Skip to content

පටුනට යන්න

තුරු අතර සැඟවුණු ඇල්ලක්!

තුරු අතර සැඟවුණු ඇල්ලක්!

තුරු අතර සැඟවුණු ඇල්ලක්!

“මර්චිසන් ඇල්ල, නයිල් නදියේ දැකුම්කලුම දිය ඇල්ලයි.”—ඉංග්‍රීසි ජාතික දේශගවේශකයෙකු වූ ශ්‍රීමත් සැමුවෙල් වයිට් බේකර්

දිය ඇල්ලක් අපේ නෙතට මොන තරම් ප්‍රියකරුද! එහි දිය කඳ පහළට කඩා වැටෙන විට නැඟෙන හඬ අවට පරිසරය දෙවනත් කරනවා. එයින් විසිරී යන හිරිකඩ, අවට සිටින අයගේ ගත වෙලාගන්නේ සිනිඳු සේද ඇතිරිල්ලක් වගෙයි. එම පහස විඳගන්න අප අතරින් අකමැති කවුද!

එවැනි සුන්දරත්වයක් විඳිය හැකි දිය ඇල්ලක් උගන්ඩාවේද තිබෙනවා. කිලෝමීටර් 6,400කටත් වඩා දිග නයිල් ගඟ උගන්ඩාව හරහා ගලා ඇවිත් ඉතා අලංකාර දිය ඇල්ලක් ලෙස කඩා හැළෙනවා. එය හඳුන්වන්නේ මර්චිසන් දිය ඇල්ල ලෙසයි. * එය දකුණු ඇමරිකාවේ ඒන්ජල් දිය ඇල්ල තරම් උසවත් අප්‍රිකාවේ වික්ටෝරියා දිය ඇල්ල සහ උතුරු ඇමරිකාවේ නයගරා දිය ඇල්ල තරම් විශාලවත් නැහැ. ඒ වුණත් මර්චිසන් දිය ඇල්ලටද විශේෂ තැනක් හිමි වී තිබෙනවා. ඒ ඇයි කියා ඔබ මේ ලිපියෙන් දැනගනියි.

දිය ඇල්ලේ වතගොත

මර්චිසන් දිය ඇල්ල තිබෙන්නේ උගන්ඩාවේ වයඹදිගින් පිහිටි ජාතික වනෝද්‍යානයකයි. වර්ෂ 1952දී මහජනයා සඳහා විවෘත කරන ලද මෙම වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 3,841ක් පුරා පැතිරී තිබෙනවා. වර්ෂ 1860ගණන්වලදී, දේශගවේශකයෙකු වූ බේකර් ඔහුගේ සංචාරයේදී දුටු මෙම දිය ඇල්ල ගැන සඳහන් කරනවා.

ඔහු ලියූ පොතේ ඒ ගැන සඳහන් වෙන්නේ මෙසේයි. “අපි ඇවිදගෙන යමින් සිටි විට වංගුවක් හමු වුණා. එයින් හැරෙනවාත් සමඟම අපේ නෙත ගැටුණේ ඉතා අලංකාර දසුනක් වෙතයි. එය විශාල දිය ඇල්ලක්. එහි ජල කඳ හිම මෙන් සුදුයි. දෙපස තිබුණු පර්වත නිසා දිය ඇල්ලේ සුද තව තවත් කැපී පෙනුණා. ඒ වගේම අවට තිබූ පාම් ගස් සහ කෙසෙල් පඳුරු ඒ පරිසරයට එක් කර තිබුණේ පුදුමාකාර අලංකාරයක්. මෙම දිය ඇල්ල, නයිල් නදියේ දැකුම්කලුම දිය ඇල්ලයි.” බේකර් විසින් පසුව මෙම දිය ඇල්ල මර්චිසන් ලෙස නම් කළා.

ඇල්ලේ සිරි නරඹමු

මර්චිසන් දිය ඇල්ල නැරඹීමට බෝට්ටුවකින් යනවා නම් එය රසවත් අද්දැකීමක් වෙනවා නොඅනුමානයි. මේ ගමනේදී අලි හා මීහරක්ද වතුරේ බැස සිටින හිපපොටේමස්ද ගං ඉවුර දිගේ අව්ව තපිමින් සිටින කිඹුල්ලුන්වද දැකගැනීමට හැකි වෙනවා. මේ සියල්ල පසු කරමින් යන විට අවසානයේදී හමු වන්නේ මර්චිසන් දිය ඇල්ලයි. ඈතට එය දිස් වන්නේ සුදු වතින් සැරසී, මනාලයා එනතෙක් බලා සිටින ප්‍රියකරු මනාලියක් වගෙයි.

දිය ඇල්ල ඉහළ සිට නැරඹිය හැකි නම් එයද අපූරු අද්දැකීමක් වෙයි. පළල මීටර් 49ක් පමණ වන නයිල් ගඟ මෙම ස්ථානයේදී මීටර් හයක් තරම් කුඩා වෙනවා. එතැනින් මෙම මහා ජල කඳ මීටර් 40ක් පමණ පහළට කඩා හැළෙනවා. මර්චිසන් දිය ඇල්ලේ පිහිටීම හේතුවෙන් එය “ලෝකයේ ප්‍රබලත්වයෙන් වැඩි දිය දහරාවලින් එකක්” ලෙස හඳුන්වනවා. එය කොතරම් ප්‍රබලද කියනවා නම් නරඹන්නෙකුට පොළොව මතුපිට ඇති වන දෙදරීමක්ද දැනිය හැකියි.

මෙම දිය ඇල්ල දැකීමට පෙර එහි හඬ බේකර්ට ඇසුණේ අහස ගොරවනවා වගෙයි. නමුත් එය ඇල්ල නිසා ඇති වන හඬක් බව දැනගත් පසුව ඔහු පුදුම වුණා.

බේකර් මෙන්, සෑම වසරකම දහස් ගණන් සංචාරකයන් මෙම මනාලියව දැකගැනීමට පැමිණෙනවා. ඔවුන් එම මනාලියට මොන තරම් ප්‍රිය කරනවාද කියනවා නම් අවසානයේදී ඇයට සමු දෙන්නේ සිතකින් නොවෙයි.

[පාදසටහන]

^ 4 ඡේ. එය කබලේගා හා කබරේගා ලෙසත් හඳුන්වනවා.

[17වන පිටුවේ කොටුව/පින්තූරය]

මර්චිසන් ඇල්ල වනෝද්‍යානය

වර්ෂ 1969දී කරන ලද ගණනයකින් හෙළි වුණේ මෙම වනෝද්‍යානයේ හිපපොටේමස් 14,000ක්ද, අලි 14,500ක්ද, මී හරක් 26,500ක්ද ජීවත්වෙන බවයි. නමුත් කාලයත් සමඟම මෙම සතුන්ගේ විශාල අඩු වීමක් දැකගන්න ලැබුණා. කෙසේවුවත් මෑතක සිට වනසතුන් සංරක්ෂණය කිරීමට ගත් පියවර නිසා නැවතත් එම සංඛ්‍යා ඉහළ යමින් පවතිනවා. ඒ වගේම චිම්පන්සි, බැබූන්, ජිරාෆ් වැනි සතුන්ට මෙම වනෝද්‍යානය කදිම නිවහනක් වී තිබෙනවා. මෙහි ක්ෂීරපායි සත්ව විශේෂ 70කටත් කුරුලු විශේෂ 450කටත් වඩා සිටින බව හඳුනාගෙන තිබෙනවා.

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All photos pages 16 and 17: Courtesy of the Uganda Wildlife Authority