දෙමාපියන්ගෙන් විමසමු!
දෙමාපියන්ගෙන් විමසමු!
දරුවෙකු යෞවන වයසට පැමිණෙන විට එය දෙමාපියන්ට විශාල අභියෝගයක්. ඔබේ දරුවාත් අභියෝග රැසකට මුහුණ දෙනවා. ඔබ දරුවාට උපකාර කරන්නේ කොහොමද? දෙමාපියන් කිහිපදෙනෙකුගේ අද්දැකීම් බලමු.
දරුවාගේ වෙනසක්
“පොඩි කාලේ නම් මම මොකක් හරි උපදෙසක් දුන්නොත් මගේ පුතා ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ඒත් දැන් එයා මම කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. මම කියපු දේ ගැන විතරක් නෙමෙයි කියපු විදිහ ගැනත් එයා ප්‍රශ්න කරනවා.”—බ්‍රසීලයේ ඩොනිසෙටී.
“ඉස්සර වගේ පුතා දැන් අපිත් එක්ක වැඩිය කතා කරන්නේ නැහැ. කලින් එයාගේ හිතේ තියෙන හැම දෙයක්ම අපිට කිව්වා. ඒත් දැන් ඒවා දැනගන්න ප්‍රශ්න දාහක් විතර අහන්න ඕනේ. අහන ප්‍රශ්නවලට පුතා එකපාර උත්තර දෙන්නෙත් නැහැ.”—ඕස්ට්‍රේලියාවේ ෆැන්සිස්.
“ළමයි එක්ක ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. වෙලාවකට එයාලට කෑගහලා බණින්නත් හිතෙනවා. ඒත් ඒක නෙමෙයි හරි ක්‍රමය. එයාලත් එක්ක සන්සුන්ව කතා කරන්න ඕනේ.”—ඇමරිකාවේ ෆිලීෂියා.
අදහස් හුවමාරුව
“වෙලාවකට මට හිතෙනවා දුව මගෙන් හුඟක් ඈත් වෙලා කියලා. දුවට හිතෙන්නේ මම එයාගේ වැරදි හොයනවා කියලයි. ඒ නිසා මම එයාට ආදරෙයි කියලත් එයා සාර්ථක වෙනවා දකින්න මම කැමතියි කියලත් නිතරම මතක් කරලා දෙනවා.”—ඇමරිකාවේ ලීසා.
“පොඩි කාලේ නම් දරුවන් අපිට හැම දෙයක්ම කියනවා. ඒ නිසා එයාගේ හිතේ තියෙන දේවල් දැනගන්න ලේසියි. ඒත් දැන් එයාලා පොඩි ළමයි නෙමෙයි. අපි දැන් එයාලගේ අදහස්වලට ගරු කරන්න ඕනේ. එහෙම කළොත් විතරයි එයාලා භය නැතුව අපිත් එක්ක කතා කරන්නේ.”—කොරියාවේ නෑන්හි.
“යෞවන දරුවෙකුට දෙයක් එපා කියන එක විතරක් මදි. ඊට හේතුවත් කියලා දෙන්න ඕනේ. එයාලා කියන හැම දේටම හොඳින් සවන් දෙන්නත් ඕනේ. එයාලා කියන දේවලට අපි එච්චර කැමති වුණේ නැතත් ඒවාට ඇහුම්කන් දෙන්න වෙනවා.”—බ්‍රසීලයේ ඩලීලා.
“දුවට මොකක් හරි උපදෙසක් දෙන්න වුණොත් මම ඒක අනික් අය ඉස්සරහා දෙන්නේ නැහැ.”—නයිජීරියාවේ එඩ්නා.
“සමහර වෙලාවට මම පුතා එක්ක කතා කරන්නේ ගෙදර වැඩ කරන ගමන්මයි. එතකොට එයා හිතනවා මම එයාට අවධානය දෙන්නේ නැහැ කියලා. සමහරවිට පුතා මාත් එක්ක වැඩිය කතා කරන්න අකමැති ඒ නිසා වෙන්න ඇති. මට හිතෙන්නේ පුතා කතා කරන කොට මම මීට වඩා අවධානය දෙන්න ඕනේ කියලයි.”—මෙක්සිකෝවේ මීරියම්.
නිදහස දීම
“මුලදී මම දරුවන්ට වැඩිය නිදහස දුන්නේ නැහැ. ඒ නිසා දරුවනුයි අපියි අතර ප්‍රශ්න ඇති වුණා. පස්සේ අපි ඒ ගැන සාකච්ඡා කළා. අපි සීමා දාන්නේ එයාලගෙම හොඳටයි කියලා මම දරුවන්ට පැහැදිලි කරලා දුන්නා. දරුවන්ට වැඩි නිදහසක් ඕනේ ඇයි කියලා එයාලා මට කිව්වා. අන්තිමේදී අපි සාධාරණ විසඳුමක් හොයාගත්තා.”—ගානාවේ එඩ්වින්.
“මගේ පුතාට මෝටර් සයිකලයක් ඕනේ කිව්වා. මම ඒකට කැමති වුණේම නැහැ. ඒ ගැන කතා කරන්නවත් මම ඉඩක් දුන්නේ නැහැ. ඒ නිසා පුතා මාත් එක්ක හිටියේ අමනාපයෙන්. එයා ටිකක් හිතුවක්කාරත් වුණා. පස්සේ මම කටයුතු කරන විදිහ වෙනස් කළා. සයිකලයක් ගන්න යන වියදම ගැනත් ඒකෙන් ඇති වෙන්න පුළුවන් අනතුරු ගැනත් නඩත්තු කරන්න යන වියදම ගැනත් සම්පූර්ණ විස්තර හොයලා මට කියන්න කියලා මම එයාට කිව්වා. ඒ ගැන සභාවේ ඉන්න වැඩිහිටි අයගෙන් අහන්න කියලත් මං කිව්වා. ඒකෙන් මම ඉගෙනගත්ත දේ තමයි එයා කියන හැම දේකටම හරස් වෙන්නේ නැතුව එයත් එක්ක ඒ ගැන කතා කරන එක හුඟක් සාර්ථකයි කියලා.”—කොරියාවේ හේයුං.
“අපි දරුවන්ට සීමා දාලා තිබුණා. සමහර දේවල් කරන්න නිදහසත් දුන්නා. දරුවන්ට දීලා තියෙන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නැතුව වැඩ කරද්දී අපි එයාලට තවත් නිදහස දුන්නා. ඒකෙන් අපි පෙන්නුවේ එයාලා හරි විදිහට සතුටු වෙනවට අපිත් කැමතියි කියලයි. හැබැයි එයාලා අපේ විශ්වාසය කඩ කළොත් අපි අනිවාර්යෙන්ම දඬුවම් කළා.”—ප්‍රංශයේ ඩොරති.
“මම කවදාවත් දරුවන්ට දාලා තියෙන නීති වෙනස් කළේ නැහැ. නමුත් දරුවන් කීකරු වෙනවා නම් එයාලට දෙන නිදහස ටිකක් වැඩි කරනවා. හැබැයි නීති කඩ කළොත් දඬුවමෙන් ගැලවෙන්න ලැබෙන්නෙත් නැහැ.”—කොරියාවේ ඉල්කියුං.
“පුතා දන්නවා එයා කීකරු වෙලා වගකීමකින් දේවල් කරනවා නම් අපි එයාට වැඩියෙන් නිදහස දෙනවා කියලා. හැබැයි එයා දුරදිග බලන්නේ නැතුව දේවල් කරනවා නම් එයාට තියෙන නිදහසත් නැති වෙනවා කියලා පුතා හොඳටම දන්නවා.”—මෙක්සිකෝවේ රැමෝන්.
[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත”—හිතෝපදේශ 22:6.
[23වන පිටුවේ කොටුව/පින්තූර]
සැබෑ අද්දැකීම්
“අපිට යෞවන දරුවන් ඉන්න එක ගැන අපි සතුටු වෙනවා”
ජෝසෆ්: මගේ ලොකු දුවලා දෙන්නා දැන් යෞවනියන්. එයාලට කතා කරන්න ඉඩ දෙන කොට එයාලා භය නැතුව අදහස් ප්‍රකාශ කරනවා. මම එයාලගේ අදහස්වලට ගරු කරන නිසා මම හොඳින් ඇහුම්කන් දෙනවා. මගේ අතින් වරදක් වුණොත් ඒක මම පිළිගන්නවා. අපිට යෞවන දරුවන් ඉන්න එක ගැන අපි සතුටු වෙනවා. මේ වගේ සතුටක් අපි අද්දකින්නේ බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරන නිසයි.
ලීසා: ලොකු දුව යෞවන වයසට එන කොට වෙනදටත් වඩා වැඩියෙන් මගේ අවධානය එයාට අවශ්‍යයි කියලා මට තේරුණා. ඒ නිසා ඕනම දේකට අපි එයත් එක්ක ඉන්නවා කියලා තේරුම් කරලා දෙන්න, එයාට සවන් දෙන්න, කතා කරන්න මම හුඟක් කාලය කැප කළා. අපේ දුවලත් දන්නවා අපිත් එක්ක ඕනම දෙයක් කතා කරන්න පුළුවන් කියලා. “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි” කියන බයිබල් උපදෙස මම නිතරම අදාළ කරගත්තා.—යාකොබ් 1:19.
වික්ටෝරියා: අම්මා තමයි මගේ හොඳම යාළුවා. ඒ වගේ හොඳ කෙනෙක් මං කවදාවත් දැකලා නැහැ. අම්මා ගැන විස්තර කරන්න මට වචන නැහැ. ඒ තරම්ම එයා හොඳයි.
ඔලිවියා: අපේ තාත්තා අපි ගැන හුඟක් සැලකිලිමත්. ඕන වෙලාවක අනික් අයට උදව් කරන්න එයා සූදානම්. තාත්තා කියන්න තියෙන දේ කෙළින් කියනවා. විනෝද වෙන අවස්ථාවලදී හොඳට විනෝද වෙනවා. ඒ වගේ තාත්තා කෙනෙක් ලැබුණු එක ගැන මට හරි සතුටුයි.
“අපිට නාස්ති කරන්න කාලයක් නැහැ”
සනී: අපේ දුවලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි පවුලක් හැටියට ඒ ගැන සාකච්ඡා කරනවා. යම් තීරණ ගන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟවයි. දරුවන්ගේ යාළුවන් ගැනත් අපි නිතරම හොයලා බලනවා. දැන් එයාලගේ යාළුවෝ අපෙත් යාළුවෝ.
ඊනෙස්: අපි හැම දෙයක්ම වගේ කරන්නේ පවුලක් හැටියටයි. අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා ආගමික කටයුතුවල යෙදෙන්නත් අන් අයට උපකාර කරන්නත් පවුලක් හැටියට විනෝද වෙන්නත් කාලය සමබරව යොදාගන්නවා. මේ දේවල් නිසා අපිට නාස්ති කරන්න කාලයක් නැහැ.
කෙල්සි: අපේ තාත්තා අපිට හොඳින් ඇහුම්කන් දෙනවා. පවුල වෙනුවෙන් මොකක් හරි තීරණයක් ගන්න තියෙනවා නම් තාත්තා ඉස්සෙල්ලාම අපිත් එක්ක ඒ ගැන කතා කරනවා. අම්මත් ඕනම දේකදී අපිත් එක්ක ඉන්නවා.
සැමැන්තා: මම වටිනා, වැදගත් කෙනෙක් කියන හැඟීම අපේ අම්මා මගේ හිතේ ඇති කරලා තියෙනවා. අම්මා අපි ගැන හරිම සැලකිලිමත්. අපිට හොඳින් ඇහුම්කන් දෙනවා. අපි අතර තියෙන බැඳීම කිසිම දේකට කඩන්න බැහැ.
[පින්තූර]
ජෝසෆ්, ලීසා, වික්ටෝරියා, ඔලීවියා සහ ඉසබෙලා
කෙල්සි, ඊනෙස්, සනී සහ සැමැන්තා
[22වන පිටුවේ පින්තූරය]
දෙමාපියන් දරුවන්ට නිදහස දෙන විට යම් සීමා දැමීමත් අවශ්‍යයි