඒ වගේම ඔවුන්ට ඉන් විශාල ආදායමක්ද ලැබෙනවා.

තම අලුත්ම ගීත එකතුව ජනතාව අතට පත් කරන තවත් ක්‍රමයක් ලෙස ඔවුන් භාවිත කරන්නේ (6) සංගීත ප්‍රසංගයි. ඒ වගේම බොහෝ ගායකයන් තමන්ටම කියා (7) වෙබ් අඩවිද නිර්මාණය කරගෙන තිබෙනවා. මෙම වෙබ් අඩවි මාර්ගයෙන් ගායකයාගේ ගීත, ඡායාරූප, සංගීත ප්‍රසංග හා ගීත ඇල්බම් මිල දී ගැනීම පිළිබඳ තොරතුරු දැනගත හැකියි.

ගීත රචකයන්, ගායකයන් හා පටිගත කරන ආයතන ගීතයක් ජනප්‍රිය කරවීම සඳහා ලොකු වෙහෙසක් දරනවා. නමුත් එය ජනප්‍රිය වෙනවාද නැද්ද කියා තීරණය වන්නේ ප්‍රේක්ෂක ඔබ ඊට දක්වන ප්‍රතිචාරය මතයි. ගීතයක්, කෙනෙකුගේ සිතුවිලිවලට ලොකු බලපෑමක් කළ හැකි නිසා ප්‍රේක්ෂකයෙක් වශයෙන් ඔබ තෝරාගත යුතු ගීත ගැන කල්පනාකාරී වීම අවශ්‍යයි. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මන්ද ජීවනය නික්මෙන්නේ එයින්ය.”—හිතෝපදේශ 4:23.

ගීතයක් තෝරාගැනීමේදී ඔබට කල්පනාකාරී විය හැක්කේ කෙසේද? ඒ වගේම නුසුදුසු සංගීතයෙන් ආරක්ෂා වීමට දෙමාපියන්ට තම දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද? ඊළඟ ලිපිය ඒ ගැන සාකච්ඡා කරයි.

[6වන පිටුවේ කොටුව]

සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක්

තාක්ෂණයේ ඇති වී තිබෙන දියුණුව, සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කිරීමට හේතු වී තිබෙනවා. දැන් ගායකයෙකුට තම නිවසේදීම ගීයක් පටිගත කර අන්තර්ජාලය හරහා ලොව පුරා සිටින තම රසික රසිකාවියන්ට බෙදා දිය හැකියි. එක් සඟරාවක පවසා තිබුණේ අද සිටින ජනප්‍රිය ගායකයන් හා සංගීතඥයන් පවා මේ ක්‍රමය භාවිත කරන බවයි.—The Economist.